සජිත් ශක්තිමත් වෙද්දී ගෝඨාභය දියාරු වෙනවා | දිනමිණ


 

සජිත් ශක්තිමත් වෙද්දී ගෝඨාභය දියාරු වෙනවා

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය දිනෙන් දින ශක්තිමත් වන අතරේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය දිනෙන් දින දියාරු වෙමින් යන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය දා (01) කොළඹ, වොක්ෂෝල් වීදියේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

බණ්ඩාරනායක මහතා බිහි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ සාමාජිකයන් මේ වන විටත් ඔහුගේ ජයග්‍රහණයට පෙළගැසී අවසන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ප්‍රගතිශීලි පිරිස් සජිත් ‍ප්‍රේමදාස මහතාට සහාය ලබා දෙන අතරේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහායට එක් වූ පිරිසට පොහොට්ටු වේදිකාවට නැඟීමටවත් නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා. පසුගිය මැතිවරණවල දී මහින්ද රාජපක්ෂ මහතාගේ වේදිකාවල දක්නට ලැබුණු කලාකරුවන් එයින් බැස ගිහිල්ලා. ඒ වෙනුවට වේදිකාවට එක් වී ඇත්තේ ටිකිරි කුමාරිලා පමණයි.

මහනුවර දළඳා මාලිගය අබියස දී එළි දක්වනු ලැබූ විසි වැදෑරුම් ප්‍රතිපත්තිය මේ රටේ යථාර්ථයක් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා බැඳී සිටිනවා. ඒ හරහා සියලු ක්ෂේත්‍ර ආවරණය කරමින් වැඩසටහන් ගණනක් ක්‍රියාත්මක කෙරෙනවා. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සජිත් ප්‍රේමදාස මහතා විසින් සංවාදයකට කරන ලද ආරාධනයට නාමල් රාජපක්ෂ ඉදිරිපත් වන බවට ප්‍රකාශ කර තිබෙනවා. සජිත් මහතා එවැනි අය සමඟ සංවාද නොකරන නිසා තව ටිකක් පැහිලා එන්නට යැයි නාමල් රාජපක්ෂ මහතාට දැනුම් දෙනවා. අවශ්‍ය නම් සජිත් ප්‍රේමදාස මහතා නොව මා නාමල් රාජපක්ෂ මහතා සමඟ විවාදයකට සූදානම්.

විරැකියාවෙන් පෙලුණු දහස් ගණන් ගම්බද තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබා දෙමින් රණසිංහ ප්‍රේමදාස මහතා ස්ථාපිත කළ ඇඟලුම් කර්මාන්තය රාජපක්ෂ පාලනයේ දී කඩා වැටී රැකියා අහිමිව ගියා. ඇඟලුම් කර්මාන්තයේ පුරෝගාමියාගේ පුත් සජිත් ප්‍රේමදාස මහතාට ඔබේ ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. අමෙරිකානු ගිවිසුමක් ගැන බිය උපදවා ගත යුතු නෑ. පුළුල් කතිකාවකින් පසු ඒ ගිවිසුම අවශ්‍ය නම් ඊට එළැඹිය හැකියි. අනවශ්‍ය නම් ඉවත දැමිය හැකියි.

මේ වන විට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කායිකව සහ මානසිකව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටිනවා. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වයසක අපේක්ෂකයන් අවධානය යොමු කිරීම වඩා වැදගත්. මේ තරම් මාධ්‍ය නිදහසක් ලබා දුන් රජයකින් මාධ්‍ය මර්දනය කිරීමට සැරසෙන්නේ දැයි ඇසීම පවා පවක්.

ක්‍රිසන්ති විතාරණ 
ඡායාරූපය- රොෂාන් පිටිපන

නව අදහස දක්වන්න