ඉකුත් සතියේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 6000 පසුකර ආයෝජක විශ්වාසය දිනා ගනී | දිනමිණ


 

ඉකුත් සතියේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 6000 පසුකර ආයෝජක විශ්වාසය දිනා ගනී

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉකුත් සතියේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 6000 පසුකර ආයෝජක විශ්වාසය තහවුරු කරගෙන ඇත.

‍සිකුරාදා ගනුදෙනු අවසනට සමස්ත කොටස් ‍මිල දර්ශකය ඒකක 6032 දක්වා වූ ඉහළ අගයක් වාර්තා කළාය. ජනවාරි මස 4 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම අගය ඉකුත් සිකුරාදා වාර්තා කළැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

ජනාධිපතිවරණ අපේක්ෂකයන් දෙදෙනාම දැන් සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ඡන්ද දායකයන් හමුවට ඉදිරිපත් කිරීම සමඟ දේශපාලන ස්ථාවරත්වය පෙන්නුම් කර ඇතැයි ද ව්‍යාපාරික මාධ්‍ය වාර්තා සඳහන් කරයි. පසුගිය සති 4 ක කාලයක සිට ක්‍රමයෙන් වෙළෙඳපොළ සක්‍රීය වීම ඇරැඹිණ. එසේම වෙළෙඳපොළ පිරිවැටුම ද ක්‍රමයෙන් ඉහළ යනු දක්නට ලැබුණි. ඉකුත් සිකුරාදා පිරිවැටුම රුපියල් බිලියන 1.7 (මිලියන 1786) දක්වා ඉහළ ගියේය.

නොවැම්බර් 01 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සති අග වාර්තාවට අනුව ඉකුත් සතියේ දෛනික පිරිවැටුම රුපියල් දසලක්ෂ 969.6 කි. එහෙත් ඔක්තෝබර් 25 වන සිකුරාදා ගනුදෙනු අවසන් වූ පෙර සතියේ පිරිවැටුම රුපියල් දසලක්ෂ 796.1 කි. ඔක්තෝබර් 18 වන සිකුරාදා ගනුදෙනු අවසන් වූ සතියේ පිරිවැටුම රුපියල් දසලක්ෂ 751 ක් ලෙස ද වාර්තා විය. නොකඩවා සති තුනකදී පිරිවැටුම ඉහළ යෑමක් ද මෙමඟින් පෙන්නුම් කර ඇත. සති 4 කට පෙර දෛනික පිරිවැටුම රුපියල් දසලක්ෂ 548 කි.

කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් බොහොමයක ආදායම් වර්ෂය දෙසැම්බර් 31 වැනි දින අවසන් වේ. ආදායම් වර්ෂයේ තෙවන කාර්තුවේ මූල්‍ය වාර්තා කොටස් වෙළෙඳපොළට ඉදිරිපත්ව තිබුණු අතර සමාගම් රාශියක ආදායම් හා ලාභ වාර්තා ඉදිරිපත්ව තිබුණි.

උදාහරණ දක්වතොත් සැප්තැම්බර් 30 වැනි දිනට සිය තෙවන කාර්තුව අවසන් වූ ජෙට්වින්ග් සිම්පනි රේඩියන්ට් ජෙම්, යූනියන් බෑන්ක්, ජෝන් කීලිස් හෝල්ඩිංග්ස්, කැලණිවැලි වැවිලි සමාගම, සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස්, සෙලාන් ඩිවොලප්මන්ට්, තලවකැලේ ප්ලාන්ටේෂන්, අමායා ලෙෂර් ලයිට්හවුස් හොටෙල්, ඉන්ඩස්ට්‍රියල් ඇස්පලට්ස්, බයිරහා ෆාර්ම්ස්, එල්. බී. ෆිනැන්ස්, ඔවර්සීස් රියලටි, අබාන්ස් ඉලැක්ට්‍රිකල්ස්, ට්‍රාන්ස් ඒෂියා හොටෙල්ස්, ටී. ජේ. ලන්කා, සෙලාන් බැංකුව, වැලිබල් ෆිනැන්ස්, කිංස්බරි හොටෙල්, ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස්, ‍සිලොන් කොල්ඩ් ස්ටෝර්ස්, මොරිසන් පී. එල්. සී, ජනශක්ති පී. එල්. සී. ආදී සමාගම් රාශියක් සිය වාර්තා කොටස් වෙළෙඳපොළට ඉදිරිපත් කර තිබෙන සමාගම් අතර වේ.

