සාමයෙන්, සහෝදරත්වයෙන් ජීවත්වන මානවවාදී රටක් ගොඩනැඟෙන්නේ කලාකාමී සමාජයකින් | දිනමිණ


 

සාමයෙන්, සහෝදරත්වයෙන් ජීවත්වන මානවවාදී රටක් ගොඩනැඟෙන්නේ කලාකාමී සමාජයකින්

සියලු ජනතාව සාමයෙන්, සමඟියෙන් සහ සහෝදරත්වයෙන් ජීවත්වන මානවවාදී රටක් ගොඩනැඟෙන්නේ කලාකාමී සමාජයක බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය උපහාරය පුද කරමින් සංවිධාන කළ විශේෂ හමුවක් පෙරේදා (04) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. එම උත්සව අවස්ථාවේදී ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේය.

ඉකුත් පස් වසර පුරා ජනාධිපතිවරයා ගෙන ගිය වැඩපිළිවෙළ මේ රටේ කලාකරුවන්ට මහත් ශක්තියත් වූ බව මෙහිදී ගායක ගායිකාවන් පෙන්වා දුන් අතර, කලාකාමී සහ මානවවාදී නායකයෙකු වූ වත්මන් ජනාධිපතිවරයා කලාකරුවන් වෙනුවෙන් ඉටුකළ අමිල මෙහෙවරට සිය කෘතවේදිත්වය පළ කර සිටියහ.

ජනාධිපතිවරයා වෙත සිය උපහාර පුදකරමින් සමරු තිළිණ පිළිගැන්වීම ද සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.

විශේෂයෙන්ම ඔබේ ගායක ගායිකා සංගමය මම හිතන්නේ ගෙවී ගිය වසර ගණනාවක් ඔබ ම කියූ පරිදි 90 දශකයේ ආරම්භ කළ සංවිධානයක්. මේ සංවිධානය රටේ ගායන කේෂ්ත්‍රයට ඉතාමත් වැදගත් සංවිධානයක් විදියටයි මම දකින්නේ.

ඕනෑම ක්ෂේත්‍රයක, ඕනෑම වෘත්තියක කටයුතු කරන පිරිස්වලට තමාගේ ශක්තිය පෙන්වන්නත්, තමාගේ අයිතිය සඳහාත්, තමන්ගේ වරප්‍රසාද සඳහාත්, තමාගේ සේවය පුළුල් ලෙස ලබා දෙන්නත්, බලාපොරෙත්තු, අරමුණු ඉෂ්ට කර ගන්නත්, ඒ සියලු දේටම සංවිධානයක් තියෙන්න ඕනෑ. තනිව කිසිදෙයක් කෙනෙකුට කරන්න පුළුවන්කමක් නැහැ. ජීවිතයට වගේම රටක, සමාජයක සාර්ථකත්වය තියෙන්නේ සංවිධානගත වූ ආකාරයට තමයි. ඒක ඔබ දන්නවා. විශේෂයෙන්ම අපි කතා කරන කණ්ඩායම් හැඟීම නැතිනම් තනිව සැම විටම පරාජය ලබනවා. ජයග්‍රහණය තියෙන්නේ කණ්ඩායම් හැඟීමෙයි.

