සිසු දරුවන් ලක්ෂ 44කගේ ජීවිත ‘සුරක්ෂා’ කරමින් හොඳම දේ දරුවන්ට දුන් පස් වසර | දිනමිණ

සිසු දරුවන් ලක්ෂ 44කගේ ජීවිත ‘සුරක්ෂා’ කරමින් හොඳම දේ දරුවන්ට දුන් පස් වසර

සිසුන් 35,000කට මිලියන 1500ක ‘සුරක්ෂා’ ප්‍රතිලාභ

මෙරට අධ්‍යාපනය ගැන අවධානය යොමු කරන ‘මධ්‍යස්ථ මතධාරීන්’ පොදුවේ පිළිගන්නා කරුණක් වන්නේ අධ්‍යාපනයේ ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක වර්ධනයට ඍජු හා තිරසර නායකත්වයක් දුන්නේ එජාපය බවයි. එජාපයේ මුල් කාලීන ජ්‍යේෂ්ඨයෙක් වූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමන් හඳුන්වා දුන් ‘නිදහස් අධ්‍යාපනය’ වඩාත් ප්‍රශස්ත තත්ත්වයට පත් කළේ ජේ. ආර්. ජයවර්ධන මහතා බලයට පත් වූ 1977න් පසුව ‘නොමිලේ පෙළ පොත් ’ ලබාදීම මගින් බව පොදු පිළිගැනීමයි. ඒ සමඟ ‘මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමය’ රණසිංහ ප්‍රේමදාස යුගයේ නොමිලේ දිවා ආහාර වේලක් ලබාදීම ඇතුළු අධ්‍යාපනය හා ඍජුව සම්බන්ධ සුබසාධන වැඩපිළිවෙළ රැසක් පසුගිය එජාප ආණ්ඩු මගින් සිදු විණි.

‘හොඳම දේ දරුවන්ට’ කියලා කිව්වේ රුසියානු විප්ලවයේ (1917) නියමුවා වූ වී. අයි ලෙනින්. ලෙනින් කිව්වා වගේම ඒ දේ සැබවින් ම කළා.

ඒත් දරුවෝ වඩාගත්ත, හුරතල් කළ බොහෝ පාලකයෝ ළමයින්ගේ අනාගය අඳුරු කළා. ඔවුන්ගේ මවුපියන්, වැඩිහිටියන්, සමීපතමයන් අහිමි කළා. ඒ සඳහා හොඳම උදාහරණය ජර්මන් ආඥාදයකා වුණ ඇඩලොෆ් හිට්ලර්. 1930-1945 යුගය පුරා ජර්මන් පත්තර සහ රූපවාහිනිය බොහෝ විට හිට්ලර්ගේ දරු සුරතල් පෙන්නුවා. ඒත් මේ ආඥාදායකයා ජර්මනියේ පමණක් නොවෙයි මුළු ලෝකයේම දරුවන්ගේ අනාගතය අඳුරු කළා.

මේ කතාව මතක් වුණේ ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ වන විට මැතිවරණ වේදිකාවේ ඇහෙන කතා නිසා. හිටපු ජනපතිවරයා, හිටපු අධ්‍යාපන ඇමතිවරු කියන්නේ 2015 ජනවාරි 9වැනි දා සිට මේ ආණ්ඩුව අධ්‍යාපනයත් කාබාසිනියා කළ බවයි. ඒත් එහි ඇත්ත ස්රූපය අපි ඊයේ ලිපිය මගින් හෙළි කළා. අධ්‍යාපනයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක වර්ධනයක් ඇති කළේ කවුද කියා සංඛ්‍යා ලේඛන සහිතව පෙන්වා දුන්නා.

‘මේ මොහොතේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අත්දැකීම් බහුලම නායකත්වය තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට. එජාප නායක රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ බිහිවුණ කීර්තිමත් අධ්‍යාපන ඇමැතිවරයෙක්. අගමැති රනිල් වික්‍රමසිංහ ගැන මේ චරිත සහතිකය ලබා දුන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයෙක්. ඔහු එහිදී අවධාරණාත්මකව සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමැතිවරයාව සිටි යුගයේ දුටු සිහිනය වත්මන් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා හරහා සැබෑ කර ගැනීමට පියවර ගනිමින් සිටින බවයි.