බොහෝ ආයෝජකයන් ආයෝජනය සඳහා සුදුසු තීරණ ගන්නේ, සමාගම්වල වාර්ෂික වාර්තා, ත්‍රෛමාසික වාර්තා ආදිය හැදෑරීමෙන් පසුවය. පසුගිය කාලය පුරා බ්‍රෝකර් වාර්තා දුන් අවවාදයක් නම් මූලාශ්‍ර පරිශීලනය කර ආයෝජනය පිළිබඳ තීරණයන්ට පැමිණෙන ලෙසය. එසේ කළේ කටකතා ඕපාදූප පුවත්පත් වාර්තා ආදිය මත ආයෝජන තීරණ ගැනීමෙන් ආයෝජකයන් අත පුච්චා ගැනීම නිසාය.

ආදායම් වාර්තා එළිදැක්වීම නිසාද කොටස් වෙළෙඳපොළ ඉකුත් දිනවල සක්‍රීය විය. විදේශීය ආයෝජකයන්ගේ ආකර්ෂණය සුළු මට්ටමින් වර්ධනය වුවද, වඩාත් දුරට ආයෝජන ගලා ආවේ දේශීය ආයෝජකයන්ගෙන් යැයි විවරණයන්හි සඳහන්ව තිබුණි.

මාස කීපයක සිට පසුබා සිටි කුඩා පරිමාණ ආයෝජකයනට ද ලාභ ලබා ගැනීමට මෙමගින් අවස්ථාවක් උදාවීම ද වෙළෙඳපොළ ප්‍රසාරණයට හේතු පාදක විය. ඒ සඳහා ඉඩකඩ සලසා දුන් AEL, BIL කොටස් හුවමාරු මඟින් කුඩා ආයෝජකයෝ ලාභ ලබා ගත්හ. උච්චාවචනයට නිතර ලක්වූ AEL කොටසක මිල සැප්තැම්බර් 10 වැනිදා රුපියල් 18.50 (දහඅටයි ශත පනහක්) විය. ඔක්තෝබර් 30 වන විට එම කොටසක මිල රුපියල් 22.00 සිට 22.30 දක්වා වැඩිවීම නිසා එම කොටස් හිමියෝ ලාභයක් අත්කර ගත් බව පැහැදිලිය. මේ අයුරින්ම රුපියල් 3.30 ට මිලට ගත් BIL කොටසක් රුපියල් 5.10 ට විකුණා සිය ලාභය ඉවත් කරගත් සුළු පරිමාණ ආයෝජකයෝ ද වූහ. සති කීපයක් තිස්සේ කොටස් වෙළෙඳපොළේ ජනප්‍රියම කොටස් අතර වූ මේ (AEL, BIL) කොටස් සෑම දිනකම ලක්ෂ සංඛ්‍යාත වශයෙන් හුවමාරු විය.

කො‍ටස් වෙළෙඳපොළ සූදු පිටියක් නොවේ. එහෙත් BUYING AND SELLING ව්‍යාපාරිකයෝ කොටස් වෙළෙඳපොළෙන් ක්ෂණිකව ලාභ ලබා ගැනීම සිය අරමුණ කරගත් කෙටිකාලීන ආයෝජකයෝය. පසුගිය කාලය තිස්සේ කෙටිකාලීන ආයෝජකයෝ ලාබ ලැබුවේ කලාතුරකිනි. එහෙත් කෙටිකාලීන ආයෝජකයන්ගේ කලදවස හොඳ මෙන්ම, තවතවත් පිරිස් ඒ දෙසට යොමුවීම වෙළෙඳපොළ සක්‍රීයතාවයට හේතු විය. එමඟින් ගනුදෙනු සංඛ්‍යාව සහ පිරිවැටුම ද ඉහළ ගියේය.

