යුක්තිය-සාමය ඇති නොකර රටකට සාර්ථක වෙන්න බෑ | දිනමිණ


 

යුක්තිය-සාමය ඇති නොකර රටකට සාර්ථක වෙන්න බෑ

යුක්තිය හා සාමය උදා නොකොට සාර්ථකත්වය ළගා කර ගත නොහැකි බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ පෙරේදා (4) කොළඹ දී ආරම්භ වූ පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුව අමතමිනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්රණමසිංහ මහතාගේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය සංගමයේ මහා ලේකම් Patricia Scotland මහත්මියගේ ප්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ වූහ.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය.

පොදු රාජ්‍ය මණ්ඩලීය නීති සමුළුවට පැමිණි අග්‍රාමාත්‍යතුමා පොදු රාජ්‍ය මණ්ඩලීය සංගමයේ මහා ලේකම් Patricia Scotland මැතිනිය කථානායකතුමා අගවිනිසුරුතුමා නීතිපතිතුමා ඇතුළු සියලු රටවලින් පැමිණි අධිකරණ ඇමතිතුමන්ලා නීතිපතිතුමන්ලා අධිකරණ නිලධාරීන් ඔබ සියලු දෙනාම පිළි ගන්නවා.

මේ වසරේ දී අපගේ තේමාව වන්නේ යුක්තියට ප්‍රවිශ්ට වීම හා නිතියේ ආධිපත්‍යයයි. එය මිනිස් ජීවිතයේ ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනවා.

යුක්තියට ප්‍රවිශ්ටවීම හා නීතියේ ආධිපත්‍යය යනු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්‍යවශ්‍යම දෙයක් ලෙස ලොව පිළිගත් කරුණක් බව කිව යුතුයි. එක්සත් ජාතීන්ගේ 2030 තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයට අනුව තිරසර සංවර්ධනය සඳහා නීතියේ ආධිපත්‍යය බල ගැන්වීම ඇතුළත් කොට තිබෙනවා. තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට යුක්තියේ ප්‍රවිෂ්ටය වැදගත්. 2019 ලෝක යුක්ති ව්‍යාපෘතිය න් කළ සමීක්ෂණයකට අනුව ලොව පුරා බිලියන 4කට වැඩි ජනතාවක් යුක්තිය නිසි පරිදි ඉටු නොවී සමාජයෙන් කොන් වී සිටින බව හෙළිව තිබෙනවා.

අපි දන්නා පරිදි ජීවිතයේ සෑම අංශයකටම නීතිය බලපායි. උදාහරණයක් ලෙස සෞඛ්‍යය, අධ්‍යාපනය, රැකියා, නිවාස හා ජීවිකාව හඳුන්වා දිය හැකියි. ඒ නිසාම යුක්තියේ සිදුරු සහ නීති අභියෝග ජය ගැනීම අත්‍යාවශ්‍ය දෙයක් බවට පත්ව තිබේ. එයින් මානව හිමිකම් ආරක්ෂාවීම හිංසනයෙන් ලබන්නා වූ නිදහස සහ දිළිඳු බව හේතුවෙන් ඇති වන අනාරක්ෂිත බව තුරන් කළ හැකියි. යුක්තිය හා සාමය උදා නොකොට සාර්ථකත්වය ළඟාකර ගත නොහැකියි. යුක්තියට ප්‍රවිෂ්ටවීම පිළිබඳ කල්පනා කළ යුතුම දෙයක්. එය දුගී හෝ වරප්‍රසාද නොලත් අයට පමණක් නොව සමස්තයක් ලෙස සියලුදෙනාගේම හිමිකමක් ලෙස සඳහන් කළ යුතුයි. අධිකරණ ක්‍රමවේදය මඟින් ඔවුන්ට ආරක්ෂාව සපයා ගැනීමට සියලු මිනිසුන් බල ගැන්විය යුතුයි. අපි සියලුදෙනා එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන වැඩසටහන සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන නියමුවන් වන්නෙමු. එබැවින් නීතියේ ආධිපත්‍යය මානව හිමිකම් යුක්තියට ප්‍රවේශතාව පවතින්නේ ඒ මතිනි. මගේ අදහසට අනුව ප්‍රශ්න කිහපයක් නැගිය යුතු කාලය පැමිණ තිබෙනවා. එමගින් අපගේ අධිකරණ ක්‍රියාවලියේ ගැටලු විසඳාලීමට කුමක් කළ යුතු ද යන්න පැහැදිලි කර ගත හැකියි.

රජයන් අධිකරණ ක්‍රියාවලියෙන් මිනිසුන්ට යුක්තියේ ප්‍රවිෂ්ටතාව ලබා ගැනීමට උදවු කරන්නේ කෙසේ ද ?. නීතියේ බලගැන්වීම ඇතුළු නීති සේවා සැපයීමට ගත හැකි නිවැරැදි පියවර මොනවාද?. අපේ රටවල නීති සහ අධිකරණ සේවා ලබාදීමේ දී නව තාක්ෂණයේ වාසිය ලබා ගත හැකි ආකාරය තිරසර අයුරින් මුලික යුක්ති සේවා කාර්යක්ෂම හා විශ්වසනීය ලෙස ලබා දෙන්නේ කෙසේ ද?. අඩු මුදලකින් නීති සේවාවන් සේවා ලාභීන්ට දිය හැකි ආකාරය දිගු කාලීන ඇගයුම් නිර්මාණයක් සමඟ සාමකාමී සමාජ වර්ධනයක් කර ගන්නේ කෙසේ ද යන්නයි.

අපි අභිනව දසකයක් ආසන්නයේ ඉන්නවා. අපි අභියෝග රැසකට මුහුණ පා සිටිනවා. අප ඒ සඳහා අභියෝග ජය ගැනීමට ජාතීන් අතර ආයතන අතර ඒකාබද්ධව ප්‍රයත්නයක් දැරිය යුතුයි. එවැනි සංදර්භයක පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල එකමුතුව ඉතා හොඳ වේදිකාවක් සපයන බව කිව යුතුයි.

2019 අධිකරණ අමාත්‍යරුන්ගේ මේ සමුළුවෙන් අපිට වඩාත් හොඳ එළඹුම්වලට ළඟා විය හැකියි.

මෙම සමුළුව පැවැත්වෙන කාලය අතර තුර සාකච්ඡා කිරීමෙන්, අත් දැකීම් බෙදා ගැනීමෙන්, දැනුම හුවමාරුව මගින් අපගේ ආර්ථිකය ශක්තිමත් කර ගනිමින් අපගේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස මෙය පත් කර ගත යුතුයි.

නව අදහස දක්වන්න