විශේෂඥ වෛද්‍යවරයෙක් ශල්‍යකර්මයක් කරන්න ඔහුට හොඳ කණ්ඩායමක් ඉන්නවා. සහායක වෛද්‍යවරු, සහායක හෙද නිලධාරීන්, තවත් ඊට අදාළ පරිපූරක සේවයේ වෛද්‍ය සේවයේ කටයුතු කරන අය, ඒ එක නායකයෙක් යටතේ රෝගියෙකුගේ ශල්‍යකර්මයක් කරනවා. ඒක සාර්ථක වෙන්නේ ඒ තිබෙන කණ්ඩායම් හැඟීමෙයි. ඒ වගේ තමයි ඕනෑම ආයතනයක්, යම් අරමුණක්, සඳහා විශේෂයෙන්ම මිනිස්සු විදියට වැඩ කරන විට සංවිධානගත වූ විට තමයි එහි ප්‍රබල පදනමක් සහ ශක්තියක් ඇති වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ගෙවී ගිය අවුරුදු 20ක 25ක කාලයේ ඔබටම අත්දැකීමක් තිබෙනවා සංවිධාන බිහිවීමෙන් පස්සේ තමයි ගායක ගායිකාවන් විදියට මේ කේෂ්ත්‍රයේ මේ ශිල්පීන් ශිල්පිනියන් විදියට ඔබේ අරමුණු ඉෂ්ට කරගන්නට වඩාත් යම් පදනමක් ඇති වුණේ කියලා විශ්වාස කරනවා. අපි හැම කෙනෙක්ම මනුෂ්‍යයෝ විදියට හිතන විට ඒ මනුස්සකම ශක්තිමත් වෙන්නේ මනුෂ්‍යකම ක්‍රියාකාරීව පෙන්නුවොත්. ලෝකයේ සෑම මනුෂ්‍යයෙකුගේම ඇතිවන කලාත්මක සිතුවිලිත් සමඟ තමයි සැබෑ මානවවාදී දර්ශනයක්, මිනිසුන්ට ආදරය කරන හැඟීමක්, මානුෂීය ගුණාංග සෑම කෙනෙකුටම පිහිටන්නේ. ඒ කලාත්මක සිතුවිලි සහ අදහස්වල තමයි ප්‍රධාන වශයෙන්ම මිනිසුන්ට ආදරය කරන සමාජයක් ගොඩ නැඟෙන්නේ. ඒක මුළු ලෝක ඉතිහාසය ම පෙන්නුම් කර තියෙනවා. ආදරය, දයාව, කරුණාව, සෙනෙහස, ප්‍රේමය, මනුෂ්‍යකම මේ සියල්ල පෙන්නුම් කරන්න පුළුවන් වෙන්නේ ප්‍රධාන කේෂ්ත්‍රය තමයි කලාව කියන එක. ඒ තුළ ඔබ ඉහළම ප්‍රමුඛත්වයක් ගනු ලබනවා.

මම අවුරුදු 15, 16 කාලේ වගේ තමයි ගෙයක් ගෙයක් ගානේ ගිහිල්ලා සින්දු කියන්න පටන් ගත්තේ. අද වගේ වාදක මණ්ඩලයට තිබෙන නව තාක්ෂණික වාද්‍ය භාණ්ඩ ඒ කාලේ ගමේ හැදිච්ච අපි දැක්කේ නැහැ. අපිට තිබුණේ ඩොල්කියක්, ඩොලැක් එකක්, සර්පිනාවක්, පුංචි රබානක්. පොළොන්නරුවේ මහ කැලේ, වන්නියේ අපේ ගමේ ඒක ගොවි ජනපදයක්. ඩී.එස්. සේනානායක මහත්තයා හදපු. අපි ගමේ තරුණ පිරිස එකතු වෙලා පොඩි සංගීත කණ්ඩායමක් හදා ගත්තාම අපිට ගමේ හැම ගෙදරකින්ම ආපු ආරාධනා අපිට හදාගන්න බැරුව ගියා කොහොමද ඒ වැඩේ කරන්නේ කියලා. ඒ තරමටම ගමේ ඉල්ලුමක් තියෙනවා ගෙවල්වලින් සවසට ඇවිල්ලා අද කියන විදියට නම් පැදුරු පාටියක් දාන්න කියලා. ඒ කාලේ කියන්නේ සාජ්ජයක් දාන්න කියලා. ඉතින් වයස අවුරුදු 15-16 රබානයි, සර්පිනාවයි, ඩොලැක්කියක් අරගෙන ගිහිල්ලා අපි සින්දු කියනවා. ඉතින් ඒ අතරට මම පාසලේ විශේෂයෙන් ම අධ්‍යාපනය ලබන කොටත් සංගීත කේෂ්ත්‍රය විෂයක් විදියට හැදෑරුවා. මගේ වාද්‍ය භාණ්ඩය එස්රාජ් එක. ඒ නිසා බෙහෝ වෙලාවට ඔබේ ක්ෂේත්‍රයට මම ආදරය කළා, ඇලුම් කළා, බොහෝම සෙනෙහසක් ඇති වුණා.