1977 සිට 1994 දක්වා එක්සත් ජාතික පක්ෂය අඛණ්ඩව බලයට පත් වූ අවුරුදු දාහතේ තරුණ දේශපාලනඥයකු ලෙස රනිල් වික්‍රමසිංහ රටේ සංවර්ධනයට තීරණාත්මක බලපෑමක් ඇති කළා. 1980 දශකයේ දී ඔහු ආරම්භ කළ රැඩිකල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හේතුවෙන් පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම, ඉංග්‍රීසි, තාක්‍ෂණය හා පරිගණක කුසලතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සහ අධ්‍යාපන පරිපාලන සේවය හේතුවෙන් ඔහු තවමත් රටේ හොඳම අධ්‍යාපන ඇමැතිවරයා ලෙස සැලකෙනවා. ඔහු ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට නිර්මාණාත්මව කළ අභිප්‍රේරණ මෙන්ම නිපුණතා සංවර්ධන වැඩසටහන් මගින් තරුණ සමාජ,යොවුන් සමාජ සහ තරුණ කඳවුරු, යොවුන්පුරය හරහා ශක්තිය ලබා දුන්නා.

http://www.pmoffice.gov.lk/biography.php

මෙරට අධ්‍යාපනය ගැන අවධානය යොමු කරන ‘මධ්‍යස්ථ මතධාරීන්’ පොදුවේ පිළිගන්නා කරුණක් වන්නේ අධ්‍යාපනයේ ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක වර්ධනයට ඍජු හා තිරසර නායකත්වයක් දුන්නේ එජාපය බවයි. එජාපයේ මුල් කාලීන ජ්‍යේෂ්ඨයෙක් වූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමන් හඳුන්වා දුන් ‘නිදහස් අධ්‍යාපනය’ වඩාත් ප්‍රශස්ත තත්ත්වයට පත් කළේ ජේ. ආර්. ජයවර්ධන මහතා බලයට පත් වූ 1977න් පසුව ‘නොමිලේ පෙළ පොත් ’ ලබාදීම මගින් බව පොදු පිළිගැනීමයි. ඒ සමඟ ‘මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමය’ රණසිංහ ප්‍රේමදාස යුගයේ නොමිලේ දිවා ආහාර වේලක් ලබාදීම ඇතුළු අධ්‍යාපනය හා ඍජුව සම්බන්ධ සුබසාධන වැඩපිළිවෙළ රැසක් පසුගිය එජාප ආණ්ඩු මගින් සිදු විණි.

2015 සිදු කළ වෙනස

2015 දේශපාලන වෙනස සිදුවීමට ස්වල්ප කාලයකට පමණ පෙර විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය දැවැන්ත වැඩවර්ජනයක් සිදුකළා. ඒ අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වැය කරන ප්‍රතිශතය ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා ‘ප්‍රශ්ස්ත අගයයක් වන සියයට 6ක් ඉල්ලමින්. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය දීර්ඝ කාලයක් පුරා සිදුකළ මේ වැඩවර්ජනය ගැන නෑසූකන්ව සිටි එවකට පාලකයන් ඒ වෙනුවට ගුරුවරියන් දණ ගස්වමින්, විදුල්පතිවරුන්ට යුද්ධ හමුදා නිල ප්‍රදානය කරමින් පාසල් පද්ධතිය ‘මිලිටරිකරණය’ කිරීමට පියවර ගත්තා. ඒ අතර ප්‍රාදේශීය දේශපාලනඥයන් හිතූ මතේ පාසල් දැරියන් අපයෝජනය කරමින් (අකුරැස්ස) මේ අපකීර්තිමත් වාර්තාව ඉදිරියට ගෙන ගියා.

