සජිත්-රනිල් එකතුව රටේ සුබ අනාගතයක පෙර ලකුණක් | දිනමිණ


 

සජිත්-රනිල් එකතුව රටේ සුබ අනාගතයක පෙර ලකුණක්

උපාලි කරුණාරත්න
එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි

ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවීමෙන් පසුත් තුන් කල් දකින, ජාත්‍යන්තරය පිළිගත් නායකයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරේ කටයුතු කරනු ඇතැයි එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි මහතා පැවසීය.

හපුආරච්චි මහතා එසේ ප්‍රකාශ කළේ පවතින දේශපාලනය පිළිබඳ අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් සිරිමසිරි හපුආරච්චි මහතා මෙසේද කීය.

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයා තෝරා ගැනීමේදී එක්සත් ජාතික පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ කිහිප දෙනෙකුගේ නම් කියවුණා. මේ දෙස එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විමසිල්ලෙන් බලා සිටියා. වෙලාවට නියම අපේක්ෂකයා ඉදිරිපත් කරන බව කීවා.ඔහු නියම අවස්ථාව පැමිණෙන තුරු නිහඩව බලා සිටියා. ජනතාව ඉල්ලන අපේක්ෂකයා අවසානයේදී ඉදිරියට පැමිණියා. ජනාධිපති අපේක්ෂකයා වන ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ජයග්‍රහණය කිරීමට ඡන්දය ලබාදෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සියලු රටවැසියන්ගෙන් මේ වන විට ඉල්ලමින් රට පුරා ගමන් කරනවා. මේක තමයි රනිල් වික්‍රමසිංහ අගමැතිගේ හැටි. ඔහු තුන්කල් දකින නායකයෙක් වශයෙන් හඳුන්වන්න පුළුවන්.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ජනතා හඩට කන්දෙමින් ජනාධිපති අපේක්ෂකත්වය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගිය කාලයේදී ලබා දුන්නා. මෙවර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එය ලබාදී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ පරිත්‍යාගශීලී නායකයෙක්. රටට අවශ්‍ය සුදුසු පුද්ගලයාට මොහු නිසි අවස්ථාවේ නිසි ස්ථානය ලබා දෙනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ කියන්නේ ලෝකය පිළිගත් නායකයෙක්. මොහු ජාතිවාදියෙක්, ආගම්වාදියෙක්, වර්ගවාදියෙක් නොවේ. රනිල් වික්‍රමසිංහ මහතා මෙරට දේශපාලනයේ සිටින හොඳ ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙස හඳුන්වන්න පුළුවන්. සියලු ජාතීන්ට එක හා සමානව සලකන පුද්ගලයෙක් වශයෙන්ද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අප දකිනවා.

2015දී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බාර ගත්තේ විනාශ වූ රටක්. එදා විශාල ලෙස ණය ගෙවීමට සිදුවුණා. ඒකට හේතුව පැවැති රාජපක්ෂ රජය විශාල ලෙස ණය ගෙන තිබීම. ජාතීන් අතර සම්බන්ධතාවද විනාශ වී පැවතියා. 2015දී අප රට දෙස විදේශිකයන් බැලුවේ සැකයෙන්. බොහෝ රටවල් අපෙන් දුරස් වී සිටියා. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් වී ජාත්‍යන්තරය සමඟ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කරමින් විශාල සහන රටට ලබා ගැනීමට කටයුතු කළා. මේ සමඟම විදේශීය රටවල අපේ රට පිළිබඳව පැවැති වැරදි චිත්‍රය ක්‍රමයෙන් ඉවත් වුණා. ණයවලින් විශාල ප්‍රමාණයක්ද මේ වන විට ගෙවා අවසන්.

අපේ රටේ මේ වන විට විශාල සංවර්ධනයක් සිදුවෙමින් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා සෑම ගමකටම ජනතාව තෝරාගත් වැඩක් කිරීම සඳහා ග්‍රාම සේවා වසම් දහතුන් දහස් දාහතරකට දශ ලක්ෂය බැගින් ලබා දුන්නා. ඒ වගේම ගම්පෙරළිය වැඩසටහන යටතේ අතිවිශාල මුදලක් රටේ සංවර්ධනයට යොදවමින් තිබෙනවා. අද රටේ සෑම ස්ථානයකම පාරක්, බෝක්කුවක් අලුතෙන් නිර්මාණය වී තිබෙනවා. ඒ වගේම නව ප්‍රජා ශාලා, ළඳරු පාසල් සහ ජනතාවගේ ඉදිරි ගමනට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයක් අපට දැකිය හැකියි. කවදාවත් තාර ටිකක්, කොන්ක්‍රීට් ටිකක් නොදාපු පාරවල්වලට අද තාර කොන්ක්‍රීට් දමා තිබෙනවා. මේවා සියල්ල ජනතාවට සැබෑ ලෙසම දැකිය හැකියි. මෙවැනි කටයුතුවලින් රටේ ප්‍රගතිශීලී වැඩ කොටසක් ඉටුවී තිබෙන බව පැහැදිලි වෙනවා. එහෙත් ඇතැමුන් මේවා අගය කරන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ අගමැති රට වෙනුවෙන් සෑම ජනකොටසක් වෙනුවෙන්ම බුද්ධිමත්ව සිතා බලමින් සංවර්ධන කටයුතු මෙහෙයවීම පිළිබඳව අප අගමැතිට ස්තුතිවන්ත වෙනවා.

ගුවන් තොටුපළ, වරාය, රෝහල් සංවර්ධනය, පාසල් නවීකරණය කිරීම, අධිවේගී මාර්ග ඉදිකිරීම ආදිය රටේ මේ වන විට සිදුවෙමින් තිබෙනවා. පාසල්වලට තට්ටු ගොඩනැගිලි නවසීයක් සාදා තිබෙනවා.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීම ඉතාම නිවැරදි තීන්දුවක් ලෙස මා දකිනවා. ඒ වගේම මෙය අප දකින්නේ වැඩ කළ හැකි නායකයෙක් සහ නම කියූ පමණින් රටට ආයෝජන ගලා එන නායකයෙකුගේ එකතුවක් ඇති වී තිබෙන බවයි. මේ එකතුව රටේ දියුණුවට හේතුවෙනවා.

අපේ රටේ ජාතික ප්‍රශ්නයක් තිබෙනවා. මේ තත්ත්වය රනිල්- සජිත් එකතුවෙන් විසඳන්න පුළුවන්. සියලු ජාතීන් අතර සමඟිය මොවුන් දෙදෙනාට ඇති කළ හැකියි. මේ අවස්ථාවේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳවද යම් යම් මත ඉදිරිපත් වෙනවා. පසුගිය කාලයේ ඇතිවූ පාස්කු ප්‍රහාරයත් සමඟ රටේ යම් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවුණා. මේ ප්‍රහාරවලට සම්බන්ධ වූ සහරාන් නිර්මාණය කළේ කවුද. ගෝඨාභයලා තමයි මොවුන් නිර්මාණය කළේ. ඇතිවූ ප්‍රහාරයත් සමඟ ක්ෂණිකව අදාළ පුද්ගලයන් සෙවීමට අපට හැකිවුණා. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ සිට විධිමත්ව, දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස කටයුතු කළා. ඒකයි අප ඔහු දක්ෂයෙක් බව ප්‍රකාශ කරන්නේ.

නව අදහස දක්වන්න