ග්‍රාමීය ජනතාව මුහුණ දෙන මූල්‍ය ගැටලුවලට විසඳුම් | දිනමිණ


 

ග්‍රාමීය ජනතාව මුහුණ දෙන මූල්‍ය ගැටලුවලට විසඳුම්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් කාන්තාවන් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවත්, එමඟින් රටේ ජාතික වැඩපිළිවෙළට දායකවීම බලාපොරොත්තුව බවත් ස්ත්‍රී පුරුෂ සමාජවාදය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය ප්‍රකාශ කළාය.

ඒ මහත්මිය මේ බව පැවැසුවේ වොක්ෂල් වීදියේ මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ දී ඊයේ (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය මෙසේ ද කීවාය.

අපේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කාන්තාවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව අපේ අපේක්ෂකතුමා කාන්තා ප්‍රඥප්තිය ද ඉදිරිපත් කළා. කාන්තාවන් ගැන විශේෂ අවධානයක් යොමු කිරීමේ දී ඊට අවශ්‍ය කටයුතු සිදු කිරීමට අපේ සහාය ලබා දුන්නා.

ඒ අනුව කාන්තාවන් පිළිබඳව දරු උපතේ සිටම අවධානය යොමු කර තිබෙනවා. 2015 දී අපි රජය භාර ගත් පසුව සෑම ගර්භනී කාන්තාවකටම රුපියල් 2500ක පෝෂණ මල්ල ලබාදීම සිදු කළා. මෙවර අපි ප්‍රසූත නිවාඩුවේ සිට කිරි පැය වැඩි කිරීම දක්වා අවධානය යොමු කර තිබෙනවා.

ඒ වාගේම මුල් ළමාවිය සංවර්ධනය, ස්ත්‍රී පුරුෂ සමාජවාදය ආදිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ඡා වට ගණනාවකදීම ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන මේ වන විට එය කැබිනට් මණ්ඩලයට යොමු කර තිබෙනවා. ඒ පිළිබඳව කාන්තා කටයුතු අමාත්‍යාංශය ද අවධානය යොමු කර කටයුතු කරනවා.

ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කටයුතු අපි සිදු කළා. ඒත් පසුගිය කාලය පුරාවටම මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව ප්‍රතිපත්තියක් තිබුණේ නෑ. මේ ගමනේ දී අපේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මුල් ළමාවිය සංවර්ධනය සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිළිබඳව විශාල අවධානයක් යොමු කර තිබෙනවා. අද කාන්තාවන් ජාතික ආර්ථික කටයුතු සඳහා දායක කරගැනීමේ දී ඒ අයගේ දරුවන් රැක බලාගැනීම විශාල ගැටලුවක්. ඒ නිසා රාජ්‍ය සේවකයන්ට මේ වන විට දිවා සුරැකුම් මධ්‍යස්ථාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පෞද්ගලික සහ රාජ්‍ය අනුග්‍රහය ඇතිව දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සම්බන්ධව කටයුතු කිරීමට විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

ඒ වාගේම ග්‍රාමීය ජනතාව මුහුණ දෙන ක්ෂුද්‍ර මූල්‍ය ගැටලුවලට විසඳුම් ලබාදීමටත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රජාවගේ ගැටලුවක් බවට පත් වී තිබෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් ගැලවෙන්න අවශ්‍ය කටයුතු පිළිබඳව අවධානය යොමු කළා.