ඉතින් අපි සැමවිටම කල්පනා කරන්නට ඕනෑ ඔබේ ක්ෂේත්‍රය විට ගත්තාම ඇත්තෙන්ම මට කලාකරුවන් පිළිබඳව හැඟීමක්, ආදරයක් සහ ගෞරවයක් තිබුණා වගේම කලාකරුවා කියන කෙනා වඩාත්ම අසරණයි කියන එක ඇත්තටම දැනගත්තේ ජනාධිපති කෙනෙක් වුණාට පස්සේ. රටම දැකපු, රටම දකින, රටම ආදරය කරන, රටම ගරු කරන, රටම ප්‍රිය කරන, ගායන කේෂ්ත්‍රයේ ඔබ. අනිත් කලා ක්ෂේත්‍ර ගත්තොත් ගායනය, වාදනය, නර්තනය මේ සෑම දෙයක්ම චිත්‍රපටි කලාව ද, ඒ වගේම ටෙලිවිෂනය හරහා එන කලාත්මක ක්ෂේත්‍රයද මේ සියල්ලත් එක්ක ප්‍රධාන වශයෙන්ම එක් එක් වෘත්තීන්වල කටයුතු කරන පිරිස් ගත් විට කලාකරුවා බොහෝ ආර්ථික ප්‍රශ්න රාශියකට මුහුණ දෙන සමාජයේ ප්‍රබලම පිරිස විදියටයි මම දකින්නේ. වෘත්තීය ක්ෂේත්‍ර ගත්තාම. ඒ නිසා මම හිතන්නේ මෙවැනි සංවිධානගත වීම් ඉතාමත්ම වැදගත් වෙනවා.

අපේ රටේ දේශපාලන ක්ෂේත්‍රය සහ කලාකරුවා පිළිබඳව මම කතා කරන්නේ නෑ. මේ කාලේ ඡන්ද කාලේ හන්දා. නමුත් ලෝකයේ රටවල්වල බොහෝ වෙලාවට අපි දකිනවා කලාකරුවන් වෙනුවෙන් ඇති කර තිබෙන විවිධ සංවිධානාත්මක ආයතන, රාජ්‍ය මැදිහත්වීම, විශේෂ ඒ සඳහා ඇති කර තිබෙන අරමුදල්, ඒ සඳහා නීතිගත කරපු ආයතන, ලෝකයේ ඉහළම සංවර්ධනයක් වගේම අධිතාක්ෂණයක් තිබෙන ලෝකයේ, බටහිර ලෝකයේ, ඒ වගේම පෙර, අපර දෙදිගම ගත්තොත් විශේෂයෙන්ම ඉහළම සංවර්ධනයක් තිබෙන රටවල කලාකරුවන් සඳහා මොන විදියේ සැලකිලි, ගෞරව, ප්‍රතිලාභ, වරප්‍රසාද, අයිතිවාසිකම් ලබා දෙනවාද කියන එක මට වඩා ඔබ දන්නවා.

