අඩු මිලට වී ගැනීම නීතියෙන් තහනම් කරනවා | දිනමිණ


 

අඩු මිලට වී ගැනීම නීතියෙන් තහනම් කරනවා

- ශ්‍රීලනිප සාමාජිකයෝ රැසක් සජිත්ගේ සහායට 
- කිසිම රජයක් ලබා නොදුන් සහන පැකේජයක් ගොවි ජනතාවට 
- සමෘද්ධිලාභීන්ට තව තවත් සහන

වී ගොවියාගේ අස්වැන්න සදහා රුපියල් 50ක සහතික මිලක් නියම කර එය පාර්ලිමේන්තුවේ අණ පනත් මගින් නීති ගතකර අඩු මිලට වී මිලදී ගැනීම තහනම් කරන බවත් එය රටේ නීතියක් බවට පත්කරන බවත් නව ප්‍රජාතන්ත්‍රන්වාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

නව ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පෙරේදා (04)හොරොව්පතාන, සේරුවිල, මහියංගණය යන ප්‍රදේශ වල පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක ජනරැලි අමතමිනි.

එහිදී ගලෙන්බිඳුනු වැව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවරණ අපේක්ෂක මහින්ද රාජකරුණා, ගීත් දිසානායක, එච්. පුංචිබණ්ඩාර, ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වර්තමාන බල මණ්ඩලයේ ලේකම් එච්. ජී. පියරත්න මහතා, අක්බෝපුර නගර සභා අපේක්ෂක අමිල සිල්වා මහතා, ගලෙන්බිඳුනු වැව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවරණ අපේක්ෂක මහින්ද රාජකරුණා, යන පිරිස ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ සහායට එක්වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා,

දැන් අලුත්ම කතාවක් අපේ පචවාහිනි වල ප්‍රදර්ශනය කරනවා. හැමදාම පච පෙන්වන්නේ. ඒ අය බොරු කතාවක් කියනවා සජිත් ප්‍රේමදාස කොන්දේසි වගයකට කොටු වෙලාලු. මොන කොන්දේසිද? කාගේ කොන්දේසිද කියා මා ඒ අයගෙන් අහනවා. හිරගෙවල්වල කාලය ගතකරන අයට උවමනාවක් තිබෙනවා ඒ අයගේ අපේක්ෂකයා පත්කරගෙන හිරගෙදරින් එළියට එන්න. ඒකයි සජිත් ප්‍රේමදාසට මඩ ගහන්නේ මේකයි පච වාහිනි වල රහස.

මා එක එක්කෙනා පස්සේ ගිහින් පින්සේන්දු වෙන්න ගිහින් නෑ. ඔයාට අරක දෙන්නම් ඔයාගේ ජන්ද මල්ල මට දෙන්න කියා ඒ සුපුරුදු,හිරිකිත, ජහජරා දේශපාලනය සජිත් ප්‍රේමදාස කරන්නේ නෑ. ඒකීය ශ්‍රි ලංකාව, සුරක්ෂිතතාව කියන දේ අකුරටම ඉටුකරන පුද්ගලයෙක් සජිත් ප්‍රේමදාස.ඒ නිසා තමයි රටේ ජාතික ආරක්ෂාව භාර සරත් ෆොන්සේකා මහතා නීතිය හා සාමය භාර ඇමතිවරයා ලෙස නම්කළේ. දැත් වල ජරාව ගෑවුණු, මංකොල්ල කාපු, දුෂණ චෝදනා තිබෙන මේ රටට කොඩිවිනයක් වූ පුද්ගලයින්ට පත්වීම් දෙන්න සජිත් ප්‍රේමදාස අත්සන් කරන්නේ නෑ කියා සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරනවා.

රට ජාතිය බේරාගත් සැබෑ යුධ වීරයා සරත් ෆොන්සේකා මහතායි. අපි එතුමාට රටේ ආරක්ෂාවේ වගකීම භාරදෙනකොට රණවිරුවන්, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල සුභසාධනය පුද්ගලිකව මා ජනාධිපති කර්යසාධක බලකාය හරහා බලනවා. මිනීමරුවන්ට, ස්ත්‍රී දූෂකයින්ට, කුඩු කාරයින්ට, කප්පම් කාරයින්ට අපේ රටේ ඉඩක් නෑ. සැමට එක් නීතියක් ලෙස මේ රටේ විනාශකාරී බලවේග සියල්ලක් අපි විනාශ කරනවා.