2015 ජනවාරි 09 වැනිදා සිදු වූ දේශපාලන වෙනසට මේ සියලු කාරණා ඍජු හේතු වුණා. විශේෂයෙන් අධ්‍යාපනයේ සිදුවූ ‘මිලිටරිකරණය’ සහ ‘පාදඩකරණය’ සමාජයේ බහුතරයක් ජනතාව මෙන්ම ගුරුවරු - ගුරුවරියන් නොඉවසූ බවක් දැකගත හැකි වුණා.

ගුණාත්මක වෙනස තුළ සිදු වූ විප්ලවය

වත්මන් අධ්‍යාපන ඇමැතිවරයා සහ ආණ්ඩුව පසුගිය පස් වසරකට ආසන්න කාලයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ භෞතික දියුණුව වෙනුවෙන් සිදුකළ ‘හොඳම පාසල ළඟටම පාසල’ වැනි ව්‍යාපෘති අතරට එක් වූ සුවිශේෂ මෙන්ම දරුවන් සහ ඔවුන්ගේ මාපියන් කෙරෙහි වඩාත්ම බලපෑම් සහගත ව්‍යාපෘතිය වන්නේ ‘සුරක්ෂා සිසු රක්ෂණාවරණය’ බව පොදුවේ ගුරුවරුන් මෙන්ම මාපියන් ද පිළිගන්නා තත්ත්වයට මේ වන විට පත්ව තිබේ.

මටම පුදුමයි, මගේ පුතා ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් එකේ හිටියා. බිල රුපියල් 189,000ක් සුරක්ෂා රක්ෂණයෙන් ඒ බිලම ගෙව්වා’ කෝට්ටේ ප්‍රදේශ මවක් පසුගිය දිනක මේ ලියුම්කරු සමඟ කිව්වා.

‘අනේ වෙන කාලෙක වුණා නම් ඉතිං පොළියට අරං තමයි හොස්පිටල් බිල ගෙවන්න වෙන්නේ’ ඇය වැඩි දුරටත් කිව්වා.මවක් කී කතාවක්

මේ වන විට කුහකත්වයෙන් තොරව, පටු දේශපාලන කෝණයෙන් තොරව සුරක්ෂා රක්ෂණාවරණය ගැන තොරතුරු විමසා බැලුවහොත් මෙවැනි සිදුවීම් සිය දහස් ගණනක් නොවෙයි දස දහස් ගණනක් සොයා ගත හැකියි. ඒත් ප්‍රශ්නය වන්නේ පටු දේශපාලන වාසි මත පදනම් වූ මාධ්‍ය මෙන්ම ඊටත් එහා ගිය පොදුජන සමාජයේ කොටසක් මේ වටිනා මෙහෙවර ගැන මුනිවත රැකීමයි. ඒ ගැන ජනතාවට නිසි දැනුවත් වීමක් ලබා ගන්න ඇති අවස්ථාව, අයිතියට බාධා කිරීමයි.

‘අනේ අපි ඇත්තටම මේ ගැන හරි හමං දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඉතිං පුතා අසනීප වුණාම .... එකට අරං ගියා. එතැන හිටිය කෙනෙක් තමයි මේ ගැන අපිට කිව්වේ. අපි බලන කිසිම චැනල් එකක මේ තොරතුරු යන්නේ නැහැ. අපේ ස්ටාෆ් එකේ අයත් මේ ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ’ මල්වාන ප්‍රදේශ තරුණ පියෙක් තමන් මුහුණ දුන් තත්ත්වය පැහැදිලි කරමින් කිව්වා.

මේ අනුව අපට පැහැදිලිව පෙනී යන කරුණ වන්නේ රාජ්‍ය මාධ්‍ය කළ දැනුවත් කිරීම හැරෙන්නට සුරක්ෂා සිසු රක්ෂණාවරණය ගැන ඇතැම් පෞද්ගලික මාධ්‍ය ධනාත්මක කිසිදු දැනුවත් කිරීමක් සිදු කර නොමැති බවයි.

දැයේ දූ දරුවන් ලක්ෂ 44කට සෙත හදන, පවුල් ලක්ෂ 50ක ඍජුව වගකියන දැවැන්ත වැඩපිළිවෙළක් සමාජයෙන් වසන්කර දැමීම ‘අන්නතරීතර පාප කර්මයකටත් වඩා’ දෙයක්.