ඒ නිසා මම හිතන්නේ අපි සැමවිටම සංවිධානගත වීම වැදගත්. මේ සංවිධානය මීට වඩා යම් රජයකට බලපෑමක් කරන සංවිධානයක් බවට පත්විය යුතුයි කියලා මම විශ්වාස කරන්නේ. ඔබේ තිබෙන වෘත්තීය පසුබිම ගත් විට ඒ සඳහා නොයෙක් අංශවලින් තිබෙන එක් පැත්තකින් නීතිමය බාධාවක්, තවත් පැත්තකින් ගත් විට ලබාගත යුතු අයිතිවාසිකම් හා වරප්‍රසාද ඒ තුළ තමයි යම් වර්ධනයක් ඇති වන්නේ. කෙනෙකුට තමාගේ දක්ෂකම්, හැකියාවන්, නිර්මාණශීලීභාවයන්, කුසලතාවයන් පෙන්නුම් කරන්න, ඔප්නංවන්න තමන්ට හොඳ යහපත් පරිසරයක් තියෙන්න ඕනෑ. තමන්ගේ දැනුම, අවබෝධය, පරිණතභාවය, කෙනෙකුට තිබිය යුතු යම් ක්ෂේත්‍රයක බහුශ්‍රැතභාවය, ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම නිදහස් මනසක් හොඳ පරිසරයක් තිබෙන්න ඕනෑ, නිර්මාණශීලී දේවල් එළි දක්වන්න. තමන්ට පෞද්ගලිකව බලපාන යම් යම් කරදර, ජීවිතයේ බාධා තියෙනවා නම් එවිට නිර්මාණශීලීභාවයෙන් බොහෝ විට දුර්වල වෙනවා. ඒක නිසා මේ සංවිධානය වඩාත් මම හිතන්නේ මීට වඩා ශක්තිමත් වීම අවශ්‍යයි. ගායනයේ දී සෑම කෙනෙකුටම ඔබ අවශ්‍යයි. ඔබ රජයට අවශ්‍යයි. ඔබ සමාජයට අවශ්‍යයි. ඔබ මිනිස්සුන්ට අවශ්‍යයි. ඔබ රූපවාහිනියට අවශ්‍යයි. ඔබව ව්‍යාපාරිකයන්ට අවශ්‍යයි. ඔබ විද්‍යාඥයන්ටත් අවශ්‍යයි. ඒ හැම කෙනෙකුටම අවශ්‍ය ඔබ, ඔබේ ශක්තියෙන් මේ තිබෙන සංවිධානය තව තවත් සංවිධානගත වීම සහ මෙයින් අනික් රාජ්‍ය සහ අනෙතුත් අංශවලට බලපෑමක් කරන සංවිධානයක් බවට පත්විය යුතුයි කියලා මම විශ්වාස කරන්නේ.

මම තව දින කිහිපයකින් මේ තනතුරෙන් විශ්‍රාම ගියත් මම බලාපොරොත්තු වෙනවා රට වෙනුවෙන් තව කළ හැකි සේවයක් ඉටු කරන්න. මම මොන ක්ෂේත්‍රයේ හිටියත්, මොන තනතුරක හිටියත් ඔබ වෙනුවෙන්, ගායක ගායිකාවන් වෙනුවෙන්, කලාකරුවන් වෙනුවෙන් මේ රටේ මට කළ හැකි යම් දෙයක් තියෙනවානම් උපරිම ලෙස ඒ සඳහාත් කටයුතු කරනවා කියලා කියන්න ඕනෑ. ජානක කතා කරන ගමන් කිව්වා නින්දා, අපහාස උපහාස පිළිබඳව. බුදුන් වහන්සේ තමයි ලෝකේ වැඩිපුරම නින්දා, අපහාස උපහාස විඳපු පුද්ගලයා. ඊළඟට ජේසුස් වහන්සේ. මෑත කාලය ගත් විට ගෙවී ගිය දශක 60ක, 70වක කාලයේ මිනිසුන්ට ආදරය කරන්න ගිහින් තමයි ඒබ්‍රහම් ලින්කන්, ආතර් මාටින් ලුකර් කිං, මහත්මා ගාන්ධි වගේ පුද්ගලයෝ වෙඩි පහරට ලක් වුණේ. ඉතින් ලෝකයේ මිනිස්සුන්ට ආදරය කරන අයට ඒ විදිහට තමයි සලකන්නේ. නමුත් අපි කිසි වේලාවක මිනිසුන්ට යමක් කරලා මිනිසුන්ගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. මනුෂ්‍යයෝ විදිහට මිනිසුන්ට සේවය කළ යුතුයි කියන අධිෂ්ඨානය සහ කැපකිරීමෙන් මිනිසුන් වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් ඒ දේ තමා ප්‍රධාන වශයෙන්ම වඩාත් යහපත් වෙන්නේ.

