ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභිකයන් අපි එළියට දාන්න බලා ඉන්නවා | දිනමිණ


 

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභිකයන් අපි එළියට දාන්න බලා ඉන්නවා

නායකයන් කියා ගන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් අපි දැන් එළියට දාන්න බලාගෙන ඉන්නවා. නමුත් මේ මැතිවරණයෙන් පසු අපේ ඉලක්කයට ගියොත් ඒ අයගේ කණෙන් අල්ලා එළියට දමනවා. ඒ වගකීම මට භාර දෙන්න. යැයි හිටපු ඇමැති, කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවැසුවේ පසුගිය දා (03) ගාල්ල, උළුවිටිකේ උත්සව ශාලාවේ දී පැවති අක්මීමන සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියාකාරීන්ගේ රැස්වීමකදීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමේ ගමන අපි නවත්වන්නේ නෑ. මේ සඳහා ලොකු ආශිර්වාදයක් රට පුරා තිබෙනවා. රට පුරා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අද එකට එකතු වෙලා ඉන්නවා. එ්කට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ඉන්න මහත්වරුන් බය වෙලා වෙල්ගමගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරනවා කියනවා. චන්ද්‍රිකා මැතිනිය පක්ෂ අනුශාසක ධුරයෙන් ඉවත් කරනවා කියනවා. මේ කතා ඔක්කොම කියන්නේ ඒ අයට තියෙන බය නිසා. මොන බාධක ආවත් අපේ පක්ෂය අපි ආරක්ෂා කරනවා. මේ පක්ෂය ආරක්ෂා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්. ඔය එක එක පැතිවලින් ආ අය මේ පක්ෂයේ වටිනාකම ගැන දන්නේ නෑ. ඒ අය එනවා යනවා. මේ පක්ෂය නැති කරන්න අපි කොහොමවත් ඉඩ දෙන්නේ නැති බව කියන්න ඕන.

මම පොහොට්ටුවට ඡන්දය දෙන්නේ නෑ. වැඩ කරන්නෙත් නෑ. හංසයාට ඡන්දය දෙන්නෙත් නෑ. වැඩ කරන්නෙත් නෑ. නමුත් මගේ ඡන්දය පාවිච්චි කරනවා. කාටවත් අයිතියක් නෑ වෙල්ගම මහතා කාටද ඡන්දය දෙන්නේ කියලා අහන්න. එක මගේ අයිතිය. පොහොට්ටුව පරදන්න මගේ ඡන්දය පාවිච්චි කරනවා. ඒ වගේම අනික් අයටත් ඒ අයගේ මතය ගන්න පුළුවන්. එ් අයට ඕනෑම කෙනකුට ඡන්දය දෙන්න පුළුවන්. සහයෝගය ලබා දෙන්න පුළුවන්. ඒ සඳහා අපි තහංචි දමන්නේ නෑ. එ්ක ඒ අයගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. නමුත් ඔය හැම කෙනෙක්ම පක්ෂය ආරක්ෂා කරන තැන සිටිය යුතුයි.

ගෝඨාභය මහතා ගැන අවුරුද්දක් තිස්සේ මම කියලා තියෙනවා. දැන් ඔහු තරග කරන නිසා වසරක් තිස්සේ කියාගෙන ආ දේවල් නැවත කියන එක සුදුසු නෑ. දැන් අපට තිබෙන්නේ පක්ෂය ආරක්ෂා කිරීම පමණයි. ඒ නිසා අපට පොහොට්ටුවට විරුද්ධව යන්න වෙනවා. රාජපක්ෂවරුන්ට පොහොට්ටුව තමයි ලොකු. ඒ අයට දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නෑ. මේ ගැන කැක්කුම තිබෙන්නේ පක්ෂය මාරු කළ අයට නෙවෙයි. ඔර්ජිනල් ශ්‍රී ලංකාකාරයන්ට. එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ සේනානායකලා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ඩී. බණ්ඩාරනායක මහතා, සම සමාජ පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය එන්. එම්. පෙරේරා මහතා, එස්. ඒ. වික්‍රමසිංහ මහතා, කොමියුනිස්ට් පක්ෂයේ මහජන එක්සත් පෙරමුණේ නිර්මාතෘ පිලිප් ගුණවර්ධන මහතා මේ වගේ අනන්‍යතාවක් තිබෙන නම් තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන විට මහින්ද මහතාගේ නම කියන්නේ නෑ. මේකත් මහින්ද මහතාගේ ඔළුවේ තිබෙනවා. මම ඉතින් දකුණු අත නේ. මම නොදන්නා දෙයක් නෑ. මහින්ද මහතාට එහෙම අනන්‍යතාවක් නැති නිසා තමයි පොහොට්ටුව හැදුවේ.

පොහොට්ටුවේ නිර්මාතෘ රාජපක්ෂලා. පොහොට්ටුව මේ රටේ ප්‍රධාන තැනකට ගේන්න ඕන නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කර හරින්න ඕන. ඒකට තමා ලේකම්ලා වැඩ බලන සභාපතිලා අල්ලා ගෙන ඉන්නේ. අපේ අයට ඕන නිලය බලය විතරයි. රාජපක්ෂ මහතාගේ ඇගේ එල්ලිලා පාර්ලිමේන්තු යන්න බලන්නේ. අන්තිම ඇණයත් මේ මස 16 වැනිදාට ගහන්න සැලසුම් කර තිබෙනවා. මට ලොකු මේ රට සහ පක්ෂය පමණයි. ඇමැතිකම අවුරුදු 05ක් තියේවි. මේ පක්ෂය නැති කරන්න දෙන්න බෑ. පක්ෂය ආරක්ෂා කරන්න දැන් කාලය ඇවිත්. සභාපතිලා ලේකම්ලා ඕන දෙයක් කියාවි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට හොඳට දේශපාලන දැනුමක් තිබෙන නිසා තමයි නිර්පාක්ෂික වුණේ.

දකුණු පළාත් සභාවේ හිටපු ඇමැති යු. ජී. ඩී. ආරියතිලක මහතා ද මේ සඳහා එක්ව සිටියේය.

ගාල්ල උතුර සමූහ සහ ඉමදුව සමුහ

නව අදහස දක්වන්න