ගෝඨාභයට එදා රට හදන්න බැරිවුණා දැන් බොරු පොරොන්දු දී ජනතාව මුළා කරනවා | දිනමිණ


 

ගෝඨාභයට එදා රට හදන්න බැරිවුණා දැන් බොරු පොරොන්දු දී ජනතාව මුළා කරනවා

චමීර ඇල්ලදෙණිය

- අපේ ආණ්ඩුව වසර පහකට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතකර ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කළා 
- ඉසෙඩ් අගය ඉවත් කර පාසල අනුව සරසවියට සිසුන් ගන්න බෑ 
- සෞඛ්‍යයට- අධ්‍යාපනයට අපි තරම් විශාල මුදලක් කවුරුවත් වෙන්කළේ නෑ

පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දෙවැනියාව සිටි ගෝඨාභය රාජපක්ෂට එදා රට හදන්න බැරිව දැන් බොරු පොරොන්දු ඉදිරිපත් කරමින් ජනතාව මුලා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

වත්මන් ආණ්ඩුව වසර පහක කාලයක් ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකර ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීමට සමත් වූ බවත් එය ඉදිරියට ගෙනයාම සඳහා එජාප අපේක්ෂකයකු ඉදිරිපත් කර ඇති බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

මහජන පුස්තකාලයේ දී පෙරේදා (4) පැවැති නැණ පවුර වෘත්තීයවේදී එකමුතුව, ශ්‍රී ලංකා තරුණ ලිබරල් සංසඳය හා යුක්තිය සේනාව සංවිධාන කළ උත්සවයකට එක්වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

අද මෙහිදී අදහස් දැක්වූ අපේ පාක්ෂිකයන්ගේ ගැටලුවලට මා විසඳුම් ලබා දෙනවා. ඒ පිළිබඳ ආසන සංවිධායකවරු දැනුවත් කරවනවා. අපේ පක්ෂයේ අය තම ගැටලු දැන්ම අපට දෙන්න. අපිත් සමඟ සිටින අනෙක් පක්ෂවලට අයත් දැනුම් දෙන්න. මෙලෙස කටයුතු කර මැතිවරණ බාධා ඉවත් කරන්න කටයුතු කරනවා. මේ මැතිවරණය ඉතාම වැදගත් මැතිවරණයක්. අපි මේ රටේ නිදහස ඇති කළා පමණක් නොවෙයි සෞඛ්‍යයට, අධ්‍යාපනයට විශාල මුදලක් වෙන් කළා.

අපේ ඡන්ද ක්‍රමය නිදහස් ඡන්ද ක්‍රමයක්. ප්‍රජාතන්ත්‍රවාදය මැතිවරණ ක්‍රමය ශක්තිමත් වෙන්නේ නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය තිබෙන නිසායි. විශේෂයෙන් අධ්‍යාපනය දියුණු කරන්න ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ වගේම පාසල් 9000 කට ප්‍රතිපදාන වෙන් කර තිබෙනවා. අලුතෙන් ගුරුවරු පුහුණු කර යවා තිබෙනවා. විදුහල්වතිවරු පරිපාලන නිලධාරීන් පත් කරන්න දක්ෂතාව මතයි. දේශපාලනයෙන් නොවෙයි. මේ රටේ දිස්ත්‍රික්ක ගණනාවක රෝහල්වලට අලුත් ගොඩනැගිලි ලබා දී තිබෙනවා. අලුත් උපකරණ ලබා දී තිබෙනවා. ඖෂධ මිල අඩු කර තිබෙනවා. මහනුවර රෝහල ජාතික රෝහලක් බවට පත් වෙලා තිබෙනවා. නව වෛද්‍ය පීඨ දෙකක් ආරම්භ කර තිබෙනවා. අධ්‍යාපනය හා සෞඛ්‍යයට විශාල මුදලක් වෙන් කර තිබෙනවා. සමානාත්වතාව ඇති කිරීමට අප කටයුතු කළා. අද තිබෙන නිදහස් අධ්‍යාපන ක්‍රමය නිසා ඉහළට ඇවිත් උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලවලට ගිහින් ඉදිරියට ඇවිත් තිබෙනවා. මේ සමාජය ඉදිරියට ගෙන යන්න එදා අපි ආරම්භ කළ වැඩසටහන ඉදිරියට ගෙන යන්නයි සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වෙලා තිබෙන්නේ.

ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන්නේ අපි ගෙනගිය වැඩසටහන් ඉදිරියට ගෙන යන්නයි. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වැදගත් කරුණු ගණනාවක් තිබෙනවා. එතුමා 2000 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ලෙස විශාල පළපුරුද්දක් තිබෙනවා. නියෝජ්‍ය ඇමැතිකම් විපක්ෂයේ මන්ත්‍රීකම් දරා ආණ්ඩුවේ කැබිනට් ඇමැතිකම් දරා තිබෙනවා. මේ කාරණා එකතු කරගෙන තමයි අපි එතුමා ඉදිරිපත් කර තිබෙන්නේ. අපේක්ෂකයන් අතර ප්‍රධාන ප්‍රතිවිරුද්ධ ජනාධිපති අපේක්ෂකයා තමයි ගෝඨාභය රාජපක්ෂ. එතුමා දේශපාලනය කර නැහැ. ජන ජීවිතගැන දන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ රාජපක්ෂ ආණ්ඩුවේ දෙවැනියායි. ඒ ආණ්ඩුවට මේ රටේ ප්‍රශ්න විසඳන්න බැරි වුණා. අලුතින් ණය අරගෙන ණය ගෙවන්න බැරිවෙලා ජනාධිපතිවරණය තියා ගත්තා. සෞඛ්‍ය අධ්‍යාපනයට වියදම් අඩු කළා. අපි ක්‍රමානුකූලව අධ්‍යාපනය සියයට 6ක් මුදල් වෙන් කිරීමට කටයුතු කළා. මේ නිසා මේ අයගෙ ප්‍රතිපත්ති කුමක්ද? අප එය දැනගත යුතුයි. සජිත් ප්‍රේමදාස මහත්තයා ගෝඨාභයට මේ ගැන වාද කරන් එන්න කියා අභියෝග කර තිබෙනවා. තාම එතනට ඒමට ගෝඨාභය රාජපක්ෂ කැමැත්ත පළ කර නැහැ. දෙන්නාගේ අදහස් ගැන අපට දැනගත යුතුයි. පැහැදිලිකර ගැනීම් ගණනාවක් තිබෙනවා. ගෝඨාභයගේ ප්‍රතිපත්ති ගැන අපට දැන ගන්න ඕනේ. නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය දෙකම නැති කරන බව තමයි ගෝඨභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන්නේ. උසස් පෙළ ඉසෙඩ් අගය නැති කරන බව රට හදන සෞභාග්‍ය දැක්මේ කියන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙනවා. ඉසෙඩ් අගය නැතිනම් කොහොමද විශ්වවිද්‍යාලයට යන්නේ. මෙයින් වෙන්නේ නිදහස් අධ්‍යාපනය අවසන් වීමයි. මෙතන ඉන්න සියලූදෙනා විශ්වවිද්‍යාලයට ගියේ නිදහස් අධ්‍යාපනය නිසායි. කලා විෂයන්ට කුරුණෑගල කෑගල්ල යන දිස්ත්‍රික්ක කොළඹට වඩා ලකුණු ගන්නවා. ඒ නිසා ළඟම පාසල හොඳම පාසල යටතේ විද්‍යාගාර වැඩි කරමින් විද්‍යා ගුරු හිඟය පියවීමට අප කටයුතු කර තිබෙනවා. ගුරුවරු පුහුණු කර තිබෙනවා. ඉසෙඩ් අගය අහෝසි කළොත් මොකක්ද සිදු වෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මේක කරන එක පුදුමයක් නොවෙයි. ඔහු ඉසෙඩ් අගය වෙනුවට දිස්ත්‍රික්ක මට්ටමින් පාසල් මට්ටමින් විද්‍යාත්මක පදනමින් ලකුණු ක්‍රමයක් හඳුන්වා දෙනවලු. ඉසෙඩ් අගය ඉවත් කරලා පාසල අනුව විශ්වවිද්‍යාලයට ඇතුළු කරන්න පුළුවන්ද? බැහැ.