මම ඇත්තටම රණවිරුවන්ට ආදරය කරන පුද්ගලයෙක්. කිසිම දේශපාලන නියෝජිතයෙකුට ආරක්ෂක අංශවලට අත තියන්න මා ඉඩදෙන්නේ නෑ. ආරක්ෂක අංශ සිටින්නේ දේශපාලන නියෝජිතයන්ගේ වැඩ කරන්න නෙමෙයි රටට සේවයක් කරන්නයි.

මහියංගණය ගැන කතාකරන විට දඹානේ ආදිවාසීන් මගේ මතකයට එනවා. ඒ ආදිවාසී ජනතාට ඒ අයගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ඒ අයට කරන්නට තිබෙන උපරිම යුතුකම අනාගත රජය ඉටුකරන බව මතක් කරන්න කැමතියි. ඉඩම් ඔප්පු ප්‍රශ්න, යටුතල පහසුකම් ප්‍රශ්න, නිවාස ප්‍රශ්න තිබෙනවා. ඒ ප්‍රශ්න සියල්ල මහියංගණය ජනතාවට විසදා දෙනවා.

මේ රටේ ජනාධිපතිවරණ ගණනාවක් තිබිලා තියෙනවා. රටේ ජනාධිපතිවරු ගණනාවක් ජනතාව පත්කර දී තිබෙනවා. නමුත් පත්කරපු ජනාධිපතිවරයාත් ජනතාවත් අතර ලොකු පරතරක් ඇතිවී තිබෙනවා. වසර 25 ක දේශපාලන අද්දැකීම් තුළ මා අලුත්ම මාදිලියේ විසදුමක් ඉදිරිපත් කර තිබෙනවා. ජනාධිපති ලෙස දියුරුම් දුන් පසු අපි පළමුවෙන් කරන්නේ ජාතික සංවර්ධනය උදෙසා ජනාධිපති කාර්ය සාධක බලකායක් අපි පිහුටුවනවා.

දුප්පත්කම තුරන් කිරීම උදෙසා සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක වනවා. අපි සමෘද්ධි වැඩසටහන තවදුරටත් ශක්තිමත් කර වැඩිවැඩියෙන් ප්‍රතිපාදන ලබාදී සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කරනවා.

. අපි කෘෂිකාර්මාන්තයේ දැවැන්ත විප්ලවයක් කරනවා. මේ රටේ ප්‍රජාත්‍රන්තවාදී ඉතිහාසයේ ගොවි පරපුරට කිසිම දවසක ලබා නොදුන්න දැවැන්ත සහන පැකේජයක් අපි ලබාදෙනවා. මේ සහන පැකේජය ලබාදෙන්නේ අපේ රටේ ආහාර නිෂ්පාදනය ඉහළටම ගෙන යෑමටයි. පිටරටින් ආහාර පාන ගෙන්වීමට අවශ්‍ය නෑ. අපේ ගොවියට පුළුවන් මේ රටේ ආහාර ඉල්ලුමට සැපයුම ලබාදෙන්න. ආහාර නිෂ්පාදනය ඉහළට යන විට ජනතාවගේ අතමිට සරු වෙනවා. මුදල් පසුංබියට මුදල් ගලාඑනවා අපේ රටේ ණය උගුලෙන් අනාගත පරම්පරාවට බේරාගැනීමට පොලී ණය වාරික ගෙවන්න පුළුවන්. ඒ නිසා රටේ ප්‍රථම වතාවට සියලුම බෝග වගාවන්ටම නොමිලේ පොහොර ලබාදෙනවා කියා මා පොරොන්දු වෙනවා.

වී ගොවියාට රුපියල් 50ක සහතික මිලක් ලබාදී ඒ සහතික මිල පාර්ලිමේන්තුවේ අනපනත් මගින් නීතිගත කර නීතිගත මිලට අඩුවෙන් කිසිම කෙනෙකුට වී මිලදී ගැනීම තහනම් කර රටේ නීතියක් බවට පත්කරනවා. රට මංකොල්ලකාපු අපේ ප්‍රතිවාදීන් අහනවා කොහෙන්ද මේවා කරන්න සල්ලි කියා. මම කියන්න කැමතියි නෙළුම් පොකුණ හදන්නට ගිනි පොලී ණයට සල්ලි ගත්තනම් සජිත් ප්‍රේමදාසට හැකියාව තිබෙනවා මේ රටේ සෑම ගොවියෙකුටම නොමිලේ පොහොර ලබාදෙන්න.