සුරක්ෂා සිසු රක්ෂණාවරණය

‘සදා සුරකිමු - දැයේ දරුවන්’ යන දැක්ම යටතේ ක්‍රියාත්මක වන ‘සුරක්ෂා සිසු රක්ෂණාවරණය’ රජය සිසුන් සඳහා නොමිලේ ලබා දෙන රක්ෂණාවරණයක් වශයෙනුයි හැඳින් වෙන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශයට අනුව වයස අවුරුදු 5 සිට 21 දක්වා වන දරුවන්ට මේ රක්ෂණාවරණය ලබාගත හැකියි.

සුරක්ෂා රක්ෂණාවරණය යටතේ අවස්ථා හතරක දී ‘රක්ෂණ අවස්ථා’ ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

ඒ සෞඛ්‍යය රක්ෂණාවරණය , අනතුරු රක්ෂණාවර ණය, ජීවිත රක්ෂණාවරණය, විශේෂ ප්‍රතිලාභ, වශයෙනුයි.

සෞඛ්‍ය රක්ෂණාවරණය

සෞඛ්‍යය රක්ෂණාවරණයේ දී නේවාසික ප්‍රතිකාර සඳහා රුපියල් 200,000 දක්වාත්, බාහිර ප්‍රතිකාර සඳහා රුපියල් 20,000 දක්වාත්, අසාධ්‍ය රෝග ප්‍රතිකාර සඳහා රුපියල් 200,000කට වඩා වැඩි සීමාවක් දක්වාත් ප්‍රතිලාභ ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය කියන්නේ.

මෙහිදී රුපියල් 200,000ක් වන නේවාසික ප්‍රතිකාර ප්‍රතිලාභ යටතේ නේවාසික ප්‍රතිකාර සඳහා ඖෂධ වියදම (රජයේ රෝහලක ගෙවන වාට්ටුවක, පුද්ගලික රෝහලක හෝ පුද්ගලික ආයුර්වේද රෝහලක) වෛද්‍ය ගාස්තු / විශේෂඥ වෛද්‍ය ගාස්තු, වෛද්‍ය නිර්දේශ මත රෝගියාගේ සාත්තුව සඳහා යෙදවීමට යන වියදම, රජයේ රෝහලක, ආයුර්වේද රෝහලක නොගෙවන වාට්ටුවක රුපියල් 3000ක දෛනික දීමනා ( රෝගියාගේ රැකබලා ගැනීම, රෝගියාගේ සුවදුක් විමසීම, අතිරේක ආහාර පාන හා වෙනත් අතිරේක අවශ්‍යතා ලබාදීම) සුරක්ෂා සිසු රක්ෂණාවරණය මගින් ලබා දෙයි.

එමෙන්ම ‘නේවාසික ප්‍රතිකාර ප්‍රතිලාභ (200,000) යටතේ, ශල්‍යකර්ම වියදම්, රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂණ, ඖෂධ සහ බෙහෙත්, සැත්කම් ගාස්තු පරීක්ෂණ, විශේෂ ප්‍රතිකාර, රෝහල් ගත කිරීමකින් තොරව සිදුකරනු ලබන ශල්‍යකර්ම සඳහා වන වියදම, රෝහල් ගත වීමකින් තොරව වුවද, (EEG MRI CT Scan, DMSA Scan,DTPA Scan,Ultra Sound and NSI Dengue antigen test) වියදම ප්‍රතිපූර්ණය කිරීම, අසාධ්‍ය හෝ බරපතළ රෝගාබාධ සඳහා නිර්දේශිත විශේෂ පෝෂණ අතිරේක සඳහා වන වියදම, දිගු කාලීන රෝග, ශල්‍යකර්ම, අනතුරුවල දී නිවසේ සිටීමට වෛද්‍යවරයා විසින් නියම කරන දින සඳහා දීමනා, රෝහල් ගත වීමට පෙර දින 7ක් සඳහා වෛද්‍ය උපදෙස් මත සිදුකරන දීමනා, රෝහලෙන් පිටවී දින 14ක් දක්වා දීමනා, වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ගැනීම හෝ ප්‍රතිකාර වෛද්‍ය නිර්දේශ මත විදේශයකදී සිදුකරන ප්‍රතිකාර,