ආසියානු රටක් වන ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ සනීපාරක්ෂක ගැටලුවලට විසඳුම් ලබාදීමට ද අවශ්‍ය කටයුතු කෙරෙහි මෙහි දී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. අපේ රටේ සියයට 52ක්ම සිටින්නේ කාන්තාවන්. ඒ අයගෙන් සියයට 58ක් පමණ ප්‍රජනන හැකියාව තිබෙනවා. ඒ නිසා කාන්තාවන්ගේ සෞඛ්‍යමය තත්ත්වය සහ සනීපාරක්ෂක කටයුතු නිසි ආකාරව පවත්වාගෙන යෑමටත් විශේෂ අවධානය යොමු කර තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා අනික් අය නොහිතන පැත්තක් වන සනීපාරක්ෂක තුවා පිළිබඳව ද අවධානය යොමු කර ඒ ගැන කතා කළා. අද එය සමහර පිරිස් අපහාසය, උපහාසයට, හාස්‍යයට භාවිත කරනවා. නමුත් එය හාස්‍යට ලක් කළ යුතු දෙයක් නොවේ. ඇත්තටම කිව්වොත් ඒ ගැන අපි ලැජ්ජා වෙන්න ඕනේ. එලෙස කටයුතු කරන අය ගැන අපි කනගාටු වෙනවා. මේ ගැන සමහර පිරිස් එලෙස කටයුතු කරද්දී කාන්තාවන් පක්ෂ පාට භේදයකින් තොරව මේ ගැන කතා කරනවා. එය අගය කරනවා. ඒ බව මම සමාජ වෙබ් අඩවිවල දැක්කා. අද සනීපාරක්ෂක තුවා මිල ගණන් සැලකිය යුතු ප්‍රමාණයකට ඉහළ මට්ටමක පවතිනවා. ඒ වාගේම මේ සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට හැකියාව නොමැති කාන්තාවන් ද අපේ රටේ සිටිනවා. මේ අය වෙනුවෙන් අඩු මිල ගණන් යටතේ හෝ නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ සම්බන්ධව යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. මේ සනීපාරක්ෂක තුවා නිසි පරිදි භාවිතෙ නොකිරීම නිසා සෞඛ්‍ය ගැටලු ගණනාවකට මුහුණ දීමට සිදු වී තිබෙනවා. මෞත්‍ර ලිංගික ආසාදන ඇතිවීම, ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ආසාදන තත්ත්වයන්, වකුගඩු ආශ්‍රිතව ආසාදන තත්ත්වයන් ඇතිවීමට ඉඩකඩ තිබෙනවා. පිරිමි පාර්ශ්වයට වඩා කාන්තාවන් සියයට 80කට මෞත්‍ර ලිංගික ආසාදනවලට මුහුණ දෙනවා. ඒ වාගේම අපි විශාල වශයෙන් කතා කරන ගැබ්ගෙල පිළිකා වැනි රෝගී තත්ත්වයක් අද හඳුනා ගන්නවා. මේ රෝග සඳහා වාර්ෂිකව විශාල මුදලක් වැය කිරීමට සිදු වෙනවා. ඒ නිසා රෝග වැළැඳීමට පෙර නිවාරණය වැදගත් වෙනවා. ඒ නිසා සනීපාරක්ෂක තුවා පිළිබඳව කතා කිරීම කාලීන මාතෘකාවක් වී තිබෙනවා. අද ඒ පිළිබඳව සංවාදයක් ගොඩනැඟී තිබෙනවා. මෙය දිගු කාලීනව හොඳ සැලැස්මක් තිබෙන ක්‍රියාවලියක් කියා මම දකිනවා.

බටහිර රටවල ද අද මේ සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. අනිකුත් ආසියාතික රටවල ද ඒ ගැන අවධානය යොමු වී තිබෙනවා. ඒ වාගේම මේ සනීපාරක්ෂක තුවා පරිසර හිතකාමී ආකාරයට නිසි අයුරින් බැහැර කිරීම සිදු කළ යුතුයි. ඒ වාගේම කාන්තා ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට ද දායක කර ගත හැකි ආකාරයට සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය සඳහා අදාළ යන්ත්‍ර සූත්‍රඋපකරණ ලබාගෙන පළාතකට එක් නිෂ්පාදනාගාරයක් ලෙස හෝ පිහිටුවීම අවධානය යොමු වී තිබෙනවා. ඇත්තටම කිව්වොත් මෙය ක්ෂණික විසඳුම් ගෙනෙන පොරොන්දුවක් නොවේ. මෙය දිගු කාලීන ප්‍රතිඵල ලබාදෙන ජාතික වැඩපිළිවෙළට දායක වන ක්‍රියාවලියක්.

ඇතැම් මාධ්‍ය ඔස්සේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර යම් විරසකයක් තිබෙනවා කියා පෙන්වන්න හදනවා. නමුත් එහෙම කිසිම විරසකයක් නෑ. අගමැතිවරයාගේ ද ආශිර්වාදයෙන් තමයි සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයා බවට පත් කළේ. ඒ වාගේම අපේ අපේක්ෂකයාගේ ජයග්‍රහණයට විවිධ මත දරන පිරිස් ද අද එකතු වෙනවා.

චන්දිමා කරුණාරත්න සහ සඳුනි රණසිංහ 
ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

නව අදහස දක්වන්න