කොටස් වෙළෙඳපොළ ප්‍රසාරණයට බලපෑ තවත් කරුණක් වූයේ මහ බැංකුව පොලී අනුපාත අඩු කිරීමේ තීරණයකට එළැඹීමයි. මේ නිසා විකල්ප ආයෝජන මාර්ගයක් ලෙස කොටස් වෙළෙඳපොළ දෙසට නැඹුරු වූ ආයෝජක සංඛ්‍යාව වැඩිවිය. බ්‍රෝකර් සමාගම් ඔවුනට අවවාද කෙළේ වෙළෙඳපොළේ රැල්ලට හසු නොවී වඩාත් සුරක්ෂිත කොටස් දෙස නැඹුරුවන ලෙසයි. මේ අවවාදය මත ක්‍රියා කළ ආයෝජකයෝ දීර්ඝ කාලීන ආයෝජනය සඳහා සුදුසු සමාගම් කොටස් කෙරෙහි යොමුවූහ. මේ වන විට එම ආයෝජකයෝ ද ජයග්‍රාහීව සිටිති.

උදාහරණයක් ලෙස ලුබ්රිකන්ට් කොටස් පෙන්වා දීමට පිළිවන. රුපියල් 58.00 බැගින් එම කොටස් මිලට ගත් ආයෝජකයකුගේ කොටසක අද වටිනාකම රුපියල් 70 කි. ඔවුන් මේ ලාභය අත්කර ගත්තේ මාස 4 1/2 ක කාලයක් අවසානයේය. මැයි මස 09 වනදා ජේ. කේ. එච්. කොටසක මිල රුපියල් 137.00 කි. අද වන විට රුපියල් 158.00 කි.

කොටස් වෙළෙඳපොළ සිය සමස්ත කොටස් මිල දර්ශකය ප්‍රධාන සෙසු මිල දර්ශක අතින් ඉහළ තලයකට පැමිණීම ‍සිදුවූයේ සෘණාත්මක විශ්ලේෂණ ප්‍රචාර මැදය.

විදේශීය ආයෝජක විශ්වාසය ගිලිහීම, විදේශීය මිලදී ගැනීම් පහත බැසීම, දේශපාලන අස්ථාවරත්වය, රුපියලේ අගය අඩුවීම, ආනයන ආදායම අඩුවීම, අපනයන සඳහා වැඩි මුදලක් වැයවීම, නියඟ නිසා කෘෂිකාර්මික අංශය කඩාවැටීම, ඉන්ධන මිල ඉහළ යෑම යනාදී බලවත් ආර්ථික අවපාත කතා නිතර අසන්නට ලැබුණි. එහෙත් මේ කිසිදු අනතුරු ඇඟවීමක් කෙරෙහි සැලකිල්ලක් නොදක්වා ආයෝජක විශ්වාසය දිනාගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සමත් විය.

කොළඹ කොටස් වෙළෙඳපොළ දේශීයව සහ විදේශීයව ගෙන ගිය ප්‍රවර්ධන හා අධ්‍යාපනික වැඩසටහන් සාධනීය සේවාවක් ඉටුකිරීමට බලපෑ බව ‍රහසක් නොවේ.

කොටස් හිමි සමාජයක් බිහිකිරීම අද ලොව පුරා පවතින නව ආර්ථික උපාය මාර්ගයකි. විශේෂයෙන් චීනයේ නව ආර්ථික සංවර්ධනයට එරට කොටස් වෙළෙඳපොළ හේතු වී තිබෙන බව අවිවාදයෙන් පිළිගැනේ. චීනය එහිදී ඩිජිටල්කරණය හා අන්තර්ජාලය උපයෝගී කර ගනු ලැබේ. ශ්‍රී ලංකාවේ ද කොටස් වෙළෙඳපොළ හා ආශ්‍රිත ආයතන ඩිජිටල්කරණයට ලක්ව ඇති අතර අන්තර්ජාලය මඟින් කොටස් මිලට ගැනීම, විකිණීම සඳහා ඉඩකඩ විවෘතව තිබේ. එසේම ඉලැක්ට්‍රොනික තැපැල් පහසුකම මඟින් බොහෝ සේවා ඉටුකරන නිසා තරුණ පෙළ කොටස් වෙළෙඳපොළට ළංවෙමින් තිබේ.

යාපනය, මඩකළපුව මෙන්ම අම්බලන්තොට ආදී දුරබැහැර ප්‍රදේශවල පවත්වන ලද අධ්‍යාපනික වැඩසටහන්වලට තරුණ ව්‍යවසායකයන් ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම ආර්ථික විෂය ගැන උනන්දුවක් දක්වන තරුණ පිරිස් ද සහභාගි වූහ. කොටස් වෙළෙඳපොළ අගනුවරට සීමා වූ එක්තරා පංතියකට පමණක් සීමා වූ ව්‍යාපාරික අංශයකැයි යන අදහස අද සමාජය වෙතින් ගිලිහී යමින් තිබේ. කොටස් වෙළෙඳපොළේ නව පිබිදීමට ‍එය ද හේතුවකි.