දිගු කාලීන රෝග /ශල්‍යකර්ම, අනතුරුවලදී භාවිත කිරීමට සිදුවන උපකරණ හා ද්‍රව්‍ය සඳහා වන වියදම, හදිසි අනතුරකින් පසු හෝ හදිසි අනතුරකින් සිදුවන කැළැල් මත සිදුකරනු ලබන ප්ලාස්ටික් ශල්‍යකර්ම සඳහා යන වියදම, නොමිලේ අවශ්‍යතා මත ගිලන් රථ සැපයීම ආදි ප්‍රතිලාභ ලබාගත හැකිය.

බාහිර ප්‍රතිකාර සඳහා

පිළිකා, අංශභාගය, අන්ධභාවය ඇතුළු ජීවිත අවදානමක් සහිත විශේෂ රෝග 20කට අදාළව ඖෂධ හා බෙහෙත්, පරීක්ෂණ හා අනාවරණයන්ට අදාළව වියදම් සුරක්ෂා රක්ෂණාවරණය මගින් (රුපියල් 20,000) ලබා ගත හැකියි. ඊට අමතවර අක්ෂි, කර්ණ, ශ්‍රවණාබාධ සඳහා ප්‍රතිකාර සහ ආබාධ නිවැරැදි කිරීමේ උපකරණ ලබා ගැනීම, වසංගත රෝග අවස්ථාවල දී ගනු ලබන ඖෂධ සහ බෙහෙත් පරීක්ෂණ (Eg- Infiuenza) දන්තාබාධ සඳහා ප්‍රතිකාර (දත් ගැලවීම හා පිරවීම සඳහා පමණයි), රෝග / ආබාධ සඳහා ආයුර්වේද ප්‍රතිකාර සඳහා වියදම, විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අදාළ ගාස්තු /බිල්පත්, බැංකු මගින් / වෙබ් අඩවි මඟින්, විශේෂ ආයතන මඟින්, ජංගම දුරකථන මඟින් ගාස්තු ගෙවීම් වූවද පියවේ. ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම සහ ක්‍රීඩාවක දී ඇතිවන අනතුරු වළක්වා ගැනීම,

අසාධ්‍ය රෝග රක්ෂණාවරණය (රුපියල් ලක්ෂ 2ට ඉහළ)

හදවත් සැත්කම්, පිළිකා ප්‍රතිකාර, ඇට මිදුළු බද්ධ කිරීම ඇතුළු අසාධ්‍ය රෝගාබාධ 17කට සුරක්ෂා සිසු රක්ෂණාවරණය මගින් ප්‍රතිලාභ ලබා දෙන බව දන්නේ කීයෙන් කී දෙනෙක් ද යන්න ප්‍රශ්නයක්. ඒත් සුරක්ෂා රක්ෂාණාවරණය කියන්නේ අසාධ්‍ය රෝගාබාධ 17කින් අපේ දරු පරපුර ආරක්ෂාකර ගැනීම තම ප්‍රමුඛ අරමුණක් බවයි.

හදිසි අනතුරු රක්ෂණාවරණය

දරුවන්ට සිදුවන හදිසි අනතුරු අද බහුලයි. මෙවැනි අවස්ථාවල එක් දරුවෙක් සිටින පවුල්වල පවා දෙමාපියන් දැඩි දුෂ්කරතාවලට පත් වෙනවා. ඒත් සුරක්ෂා සිසු රක්ෂණාවරණය ඔබේ දරුවන්ට සිදුවන හදිසි අනතුරු සඳහා ද පිහිටට එනවා. එහිදී පූර්ණ හා සදාකාලික අබාධ සඳහා රුපියල් 150,000 සිට 200,000 දක්වාත්, පූර්ණ සදාකාලික දුබලතාවක දී රුපියල් 200,000 දක්වාත්, සදාකාලික අර්ධ දුබලතා වශයෙන් සැලකෙන, ඇස් දෙකෙහිම පෙනීම අහිමි වීම, ගාත්‍රා දෙකක් අහිමිවීම සිදුවන හදිසි අනතුරකදී රුපියල් 200,000 දක්වාත්, ඒක් ඇසක් හෝ එක් ගාත්‍රයක් අහිමිවීම සිදුවන හදිසි අනතුරකදී රුපියල් 150,000 දක්වාත් ප්‍රතිලාභ හිමිවේ.

