යුද්ධයෙන් මටත් තාත්තා නැති වුණා: ආදරණීයයන් නැති වුණු අනෙක් අයගේ දුක මට දැනෙනවා | දිනමිණ


 

යුද්ධයෙන් මටත් තාත්තා නැති වුණා: ආදරණීයයන් නැති වුණු අනෙක් අයගේ දුක මට දැනෙනවා

තිස් අවුරුදු යුද්ධය නිසා මට මගේ තාත්තා නැති වුණා. ඒ වගේ තමන්ගේ ආදරණීයන් නැති වුණු අයගේ දුක මට දැනෙනවා යැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මුලතිව් ප්‍රෙද්ශයේ (4)පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදි ඒ මහතා මෙසේද කීය:

කේපාපිලව් ඉඩම් ප්‍රශ්නය ඇතුළු මුලතිව් ජනතාවගේ ගැටලු සඳහා වඩාත් හොඳ විසඳුමක් ලබා දෙනවා. මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36ක කුඩා ගම්මාන 660ක වෙසෙන පවුල්වල සුබසිද්ධිය උදෙසා මා වෙන් වෙන් වශයෙන් කැපවෙනවා. කලාපයේ පවතින කෘෂිකාර්මික කටයුතු සහ ධීවර කටයුතු කිසිවකුගේ බාධාවකින් තොර ව පවත්වාගෙන යෑමට ඉඩ සලසනවා.

ජල සැපයුම් ව්‍යාපෘති පුළුල් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. 2010 දී යුද්ධය අවසන් වුණා. යුද්ධයට ගොදුරු වූ අයට ප්‍රතිලාභ ලබා දීමට පියවර අපේ රජයක් යටතේ කෙරෙනවා. දැවැන්ත ජලාශ ව්‍යාපෘති එක්ක කෘෂිකර්මය දියුණු වෙනවා.අධ්‍යාපනයට අපි විශාල අවධානයක් යොමු කරනවා. තරුණ අය සඳහා තාක්ෂණික විද්‍යාල සියලු ප්‍රාදේශීය කොට්ඨාස තුළ ස්ථාපිත කරනවා. කර්මාන්ත පුර ඇති කරනවා. එතකොට රැකියා විරහිත බව තව දුරටත් ප්‍රශ්නයක් නෙවෙයි. සජිත් කවදාවත් බොරු කියන්නේ නැහැ. සෑම නිවසකට ම අවශ්‍ය සියලු පහසුකම් සපයනවා.

නිවාස සහ ඉඩම් ලබා දෙනවා. තිස් අවුරුදු යුද්ධය නිසා මට මගේ තාත්තා නැති වුණා. ඔබටත් ඔබ ආදරය කළ අය නැති වුණා. මට ඔබව දැනෙනවා. නිදහසේ සතුටින් ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය කරනවා. අපිට නිර්මාණය කරන්න ඕනි ජාතිවාදය නැති රටක්. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්මුතීන් හැමෝගේ ම හදවතේ තියෙන්න ඕනි. නිසි නෛතික ප්‍රතිපාදන එක්ක අපි ජාතිවාදය සහ වර්ගවාදය මුළුමනින් නැති කරනවා.

සමූහ වාර්තාකරු මාන්කුලම්

නව අදහස දක්වන්න