ශ්‍රීලනිපයට එරෙහිව අලුත් පක්ෂයක් හැදුවේ මහින්ද: මම නෙමෙයි | දිනමිණ


 

ශ්‍රීලනිපයට එරෙහිව අලුත් පක්ෂයක් හැදුවේ මහින්ද: මම නෙමෙයි

බලලෝභී විනාශකාරීන් කිහිප දෙනෙකු විසින් ඉතා භයානක ලෙස අප ආදරණීය පක්ෂය විනාශ කිරීමට ක්‍රියාත්මක කර තිබෙන කුමන්ත්‍රණයෙන් පක්ෂය බේරාගැනීමට තිබෙන එකම විකල්පය නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සමඟ එක්වීමයැයි තමා තරයේ විශ්වාස කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රීලනිප සභාපති වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර සිටින්නීය.

හිටපු ජනාධිපතිනිය විසින් පක්ෂයේ සභාපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාට යැවූ ලිපිය සම්පූර්ණයෙන්ම මෙසේය.

2019 නොවැම්බර් මස 16 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී මගේ දේශපාලන ස්ථාවරය පිළිබඳ පක්ෂයේ සභාපති වන ඔබතුමාට පැහැදිලි කළ යුතුයැයි මම විශ්වාස කරන බැවින්, මෙසේ ලිවීමට අදහස් කළෙමි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොහොට්ටු පක්ෂයේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහයෝගය ලබාදෙමින් එම පක්ෂය සමඟ සන්ධානගත වී ඇති බව මාධ්‍ය මගින් දැනගන්නට ලැබිණි. අප පක්ෂයේ ව්‍යවස්ථාව අනුව මධ්‍යම කාරක සභාව නියමිත පරිදි කැඳවා මේ පිළිබඳ තීරණයක් ගෙන නැති බව මම දනිමි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන මට 2018 වසරේ ජුනි මස සිට මේ දක්වා මධ්‍යම කාරක සභා රැස්වීම් දැනුම් දී නැත. 2019 මැයි/ජුනි මාසවල මා විදේශගත වී සිටි අවස්ථාවේ එක් මධ්‍යම කාරක සභා රැස්වීමක් පමණක් පක්ෂ මහලේකම් විසින් දැනුම් දී තිබුණි. මා රටේ නොමැති බව පැහැදිලිව දැන සිටියද, අවුරුද්දකට පසු මෙසේ ආරාධනා කිරීම පිළිබඳව ලේකම්වරයාට (ඔබටද පිටපතක් සහිතව) ‍මම ලිඛිතව විරෝධය පළ කළෙමි. ඉන්පසු මේ දක්වා මධ්‍යම කාරක සභා හෝ පක්ෂයේ වෙනත් රැස්වීම් පිළිබඳ මට දැනුම් දී නැත.

මේ අනුව පොහොට්ටුව සමඟ සන්ධානගතවීම පිළිබඳ සාධාරණ හේතු සහිතව මීට වසර එක හමාරකට පෙර මධ්‍යම කාරක සභා රැස්වීමේදීද අවස්ථා කීපයකදී ලිඛිතව ඔබටද දන්වා සිටියෙමි.

එහෙත්, මට කිසිදු දැනුම්දීමක් හෝ අදහස් දැක්වීමට අවස්ථාවක් හෝ නොදී ඉතා අත්තනෝමතික මෙන්ම පක්ෂයේ ව්‍යවස්ථාවට හා සම්ප්‍රදායට විරුද්ධව පොහොට්ටුව සමඟ ගිවිසුම්වලට එළඹ, එහි අපේක්ෂකයාට සහයෝගය දැක්වීමට තීන්දු කර තිබේ. අද වන තෙක් මේ තීන්දුව පිළිබඳ මා ඇතුළු විධායක කාරක සභාවේ හා සමස්ත ලංකා කාරක සභාවේ සාමාජිකයන්ට දැනුම් දී නැත.

තත්ත්වය මෙසේ තිබියදීත් මම නිහඬව සිටියෙමි. මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ එකඟතා ගිවිසුම අත්සන් කරන උත්සවයට මට ආරාධනා ලැබ විශේෂ ආරාධිත අමුත්තියක ලෙස එම අවස්ථාවට සහභාගි වීමි.

විවිධ පක්ෂවල සම්මේලන සඳහා අනෙකුත් පක්ෂවල නායකයන්ද සහභාගි වන්නාක් මෙන් මමද එම උත්සවයට සහභාගි වුණෙමි. මීට පෙර 2016 වසරේදී පැවති එක්සත් ජාතික පක්ෂ සම්මේලනයට මා සමඟ ඔබතුමාද සහභාගි වී කතාවක් ද පැවැත්වූ බව මතක ඇතැයි සිතමි.