රණසිංහ ප්‍රේමදාස මහතා දිවා ආහාර, නිළ ඇදුම ලබාදුන්නා පාසල් සිසුන්ට මගේ ප්‍රතිවාදියාගේ දේශපාලන කල්ලිය පාසල් යන දරුවන්ගේ දිවා ආහාරය කපා දැම්මා. මගේ පියාගේ හිතේ වැඩසටහනක් තිබුණා පාසල් දූ දරුවන්ට විශාල හයියක් දෙන්න. අපි නොවැම්බර් 16 දිනෙන් පස්සේ ඒ හයිය ලබාදෙනවා. දැනුම මත කේන්ද්‍ර වුණ ආර්ථිකයක් ගොඩනැගීම අපේ අරමුණයි. ඒ සදහා පාසල් දරු පරපුර උනන්දු කරන්න අවශ්‍යයි. කිසිම කෙනෙහිලිකමකින් තොරව මේ රටේ උගත් බුද්දිමත් ජන සමාජයක් නිර්මාණය කළ යුතුයි. ඒ නිසා හොද පදනමක් සහිතව සෑම පාසල් දරුවෙකුටම නිළ ඇදුම් කට්ටල දෙකයි, දිවා ආහාරයයි, සපත්තු කුට්ටමයි ලබාදෙන්න අවශ්‍යයි. මේ කියන හෑම දෙයක්ම කරන්න මහා භාණ්ඩාගාරයේ මුදල් තිබෙනවා. අපි හොරකම, දූෂණය නතර කර අපේ රටේ සල්ලි ජනතාවගේ සුබසෙත සදහා අපි යොදාගන්නවා.

යොවුන් පරපුරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල තිබෙන තාක්ෂණික උද්‍යන වල වැඩකරන්න මූලික ප්‍රාග්ධනය රජයේ මැදිහත්වීමෙන් ලබාදෙනවා. යොවුන් පරපුරේ අගනුවරට පමණක් සීමා වූ ඩිජිටල් විප්ලවය මුළු රටේම ක්‍රියාත්මක කරනවා.

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම කර්මාන්ත කලාප ආරම්භ කරනවා. ඒ කර්මාන්ත මගින් ගමේ සිට රැකියා කළ හැකි වටපිටාව අපි නිර්මාණය කරනවා. තවදුරටත් අපේ රටට එන්න තිබෙන සෘජු විදේශ ආයෝජන ඉන්දියාවට, බංගලාදේශයට යන එක නවත්වනවා රණසිංහ ප්‍රේමදාස මහතාගේ යුගයේ වගේ සෘජු විදේශ ආයෝජන මෙරටට ගෙන එනවා.

එහිදී අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා,

නොවැම්බර් 17 මැතිවරණ ජයග්‍රහණය තුළයි රටේ අනාගත දියුණුව රදා පවතින්නේ. සජිත් ප්‍රේමදාස මහතා නව ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම ප්‍රතිපත්ති සමාජයේ පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ගයි.

පසුගිය ආණ්ඩුව තුළ එදා බඩුමිල, ඉන්ධන මිල වැඩියි රටේ ජනතාව අසීරු තත්ත්වයක සිටියා. නමුත් වර්තමාන රජය මගින් ජනතාවට සහන ලබාදුන්නා. ඉදිරියේදීත් තව තවත් සහන ලබාදෙනවා.

මෙම අවස්ථාව සදහා මැති ඇමතිවරුන් වන චන්ද්‍රානි බන්ඩාර, පී හැරිසන්, සරත් ෆොන්සේකා, ලක්ෂ්මන් සෙනෙවිරත්න, හරීන් ප්‍රනාන්දු, රවීන්ද්‍ර සමරවීර, චන්දිම ගමගේ, මනූෂ නානායක්කාර, සන්දිත් සමරසිංහ, ඉම රාන් මහරුෆ්, මොහොමඩ් තව්ෆික් ඇතුළු පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු රැසක් සහභාගී වූහ.

අසේල ලියනගේ, පොළොන්නරුව දිසා සමූහ එම් පී සරත්, සහ නවරත්න බංඩාර මහවැලි කලාපීය වාර්තාකරු 
ජායාරූප - හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න