ජීවිත රක්ෂණාවරණය

දරුවන්ට හෝ මවුපියන්ට සිදුවන අනතුරක දී ඔවුන් කොතරම් දුෂ්කරතාවට, අනාරක්ෂිතභාවයට පත්වන්නේ ද යන්න අපි කවුරුත් දන්නවා. මේ ගැන වැඩි අවධානයක් යොමු කිරීමට සුරක්ෂා සිසු රක්ෂණාවරණය පියවර ගෙන තිබෙනවා. ඒ ජීවිත රක්ෂණාවරණය යටතේයි.

මෙහිදී දරවකුගේ ‘මව-පියා වියෝවක දී’ එක් අයකුට වෙන් වෙන්ව රුපියල් 200,000ක ප්‍රතිලාභ හිමිවන අතර, පවුලේ සියලුම දරුවන් සඳහා ‘වෙන් වෙන්ව’ මෙම ප්‍රතිලාභය හිමි වෙන අතර ‘ශිෂ්‍ය වියෝවක දී’ මාපියන්ට හෝ නීත්‍යානුකූල භාරකරුට රුපියල් 150,000ක ප්‍රතිලාභ හිමි වෙයි.

විශේෂ දීමනා

මේ යටතේ නේවාසික රෝහල් ගාස්තුවලින් (රෝහල් ගාස්තු, වෛද්‍ය ගාස්තු, පරීක්ෂණ ගාස්තු ද ඇතුළත් අනෙකුත් වියදම්) සියයට 20ක් අඩු කිරීම,

මේ සුරක්ෂා සිසු රක්ෂාවරණය ගැන සරල පැහැදිලි කිරීමක් පමණයි. ඒත් මේ පැහැදිලි කිරීම මඟින් වූවත් මෙම රක්ෂණාවරණයේ ඇති වැදගත්කම හා කාලීනභාවය මනාව පැහැදිලි වෙනවා.

මෙම රක්ෂණාවරණය හඳුන්වාදීමේ දී ඊට එරෙහිව ඉදිරිපත් වූ ප්‍රතිතර්ක හා බාල්දු කිරීම් අපි කවුරුත් දැක්කා. ඒත් ලක්ෂ 16ක් පමණ සමෘද්ධිලාභීන් සිටින රටක, ලක්ෂ 44කට අධික පාසල් සිසුන් සිටන රටක මේ රක්ෂණාවරණය මගින් සිදුවන ධනාත්මක බලපෑම මුදලින් තක්සේරු කළ නොහැකි බව ‘අවස්ථාවාදියෙක්’ නොවන ඕනෑම කෙනෙක් පිළිගනී.

සිසුන් 35,000කට මිලියන 1500ක ප්‍රතිලාභ

සුරක්ෂා සිසු රක්ෂණාවරණය හඳුන්වා දී ගෙවී ඇත්තේ ඉතාම කෙටි කාලයක් පමණයි. ඒත් සුරක්ෂා සිසු රක්ෂණාවරණය මගින් මේ වනවිට සිසුන් 35,000කට රුපියල් මිලියන 1588ක ප්‍රතිලාභ ලබා දී තිබෙනවා. මේ අනුව, 2018 වසරේ දෙසැම්බර් 1 සිට 2019 නොවැම්බර් 30 දක්වා ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙන් අදාළ රක්ෂණ ආයතනය වෙත රජය විසින් වෙන් කරන ලද සමස්ත මූල්‍ය ප්‍රතිපාදනය ම සිසු දරුවන් වෙනුවෙන් ලබාදීමට හැකි වී තිබෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය කියන්නේ.