දැන් බලන්න පළමු වසරට ළමයෙක් ඇතුල් කරන්න තිබෙන ප්‍රශ්න. ඉසෙඩ් අගය ඇත්ත වශයෙන්ම කිසිදු දේශාපලනයක් නැහැ. තමන් තමන්ගේ විෂයන් දැනගෙන විභාගයට ඉදිරිපත් වෙලා සමත් වෙනවා නම් ඒ අය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන්. ඇයි මේ ක්‍රමවේදය අහෝසි කරන්නේ. පාසල් කීයක් තිබෙනවාද උසස් පෙළ පාසල්. ඉසෙඩ් අගය ක්‍රමය නැති නම් කොහොමද විභාය පවත්වන්නේ. නැතිනම් දේශපාලන ලියුමක් ගේන්න ඕනෑද? නැතිනම් මුදල් දීලා විශ්වවිද්‍යාලයට යවන්න ඕනෙද? ඉසෙඩ් අගය නොමැතිව වෛද්‍ය විද්‍යාලයට, ඉංජනේරු පීඨයට ඇතුළත් වෙන්නේ කොහොමද? ලෝකයේ කිසිදු රටක මෙවැනි තත්ත්වයක් නැහැ. ගෝඨාභය රාජපක්ෂට ඉසෙඩ් අගය එපා වෙලා තිබෙන්නේ ඇයි? මෙය දුප්පත් දරුවන්ට කරන අසාධාරණයක්. මේවා වහලා ජාතික ආරක්ෂාව විතරක් කතා කර විශ්වවිද්‍යාලවලට යන එක නැවැත්වීමයි. ඔවුන්ට අවශ්‍ය නැවත වැඩවසම් යුගයකට යාමටයි. ඉසෙඩ් අගය නැති කර තිබෙන විද්‍යාත්මක ක්‍රමය එළියට දාන්න. නැතිනම් අපිට කියන්න සිදු වෙන්නේ නිදහස් අධ්‍යාපනය නැති කරන්න ඡන්දයට ඉදිරිපත් වෙලා තියෙනවා කියායි. මේ හදන්නේ නිදහස් අධ්‍යාපනයට දේශපාලන ඇගිලි ගැසීම් කරන්නයි. අපි සෑම පාසලකම විද්‍යා විෂයන් ආරම්භ කරන්න කටයුතු කරනවා. ඒ සඳහා නව පීඨ දෙකක් ආරම්බ කර ගුරුවරු පුහුණු කරනවා. ඉසෙඩ් අගය නැති කරනවා කියන්නේ රතු පස්වලට වඩා ඝාතනය කිරීමක්. රතුපස්වල මැරුවේ වෙඩි තියලා. ඉසෙඩ් අගය නැතිකිරීම සමස්ත අනාගත පරපුරම ඝානය කිරීමේ වැඩපිළිවෙළක් බව කියන්න ඕනේ.

විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා- 2015 ජනවාරි 08 ඔබ මේ වගේම වැදගත් තීන්දුවක් ගත්තා. එදා බලයේ සිටි ඒකාධිපති පාලකයන් ගෙදර යවා, හංසයාට ඡන්දය දුන්නා. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කළා. අප ඒ අවස්ථාවේ පොරොන්දු වණා මේ රටට ප්‍රජාතන්ත්‍රවාදය උදා කර, බයක් නොමැතිව ජීවත්වීමේ අයිතිය ලබා දෙනවා කියා. නමුත් අපට සිදුවුණේ හවුල් ආණ්ඩුවක්. එය ටික දිනකින් අවුල් වුණා. ඒ නිසා අපි සැලසුම් කළ පරිදි සංවර්ධනය කරන්න අපට නොහැකි වුණා. නමුත් මෙවර අපි සජිත් මහතා ජනාධිපති කර. අපේම ආණ්ඩුවක් යටතේ එදා කළ නොහැකිවූ සංවර්ධනයත් කරන්න අපි පොරොන්දු වෙනවා.