මගේ ජීවිත කාලයේ මම වඩාත්ම සතුටු වෙන දේ තමයි මත්ද්‍රව්‍යවලින් දරුවන් සහ රට නිදහස් කර ගැනීමේ ගෙන යන ව්‍යාපාරය. මම ඇඩික් ආයතනයට එක්වුණු වේලාවේ මත්ද්‍රව්‍ය මර්දන ව්‍යාපාරයේ කථිකයෙක් විදිහට රට වටේ දේශනවලට ගියා. මම සෞඛ්‍ය ඇමැති විදිහට හිටපු කාලේ අරක්කුවලට, සිගරට්වලට, කුඩුවලට ගෙන ගිය සටන ඔබට මතක ඇති. ඇත්තටම මම ජනාධිපතිවරයෙක් වෙන්න තරම් රටේ මහජනයාගේ පිළිගැනීමක් සහ විශ්වාසයක් ඇති වුණේ සෞඛ්‍ය ඇමැති කාලේ මම කරපු දේවල් හේතු වුණා කියලා මම විශ්වාස කරනවා. අධිකරණයට පවා මට යන්න සිද්ධ වුණා මේ මත්ද්‍රව්‍යවලට විරුද්ධව නඩු දාපු වේලාවේ.

මෙහි දී ප්‍රධන වශයෙන් මේ පිළිබඳ සඳහන් කරන්නේ අද උදේ නාවික හමුදාපති මට කතා කළා, සර් අපි පෙරේදා ඇල්ලුවා හෙරොයින් කිලෝ 223ක් කියලා. අද ලෝකයේ දරුණුතම ප්‍රබලම අභියෝගය තමයි හෙරොයින් මර්දනය. මත්ද්‍රව්‍ය නිසා සිදුවන හානිය ඉතාමත්ම බරපතළයි. අද ලෝකයේ, සමාජයේ වෙනත් ව්‍යසනයන්ට වඩා බරපතළ ලෙස තේරුම් ගත යුතු ප්‍රශ්නයක් බවට මත්ද්‍රව්‍ය පත්වෙලා තිබෙනවා. මතින් නිදහස් රටක් ගොඩනඟන්න ඔබේ ක්ෂේත්‍රයේ විදිහටත්, ගායක ගායිකාවන් විදිහටත් බොහෝ දේ කළ හැකියි. මත්ද්‍රව්‍ය පිළිබඳ බොහෝ ගීත ගායනා කරනවා. මිනිසුන්ට යම් පණිවිඩයක් දෙන්න සැබෑ ලෙසම ඔබ තරම් දක්ෂ පිරිසක් නෑ.

දරුවෙක් උපදින වේලාවේ ඒ දරුවා අඩන විට, දරුවා නළවගන්න ගීත ගායනා කරනවා වාගේ තමයි මැරෙන මොහොතෙත් ඇහෙන්නේ ගායනය තමයි. මම විශේෂයෙන් ම මත්ද්‍රව්‍ය ගැන කිවුවේ මත්ද්‍රව්‍ය පිළිබඳ අද රටේ විශ්වවිද්‍යාල දරුවන්ට, පාසල් දරුවන්ට වෙන විනාශය නොමිලේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම නිසා. ඇතැම් දේශපාලනඥයන්ගේ සම්බන්ධය ඇතිව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සමාජයක් විනාශ කරන්න ගෙන යන ව්‍යාපාරය.

