කඩවත මහමායා විද්‍යාලයේ දැරියන්ට ජනපති දුන් පොරොන්දුව ඉටු වෙයි | දිනමිණ


 

කඩවත මහමායා විද්‍යාලයේ දැරියන්ට ජනපති දුන් පොරොන්දුව ඉටු වෙයි

රක්ෂණ ශ්‍රියන්ත

කඩවත මහමායා විද්‍යාලයේ දැරියන්ට ජනපති දුන් පොරොන්දුව ඉටු වෙයි. මහර, කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ ඉදිකෙරුණු ගෘහස්ථ ක්‍රීඩාගාරය සහිත නව ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පෙරවරුවේ සිදු විය.

විද්‍යාලය වෙත ගිය ජනාධිපතිවරයා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය. ජනාධිපතිවරයා අතින් සමරු ඵලකය නිරාවරණය කර ගෘහස්ථ ක්‍රීඩාගාරය සහිත නව ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීම සිදු කෙරිණි.

අධ්‍යාපනයෙන් මෙන්ම ක්‍රීඩාවෙන් ද දක්ෂතා රැසක් පෙන්වා ඇති කඩවත මහමායා විද්‍යාලයේ පැවති දීර්ඝකාලීන අඩුපාඩුවක් සපුරාලමින් ක්‍රීඩාගාරය සහිත දෙමහල් ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා පසුගිය අප්‍රේල් මාසයේ දී ජනාධිපතිවරයා අතින් මුල්ගල් තැබිණි. එහිදී ජනාධිපතිවරයා දරුවන්ට ලබාදුන් පොරොන්දුවක් අනුව මාස 06ක් වැනි කෙටි කාලයකදී ක්‍රිඩාගාරය සහිත නව ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් නිම කෙරුණු අතර වැය කළ මුදල රුපියල් මිලියන 50කි.

ඉතා කඩිනමින් ක්‍රිඩාගාරය සහිත නව ගොඩනැඟිල්ල පාසල වෙත ලබාදීමට කටයුතු කිරීම පිළිබඳ මෙහිදී සිසු දැරියෝ ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කර සිටියහ.

විදුහල්පතිනි පුෂ්පිකා බන්දුවංශ මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වූවාය.

එරොබික්ස් ජිම්නාස්ටික් සංදර්ශන කණ්ඩායමේ ඇතුළු විද්‍යාලයේ දරුවන්ගේ ඉදිරිපත් කිරීම් රැසකින් ද මෙම අවස්ථාව වර්ණවත් විය.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන්, අධ්‍යපන අධ්‍යක්ෂවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන්, ගුරුභවතුන් සහ සිදු දියණියන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප : නිරෝෂ් බටේපොළ

නව අදහස දක්වන්න