තවද, අප පක්ෂයේ සංවිධායකයන්, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රබල පාක්ෂිකයන් සෑහෙන පිරිසක්ද නොයෙක් වර මා හමුවෙමින් පොහොට්ටුව සමඟ සන්ධානගතවී ගෝඨාභය රාජපක්ෂට සහාය දැක්වීමට විරුද්ධත්වය ප්‍රකාශ කරමින්, ඔවුන්ට වෙනත් මඟක් පෙන්වන ලෙස අයදිමින් සිටිති. ඔවුන් ද ඉකුත් ඔක්තෝබර් 01 වෙනිදා අත්සන් කෙරුණු ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය පිහිටුවීමේ උත්සවයට නියත වශයෙන්ම සහභාගි වන බව මා හට දැනුම් දී තිබුණි.

අප පක්ෂයේ අපේක්ෂකයා ව‍ශයෙන් ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය පිළිබඳ කිසිදු විරෝධයක් දක්වා නොමැමැති බවද මම පැහැදිලිව දනිමි.

2015 ජනාධිපතිවරණයෙ‍න් මෙන්ම මහා මැතිවරණයෙන්ද පරාජයට පත් වන්නට තිබුණු අප පක්ෂය, ඔබගේ නායකත්වයෙන්, අපි සියලුදෙනා එකතුව බේරාගෙන, ජයග්‍රාහී මාවතට පත් කළාක් මෙන්, මෙවරද බලලෝභී විනාශකාරීන් කිහිපදෙනෙකු විසින් ඉතා භයානක ලෙස අප ආදරණීය පක්ෂය විනාශ කිරීමට ක්‍රියාත්මක කර තිබෙන කුමන්ත්‍රණයෙන් පක්ෂය බේරාගෙන, ආණ්ඩුවෙන් ලබාගත හැකි ප්‍රයෝජන පාක්ෂිකයන්ට ලබාදෙමින්, පක්ෂය ශක්තිමත් කර ඉදිරියට ගෙන යාමට තිබෙන එකම විකල්පය මෙය බව ද මම තරයේ විශ්වාස කරමි.

තවද සති කිහිපයකට පෙර පොහොට්ටුව සමඟ අත්සන් කර හොර රහසේ තබාගෙන ඇති ගිවිසුම ප්‍රකාරව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මළගම සහතික කර තිබේ. ගිවිසුමේ 12 වන ඡේදය පමණක් වූවද මාගේ සැකය තහවුරු කිරීමට ප්‍රමාණවත් වෙතැයි සිතමි.

සිරිමාවෝ මැතිනිය පක්ෂයෙන් පන්නා දැමීමට 1980 දී මහින්ද රාජපක්ෂ මහතා, මෛත්‍රීපාල සේනානායක මැතිතුමා සමඟ රටපුරා ක්‍රියාත්මක කළ සටනෙන් පටන්ගත් කුමන්ත්‍රණය, කොබ්බෑකඩුව - ජේ. ආර්. ජනාධිපතිවරණ සටනේදී, බැසිල් එක්සත් ජාතික පක්ෂ ‍වේදිකාවට යවා මහින්ද පක්ෂයේ සිටිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව මහතා පරාජය කිරීමට විවිධ කූට උපක්‍රම යෙදවීය. ඒ කුමන්ත්‍රණ හේතුවෙන් වසර 17ක් ගුටි කකා විපක්ෂයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, ආපසු රාජ්‍ය බලය ලබාගැනීම පිණිස 1994 දී මාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක කරන ලද මැතිවරණ සටනට ඔහු කිසිම සහයෝගයක් නොදැක්වූවත්, මා ඔහුට කැබිනට් ඇමැති තනතුරක් පවා ලබාදුනිමි. එහෙත් 2001 දී අපේ මන්ත්‍රීවරුන් 09 දෙනෙක් එජාපයට යවා, අප රජය පරාජය කර, එජාපයට රාජ්‍ය බලය ලබා දී ඔවුන් ලවා මට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමටත්, ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ සහාය ඒ සඳහා ලබාදීමටත් විවිධ පරාජිත කුමන්ත්‍රණ සිදුකළේය. (මේ පිළිබඳ පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස සිටි ඔබතුමා ඉතා හොඳින් දන්නා බව මතක ඇත) රාජපක්ෂ මහතා ජනාධිපති සහ පක්ෂ සභාපති ලෙස පත්වූවාට පසු ශ්‍රීලනිපය සැලසුම් සහගතව විනාශ කිරීමට කටයුතු කර දැන් ශ්‍රීලනිපයට එරෙහිව අලුත් පක්ෂයක් ගොඩනගාගෙන, ඒ පක්ෂයේ නායකත්වයද අරගෙන තිබෙන බව ඔබ දන්නවා ඇත. නමුත් ඔහුට එරෙහිව පක්ෂය විසින් විනය කටයුතු කර නැතිවා පමණක් නොව, එයට එරෙහිව ප්‍රකාශයක්වත් සිදුකර නොමැත.

එසේනම් මාගේ ක්‍රියාදාමයෙන් අප පක්ෂයට කිසිදු හානියක් සිදුනොවූ බව මම තරයේ විශ්වාස කරමි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජයවේවා!

මීට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සදා ළැදි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

නව අදහස දක්වන්න