ගෝඨාභයගේ අරමුණ මනා කළමනාකරණයකින් යුතු රාජ්‍ය පාලනයක් බිහි කිරීමයි | දිනමිණ


 

ගෝඨාභයගේ අරමුණ මනා කළමනාකරණයකින් යුතු රාජ්‍ය පාලනයක් බිහි කිරීමයි

සමන්මලී ප්‍රියශාන්ති

මනා කළමනාකරණයකින් යුතු ව්‍යුහාත්මක සංවිධාන වැඩපිළිවෙළක් හා රාජ්‍ය පාලනය පිළිබඳ මූලධර්ම මෙන්ම නායකත්ව මූලධර්ම ක්‍රියාත්මක කරන රජයක් රට තුළ බිහි කිරීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අරමුණ බව පාර්ලමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කෙළේය.

හෙතෙම මේ බව පැවසුවේ රාජගිරිය ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානයේ දී ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීවේය.

තව දින 11 යි මැතිවරණයට තිබෙන්නේ. මැතිවරණ ප්‍රචාරක කටයුතු නිම කරන්න තව දින 7 ක් තිබෙනවා. ලක්ෂ 159 ක් පමණ වන ඡන්දදායකයින් මේ වන විට තමන්ගේ මතයන්ට එළැඹිලා අවසානයි. රාජ්‍ය සේවකයින්, පොලිසියේ නිලධාරීන් මේ වන විට ඡන්දය දමා අවසන්. ඡන්දය දාන්න බැරි වුණ තැපැල් ඡන්දදායකයින්ට හෙට (07) තමන්ගේ ඡන්දය භාවිත කරන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තැපැල් ඡන්දයට පෙර එළිදැක්වුවත් සජිත් ප්‍රේමදාස මහතා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වුවේ තැපැල් ඡන්දයෙන් පසුයි. මේ නිසා තැපැල් ඡන්ද දායකයින්ට ප්‍රතිපත්ති ප්‍රකාශය කියවීමෙන් තොරව ඡන්දය භාවිත කරන්නට සිදු වුණා. දමිල ජාතික සන්ධානයේ අය විවිධ මත දැරුවා. විග්නේෂ්වරන්, පොන්නම්බලම්, සුරේෂ් වැනි අය කිව්වේ පුළුවන්නම් වර්ජනය කරන්න කියලා. ටී.එන්.ඒ එක කිව්වේ කැමැති තීරණයක් ගන්න කියලා. හිටපු ප්‍රධාන ඇමැති විග්නේෂ්වරන් මහතා කියනවා සජිත්ගේ මැතිවරණ ප්‍රකාශවල සිංහල, ඉංග්‍රීසි, දෙමළ මාධ්‍යවල පරස්පරතාවයක් තිබෙනවා කියලා. විශේෂයෙන් ව්‍යවස්ථාව සම්බන්ධයෙන්. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 15 පිටුවේ තිබෙනවා ජනතාවගේ ව්‍යවස්ථාව කියලා. එහි තිබෙනවා ශක්තිමත්බව ස්ථාපිත කිරීම කියලා. ව්‍යවස්ථාව කියන්නේ රටක මූලික නීතිය. මේ අර්ථ දැක්වීම ගැන ගැටලු සහගතයි. අපේ රටේ ව්‍යවස්ථා පරිණාමය අපට මතකයි. මේ යහපාලන රජය බිහි වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කරන්න ඕනේ කියලා යෝජනාවක් ගෙනාවා. ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නියෝජිතයින්ගේ එකතුවෙන් තේරීම් කාරක සභාවක් පත් කරන්නත් යෝජනාවක් ආවා. ඒ යටතේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු වසර තුනක් තිස්සේ අනුකමිටු 6 ක් දාලා කරගෙන ගියා. මේ තේරීම් කාරක සභාව අතුරු වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාව එක්ක සියලු දේශපාලන පක්ෂ ඔවුන්ගේ මතය, අදහස් ඇමිණුමක් ලෙස ඉදිරිපත් කළා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ මතය කියන එක තමයි ජනතාවට හිතා ගන්න තිබෙන්නේ. එහි තිබෙනවා අග්‍රාමාත්‍යවරයාගේ එකඟතාව මත විධායක ජනාධිපතිවරයාගේ බලය බෙදාහැරීම හා මැතිවරණ ක්‍රම පිළිබඳව ව්‍යස්ථා ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය සියලු පාර්ශවකරුවන් සමඟ ප්‍රමාදයකින් තොරව අවසන් කෙරෙනු ඇත කියලා. ඒ වගේම පරිණාමීය ප්‍රජාතන්ත්‍රවාදියේ මාවත ඔස්සේ නොසැලෙන ගමන දිගටම යමින් ජනමත විචාරණයක් ඔස්සේ නව ව්‍යවස්ථාව ජනතාව විසින් අනුමත කරනු ඇත කියලා තිබෙනවා. ජනමත විචාරණයකට යන්න කලින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගන්න අවශ්‍යයි. ඒ තුනෙන් දෙක නැති නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහතාට සිදු වුණේ තේරීම් කාරක සභාවක් පත් කරන්න.

ඒක එසේ නොවේ යැයි පුලුවන් නම් කියන්න කියලා සජිත් ප්‍රේමදාස මහතාගෙන් ප්‍රශ්න කරන්න කැමැතියි. එය තහවුරු කරන ප්‍රකාශයක් අගමැතිවරයා පසුගිය දා කිව්වා. අපි කරගෙන ආපු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය 17 න් පස්සේ තුනෙන් දෙකක් ලබා ගෙන ඉදිරියට ගෙන යනවා කියලා කියනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් සියඹලාපිටිය මහතාද කතා කළේය.

ඡයාරූපය-දුෂ්මන්ත මායාදුන්න

නව අදහස දක්වන්න