අපේ රටේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු අය පුනරුත්ථාපනය කිරීම සඳහා අද තිබෙන ලොකුම ප්‍රශ්නය තමා ඒ සඳහා ආයතන නෑ. රාජ්‍ය ආයතන තිබෙන්නේ සුළු ප්‍රමාණයක්. රාජ්‍ය නොවන සංවිධානවලින් තිබෙනවා කිහිපයක් පමණයි. නමුත් විශේෂයෙන්ම මවුපියන්ගේ විශාල ඉල්ලීමක් තිබෙනවා තමන්ගේ දරුවෝ බේරලා දෙන්න කියලා. නමුත් ලංකාවේ අද ඒ ඉල්ලුමට සැපයුමක් නෑ ආයතන නැති නිසා. ඒක අද ප්‍රබල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා.

මම මාගේ කාලයේ මම ගෙන ගිය වැඩපිළිවෙළ මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය, පාලනය සහ දරුවන් රකිමු වැනි ව්‍යාපෘති සඳහා දැඩි ලෙස කැප වුණා. ඔබ මාධ්‍යවල දකින්න ඇති හැම සතියෙම අඟහරුවාද දවසක මාගේ කාර්යාලයට නිවුන් දරුවෝ කොච්චර එනවාද කියලා. හරිම සුන්දර දර්ශනයක් ඒක. මම නිවේදනය කළා නිවුන් දරුවන් දෙන්නෙකුට වැඩිය සිටින පවුල්වලට ලක්ෂ පහ ගානේ ආධාර කරනවා කියලා. මම ඊට පස්සේ තමා දැන ගත්තේ මේ රටේ මෙච්චර නිවුන් දරුවෝ ඉන්නවා කියන එක.

විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය සහ දරුවන් රකිමු කියන කාරණාව ගත්තම රටක අනාගතය පිළිබඳ ප්‍රබල ප්‍රශ්නයක් රටේ ආර්ථිකයට, දුප්පත්කමට සහ දුගීභාවයට. ඒ නිසා ඔබෙන් කරන ඉල්ලීමක් තමා මම කිව්වේ. ගායක ගායිකාවන්, වාදයකයන් සෑම කෙනෙකුටම මේ කලා ක්ෂේත්‍රයේ ප්‍රධාන වශයෙන්ම රට මත්ද්‍රව්‍යවලින් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ දී පුළුල් කාර්යයක් කරන්න ඔබට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අද ඔබ හමුවීම ගැන විශේෂයෙන් ම සතුටු වෙනවා. ඔබේ හැකියාව, නිර්මාණශීලි භාවය, ක්‍රියාශිලීත්වය, දක්ෂකම මේ ක්ෂේත්‍රවලට තිබෙන ඒ පුදුමාකාර ආකර්ෂණීය තත්ත්වය ජනතාවට ඔබ කෙරෙහි තිබෙන, ඒ සියල්ල ඔබ පාවිච්චි කර තිබෙනවා ඔබේ පෞද්ගලික ජිවිතය වාගේම ඔබ රට, මහජනතාව වෙනුවෙන්. ඒ නිසා ඔබ සියලු දෙනාටම සුබ පතනවා, ආශිර්වාද කරනවා ඔබේ සංගමයේ අරමුණු පරමාර්ථ සියලු ආකාරයෙන්ම ඉටු වේවායි කියලා. ඒ නිසා තමයි ඉස්සරහටත් මට පුළුවන් ආකරයෙන් හැකි සෑම අවස්ථාවක ම උදව් උපකාරන කරනවා. ඔබ සියලුදෙනාට නිරෝගී සෞඛ්‍ය සම්පන්න දීර්ඝායුෂ පතමින් ඔබේ හැකියාවෙන් රටේ ජනතාවට දරුවන් වෙනුවෙන් සේවය කරන්නට ධෛර්ය වාසනාව ශක්තිය ලැබේවායි කියා සුබ පතමින් ආශිර්වාද කරනවා.

ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති ජානක වික්‍රමසිංහ මහතා ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවෝ රැසක් මීට එක්ව සිටියහ.

ඡායාරූප : චන්දන පෙරේරා-ජනාධිපති මාධ්‍ය අංශය

නව අදහස දක්වන්න