මවුපිය අහිමිවීමක දී සිසුදරුවන්ගේ අධ්‍යාපනය අඩාලවීමට ඉඩ නොතැබීමටත්, අසාධ්‍ය රෝග, හදිසි අනතුරු අවස්ථා මෙන් ම දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට සිදුවන ඕනෑම අවස්ථාවක දී ඒ සඳහා ශක්තිමත් ව මුහුණදීමටත් සුරක්ෂා සිසු රක්ෂණාවරණය මඟිගින් සුවිසල් පිටුබලයක් සැලසෙන අතර මෙම ගෙවීම් පුද්ගල මරණ සම්බන්ධ ව සිදුකරන ලද ඉල්ලීම් 4,800ක් ඇතුළත් බවයි වාර්තා වන්නේ.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් අනුව, මේ වසරේ සිට සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ වැඩි කිරීමට සුවිශේෂී පියවර කිහිපයක් ගෙන තිබේ. රජයේ රෝහල්ගත වන දිනකට ගෙවන මුදල රුපියල් 1,000- සිට රුපියල් 3000 තෙක් වැඩි කිරීම, බාහිර ප්‍රතිකාර යටතේ ශ්‍රව්‍ය-දෘශ්‍ය උපකරණ, ඇස් කණ්ණාඩි වැනි උපකරණ ලබා ගැනීමේ හැකියාව, විශේෂඥ වෛද්‍ය සේවා ගාස්තු ලබා ගැනීමට හැකියාව, මුදල් ගෙවීමකින් තොරව රෝහල් ගතවීමේ හැකියාව, රෝහල් ගතවීමට පෙර දින 7ක් සහ රෝහලෙන් පිට වූ පසු දින 14ක් බෙහෙත් ලබා ගැනීමේ හැකියාව ද ලබා දීම ඒ අතර ප්‍රමුඛ වෙනවා.

දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ඉතිහාසයේ ප්‍රථම වරට අධ්‍යාපන අමාත්‍යල නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා මෙරට පාසල් පද්ධතිය වෙත හඳුන්වාදුන් මෙම සිසු රක්ෂණාවරණයෙහි ප්‍රතිලාභ අවුරුදු 5-21 වයස් සීමාවේ පසු වන සියලුම පාසල් දරුවන් වෙත නොපමාව ලබාදීම රජයේ අරමුණ බැවින් සුරක්ෂා ප්‍රතිලාභ ලබාගැනීමේ දී යම් ප්‍රමාදයක් හෝ වෙනත් ගැටලුවක් මතුවේ නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ 0112369369ල 0113641555ල0112784872 යන දුරකතන අංකවලට අමතා ඒ සම්බන්ධ ව දැනුම් දෙන ලෙස ද අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ සඳහන් කළේ මෙරට 44 ලක්ෂයක් වන සිසුන් සඳහා වත්මන් රජය ලබා දුන් එක් ප්‍රතිලාභයක් ගැන පමණි. ඊට සමාඟාමීව ‘නොමිලේ නැවුම් එළකිරි වීදුරුවක් ලබාදීමේ ජාතික වැඩසටහන, ලැප්ටොප් පරිගණක ලබාදීමේ වැඩසටහන ආදි ප්‍රමුඛ වැඩසටහන් ද ගත් විට පසුගිය කෙටි කාලයේ වත්මන් රජය මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට දැවැන්ත සංවර්ධනයක් සිදුකර ඇති බව පැහැදිලි කරුණක්.

ප්‍රදර්ශනකාමී නොවූ ‘නිහඬ’ සංවර්ධනයක් සිදුකළ 2015-2019 කාලය ගැන දේශපාලන පක්ෂපාතීත්වය හෝ අවස්ථාවාදීත්වය මත පදනම් නොවී විවෘත මනසින් බැලීමට ‘අධ්‍යාපන සංවර්ධනයම’ ප්‍රමාණවත් බව ඉහත කරුණු අනුව පැහැදිලිය. එනම් ‘හොඳම දේ දරුවන්ට’ දුන්නේ වත්මන් ආණ්ඩුව නිසාය.

ඉන්ද්‍රජිත් හේවාවිතාරණ

නව අදහස දක්වන්න