රාජ්‍ය සේවක වැටුප 106%කින් වැඩි කළා | දිනමිණ


 

රාජ්‍ය සේවක වැටුප 106%කින් වැඩි කළා

රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කිරීමට අපි විශාල සටනක් සිදු කළා. ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට පසුගිය රජයට වඩා මේ රජය මිල අඩු කිරීම් සිදු කර තිබෙනවා. මේවා පිළිබඳව නිසි ප්‍රචාරයක් නොලැබීමෙන් ජනතාව ඒ ගැන කතා කරන්නේ නෑ. යනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක ඇමැති රවුෆ් හකීම් මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා දිනවීමට එක්සත් ජාතික පෙරමුණේ ක්‍රියාකාරීන් එක්ව පේරාදෙණියේ දී පැවැත්වූ ජන හමුවකදීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

විශ්වවිද්‍යාලවල සිටින අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයන් දීර්ඝ වැඩ වර්ජනයක යෙදුණා. මේ නිසා ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතුවලට විශාල බාධාවක් එල්ල වුණා. සමහර විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් රුපියල් ලක්ෂ 4කටත් අධික පඩියක් ලබා ගන්නවා. අනෙකුත් සේවකයන්ටත් සාධාරණයක් සිදු විය යුතු බවට වර්ජකයන් හඬ නැඟුවා.

පසුගිය රජය කාලයේ මහාචාර්යවරුන්ට ලබා දුන් වැටුප එක්ලක්ෂ විසිපන්දහසයි. නමුත් අපේ රජය එය තුන්ගුණයකට වඩා වැඩි කළා. සාමාන්‍ය රජයේ සේවකයන්ගේ පඩිය ද වත්මන් රජය විසින් සියයට 106කින් වැඩි කර තිබෙනවා. ඒ අනුව වත්මන් රජය වැටුප් වැඩි කිරීමේ කාර්යයෙහි විශාල ප්‍රගතියක් ඇති කර තිබුණා. ඒ පිළිබඳව කවුරුත් කතා කරන්නේ නෑ. ජන ජීවිතයේ වියදම් වැඩි වුණාට සාපේක්ෂව සමහර බඩු මිල අඩු කිරීම ද සිදු කර තිබෙනවා. මේවාට රජය විශාල ප්‍රචාරයක් ලබා නොදීම අඩුවක්.

වත්මන් රජය සිය ප්‍රදේශය සංවර්ධනය කිරීමට එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මිලියන 300 බැගින් වෙන් කර දුන්න ද මීට පෙර වෙනත් කිසිදු රජයක් ඒ තරම් විශාල මුදලක් වෙන් කර දී නෑ. ප්‍රචාරය අඩු වූවත් සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කර තිබෙනවා. තවද සියලූ අාගමික සිද්ධස්ථානවල සංවර්ධනයට ද මිලියන ගණන් මුදල් ලබා දී තිබෙනවා. නැඟෙනහිර ප්‍රදේශයේ ජනතාව සජිත් පේ‍්‍රමදාස මහතාට ඡන්දය ලබා දී රට ශක්තිමත් කිරීමට උනන්දුවෙන් සිටිනවා.

නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති ලකී ජයවර්ධන මහතා සහ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය ඇතුළු දේශපාලන නියෝජිතයෝ මේ අවස්ථාවට එක් වූහ.

නව අදහස දක්වන්න