2017 ට සාපේක්ෂව 2018 කොළඹ කොටස් වෙළෙඳපොළ පසුබෑමකට ලක්වූ බව සත්‍යයකි. රාජ්‍ය වාර්තා කීපයක ඒ බව සඳහන්ව තිබේ.

2018 වසර තුළදී කොළඹ කොටස් වෙළෙඳපොළෙන් අඛණ්ඩව විදේශ විනිමය ගලායෑමක් දක්නට ලැබුණු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වාර්තාව කියයි. තවදුරටත් එම වාර්තාව මෙසේ ද කියයි.

2018 වසර තුළදී කොටස් වෙළෙඳපොළ වැඩිදියුණු කිරීම සඳහා විවිධ නියාමන ක්‍රියාමාර්ග හඳුන්වා දෙන ලදී. සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් 2017 වසරේ නොවැම්බර් ගැසට් පත්‍රයේ පළකළ සුරැකුම්පත් හුවමාරු පනත සඳහා පාර්ශ්වකරුවන්ගෙන් ලැබුණු අදහස් සමාලෝචනය කිරීමට අන්තර් අංශ කමිටුවක් ස්ථාපිත කරන ලදී.

මීට අමතරව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සහ ලෝක බැංකුවේ නියෝජිතයන් සමඟ ගැටලු පිළිබඳව සාකච්ඡා පවත්වන ලදී. තවද කොටස් වෙළෙඳපොළ කටයුතු හිතකර ලෙස පවත්වාගෙන යෑමට අවම මහජන අධිකාරීත්ව අවශ්‍යතාවන් සහ ලැයිස්තු ගතකිරීමේ පටිපාටින් උල්ලංඝනය කරන කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි ලැයිස්තුගත පොදු සමාගම්වල කටයුතු සඳහා නීති බලාත්මක කරන ලදී.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව හරහා ප්‍රාග්ධනය වැඩිකර ගැනීමේ පහසුකම් සලසමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පුවරුව ක්‍රියාත්මක කරන ලදී. (පිට 292)

කොළඹ කොටස් වෙළෙඳපොළ ශුද්ධ විදේශ ගලායෑම් පිළිබඳව විවිධ තොරතුරු සහ මාධ්‍ය වාර්තා පළවිය. මේ තත්ත්වයට තුඩු දුන් හේතු රාශියකි. විදේශ විනිමය මත ඇතිවූ පීඩනය ඉහළ යෑම, දේශපාලන අස්ථාවරත්වය, ගෝලීය ආර්ථික ප්‍රවණතා හේතුවෙන් ආයෝජක ආකල්ප වෙනස්වීම ආදී කරුණු විදේශ ආයෝජන ගලා යෑමට හේතු වී යැයි හඳුනාගෙන තිබේ. එසේ වුවත් ගලදාරි හෝටල් නවීකරණය සඳහා විදේශ ආයෝජන යොමුවීමක් මේ වසරේ වාර්තාවීම සමඟ ගලදාරි කොටස් සක්‍රීය විය.

රුපියල් 7.00 ට වැටී තිබුණු ගලදාරි කොටසක් රුපියල් 10.00 දක්වා මිල වැඩිවීමක් ඔක්තෝබර් මාසයේ වාර්තා විය.

‍රටේ දේශපාලන තත්ත්වයේ තිබූ ව්‍යාකූලභාවය පහවී ගිය අතර සංචාරක ව්‍යාපාරය ප්‍රකෘතිමත් කොටස් වෙළෙඳපොළ සක්‍රීයවීමේ තවත් හේතූන් අතර වේ. එක දිගට වර්ධනය වූ කොටස් වෙළෙඳපොළ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 6 කින් පහත වැටු‍ෙණ් ඔක්තෝබර් 30 වනදාය. නැවත ඊළඟ දිනයේ ඒකක 32 කින් එම දර්ශකය ඒකක 5990 තුළ ස්ථාපිත විය. එදින පිරිවැටුම ද රුපියල් බිලියනය ඉක්මවීය.

නොවැම්බර් 01 වන සිකුරාදා සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 6000 සීමාව පසුකළාය.

කරුණාරත්න අමරතුංග

නව අදහස දක්වන්න