පිටිපන මාළු ලෙල්ලමේ කුණු මාළු ජාවාරමක් | දිනමිණ


 

පිටිපන මාළු ලෙල්ලමේ කුණු මාළු ජාවාරමක්

මීගමුව පිටිපන මහ මාළු ලෙල්ලමේ කලක සිට පවත්වාගෙන යන කුණුමාළු ජාවාරමක් මීගමුව මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමක් වටලා පරිභෝජනයට නුසුදුසු මෝර මාළු කිලෝ 800ක් පමණ ඔවුන් භාරයට ගනු ලැබීය.

මීගමුව නගරාධිපති දයාන් ලංසා මහතාගේ උපදෙස් මත මීගමුව සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය සමීර අබේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ මෙය සිදු කරන ලදී.

මීට පෙර කීප වතාවක් මෙම කාර්යයෙහි නියුතු එම වෙළෙඳුන්ට කුණු මාළු විකුණන ජාවාරම නවත්වන ලෙසට අවවාද කළ බවද මීගමුව මහනගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.ඒ.යු.කේ. ගුණරත්න මහතා පවසයි. පරිභෝජනයට නුසුදුසු මෙම කුණු මාළු උපයෝගී කරගෙන කරවල නිෂ්පාදනය කරමින් ලංකාව පුරා බෙදා හරිමින් විශාල ආදායම් උපයන සංවිධානය වූ කණ්ඩායමක් සිටින බවද ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය. මෙම කුණු මාළු තොගය වළ දැමීම සිදු කරන ලද අතර එම වෙළෙඳුන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීමට පියවර ගන්නා බවද පැවසීය.

මීගමුව මහනගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.ඒ. යු.කේ. ගුණරත්න, එස්.විජයසිංහ, ඩබ්ලිව්.ඩී. සුරංග මංජුල සම්පත් යන මහජන පරීක්ෂකවරු මෙම වැටලීමට එක්වූහ.

කොච්චිකඩේ විශේෂ ඩී.මිහිඳුකුල

නව අදහස දක්වන්න