අපි රටේ කොයි කොනකට ගියත් කියන්නේ එකම දේමයි. නමුත් අපේ ප්‍රතිවාදීන් උතුරට ගිහින් එකක් කියලා, දකුණට ගිහින් තවත් එකක් කියනවා. හම්බන්තොට ගිහින් තව එකක් කියලා. කොළඹට ඇවිත් වෙනස්ම එක්ක කියනවා. එක්සත් ජාතික පක්ෂය බය නැතිව අපි කියනවා ශ්‍රී ලංකාව කියන්නේ සියලු ජාතීන් එකම පවුලක් ආකාරයෙන් ජිවත්විය යුතු රටක් කියා. ඒ අනන්‍යතාව මත තමයි අපි ඔබේ අනාගත විසඳුම් ලබා දෙන්නේ. අපට අවශ්‍ය වන්නේ සියලුදෙනාට සතුටින් ජීවත්විය හැකි වාතාවරණයක් උදා කිරීමයි. භාෂා ප්‍රශ්නය, බලය විමධ්‍යගත කිරීම, එකට ජීවත්විය හැකි තත්ත්වයක් උදා කිරීම, මේ මගේ රට කියලා නිදහසේ කියන්න හැකිවීම ආදිය ස්ථාපිත කිරීම තමයි අපි, විසඳුම් ලබා දෙනවා කියන්නේ.

මේ රටේ ආර්ථිකයට නායකත්වයක් දී නිවැරදි මාර්ගයකට ගත යුතුයි. රාජපක්ෂලා අපට රට බාරදෙද්දී, පෙට්‍රල් මිල තිබුණේ රු. 167 කට. අද එය රු. 130 යි. භූමිතෙල් මිල රු. 120 තිබුණේ. අද රු. 50යි. ගෑස් රු.2650ක් වුණා. අද රු. 1437ක් පමණයි වසර 5 කට පස්සෙත්. කිරි පැකට් එක එදා 420. අද වසර 5කට පස්සේ රු.360යි. ඒ වගේම සීනි පරිප්පු ආදියේත් මිල අඩු කර තිබෙනවා. පසුගිය ආණ්ඩුව මොනතරම් ජනතාව සූරාකාල ද කියලා මෙයින් පැහැදිලි වෙනවා. නමුත් ඔවුන් දැන් කතා කරන්නේ මේ අඩුවීම් ගැන නොවෙයි, බොම්බයි ලූනු මිල වැඩිවීම ගැන පමණයි.

ආර්ථිකය ශක්තිමත් කරන්න, ජන ජීවිතය වඩාත් සමෘද්ධිමත් කරන්න, සියලු ජාතීන්ට බියක් සැකක් නොමැතිව ජීවත්වීමේ අයිතිය උදාකරන්න තමයි අපි ඔබගෙන් නැවතත් වරමක් ඉල්ලන්නේ. පසුගිය වතාවේක චාවාකච්චේරි ප්‍රදේශයෙන් අපට ලැබුණේ 72% ක ඡන්ද ප්‍රතිශතයක්. තවත් වතාවක් අපව විශ්වාස කර, නව අදහස් සමඟින් රට සංවර්ධනය කරන්න, අපට මෙවරත් 85% කට වැඩියෙන් ඔබේ වරම ලබාදී, ඔබේ ප්‍රශ්න විසඳන්න අපට බාරදෙන්න කියා මම ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, හිටපු එජාප මහලේකම් තිස්ස අත්තනායක, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දඹර අමිල හිමි ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප- සුදම් ගුණසිංහ

නව අදහස දක්වන්න