ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සියලු සැලසුම් මගේ ධුර කාලයේදී ඉටු කරනවා | දිනමිණ


 

ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සියලු සැලසුම් මගේ ධුර කාලයේදී ඉටු කරනවා

ධනුෂ්ක ගොඩකුඹුර

ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාවට ඉදිරිපත් කළ සියලු සැලසුම් සහ ප්‍රතිපත්ති සිය ධුර කාලයේ අනිවාර්යයෙන්ම ඉටු කරන බවත් මේ රට සෑම ක්ෂේත්‍රයකින්ම යළි නිවැරැදි මඟට ගැනීමේ කාර්යය සියයට සියයකින් ඉටු කිරීමට තමා සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ ප්‍රකාශ කළේ එළැඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය තහවුරු කිරීමට සාර්ථක දැක්මක් වැඩකරන රටක් තේමාව ඔස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ අත්තනගල්ල ජනරැලියට පසුගියදා (02) එක්වෙමිනි. රාජපක්ෂ මහතා එහි දී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

රටේ ආරක්ෂාව තහවුරු කරන්න, රටේ ආර්ථිකය දියුණු කරන්න රට සංවර්ධනය කිරීම සඳහා වන අපේ ප්‍රතිපත්ති මාලාව එළිදක්වා තිබෙනවා.අපි මේ ප්‍රතිපත්ති මාලාව සකස් කළේ වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් සමඟ වගේම ගම සමඟ පිළිසඳරක් වැඩපිළිවෙළ යටතේ ඔබගේත් අදහස් අරගෙනයි. ඔබේ ප්‍රශ්නවලට විසඳුම් අපි එයින් ඉදිරිපත් කර තිබෙනවා. මා ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශය නිකම් මැතිවරණ පොරොන්දු නොවෙයි. ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් ප්‍රායෝගික වැඩසටහනක්. ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඔබට ඉදිරිපත් කර තිබෙන සියලුම සැලසුම් සහ පොරොන්දු මගේ ධුර කාලයේ දී අනිවාර්යෙන්ම ඉටු කරන බව ඔබට සහතික වෙනවා.

රටේ ආරක්ෂාව පිළිබඳ අපි විශේෂ අවධානයක් යොමු කරනවා. එදා ත්‍රස්තවාදය අවසන් කළා වගේ නැවතත් මේ රටේ අන්තවාදි ත්‍රස්තවාදයකට හිස ඔසවන්න ඉඩ තියන්නේ නැහැ.

කෘෂිකර්මාන්තය වෙනුවෙන් අපි විශේෂ සහන ලබා දෙනවා. රට ආහාරවලින් ස්වයංපෝෂිත කරන්නත් ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන්නත් අවශ්‍ය කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ අප ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුවයි නොමිලේ පොහොර ලබාදෙන්න තීරණය කළේ. ගොවි ණය කපා දමන්නත් ගොවියා වෙනුවෙන් ගොවි රක්ෂණ ක්‍රමයක් ඇති කරන්නත් ගොවියා වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන්නත් අපි තීරණය කර තිබෙනවා. තරුණ පරපුරේ අසහනය දුරු කරන්න, තරුණ පරපුරට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දී, රැකියා සඳහා යොමු කිරීමේ පැහැදිලි වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කර තිබෙනවා.තරුණ තරුණියන්ගේ උසස් අධ්‍යාපනයට අවස්ථාව අපි ලබාදෙනවා.

රටේ ආර්ථිකය දිරිගැන්වීම වෙනුවෙන් ව්‍යාපාරිකයන්ට බදු සහන ලබාදීම මගින් ආහාර නිෂ්පාදනය වැඩි කරන්නත් ආර්ථිකය දියුණු කරන්නත් රැකියා අවස්ථා වැඩි කරන්නත් සරළ බදු ක්‍රමයක් අපි යෝජනා කර තිබෙනවා. රටේ ආරක්ෂාව සංවර්ධනය අධ්‍යාපනය නැවතත් හරි මඟට ගෙන ඒමේ වැඩපිළිවෙළක් අපට තිබෙනවා. අපි අභියෝග බාර ගත්ත කණ්ඩායමක්. මට භාරදුන් වගකීම් සියයට සියයක් මම ඉටුකර තිබෙනවා. ඉදිරියේ දී මට ලබාදෙන අභියෝග සියයට සියයක් ඉටුකරන බවට මම සහතික වෙනවා. ඔබ මා ගැන විශ්වාසය තබන්න. ඔබ ඔබේ යුතුකම ඉටුකරන්න. මගේ යුතුකම වන සුරක්ෂිත රටක් සෞභාග්‍යමත් අභිමානවත් දේශයක් ඔබට ලබාදෙන්න සුදානම්. වැහිබර කාලගුණයක් යටතේ වුවත් අප ධෛර්යමත් කරන්නට ඔබ මෙතැනට පැමිණීම ගැන ඔබට ස්තුති කරනවා.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා-

නොවැම්බර් මාසේ 16 වැනිදා පැවැත්වෙන්නේ හුදෙක් ජනාධිපතිවරණයක් නොවෙයි. ජනාධිපතිවරණයකට එහා ගිය ජාතික යුතුකමක් ඉටු කරන දිනයක් බවට නොවැම්බර් මාසේ 16 වැනිදා පත්වෙනවා. නොවැම්බර් මාසේ 16 කියන්නේ අපේ රටේ ඉරණම තීරණය කරන දිනය බව අමුතුවෙන් කියන්න ඕනේ නෑ. මෙදා පාර වැරදුණොත් ආයෙත් අපේ රට ගොඩගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ජනතාව මේ කාරණය නිවැරැදිව වටහාගෙන තිබෙනවා. පසුගිය සතියේ පැවැත්වුණු තැපැල් ඡන්දයේ දී අපේ රාජ්‍ය සේවකයන් නිර්භීතව ඒ තීන්දුව ගත්තු බව අපට වාර්තා වෙලා තියෙනවා. රටේ සමස්ත ජනතාවටත් 16 වැනිදා ගන්න තියෙන්නේ ඒ නිර්භීත තීන්දුව පමණයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා-

අත්තනගල්ලේ අත්තන ඇට කැවුණු දොන්ත බබක්කා අලුත් ගිවිසුමක් අත්සන් කරනවා දැක්කා. බැලින්නම් සජිත් පේ‍්‍රමදාස එක්ක අවබෝධතා ගිවිසුමක්. ඒ ගිවිසුමෙන් සජිත් පේ‍්‍රමදාස මහත්තයට වැඩි වුණොත් වැඩිවෙන්නේ එක ඡන්දයයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා-

අපි අද ලොකු සන්ධානයක් හදාගෙන තිබෙනවා. චන්ද්‍රිකා මැතිනියට කුද ගහගන්න කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිත් එක්ක එකතු වුණා. මේ රට අභිමානය රැක ගත්තු රටක්. සිරිමාවෝ මැතිනිය අපේ රටේ අගමැතිනිය වූ අවස්ථාවේ මේ රට ලෝක පූජිත රටක් බවට පත් වුණා. නොබැඳි සම්මේලනය නායිකාව බවට පත් වුණා. අපි කිසිදු බලගතු රටකට යටවුණේ නැහැ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා කරවීමට අපට අවශ්‍ය කරුණු තිබෙනවා. ප්‍රචණ්ඩත්වය, අන්තවාදය, ත්‍රස්තවාදයට එරෙහිව සියලුම ජනවර්ගවලට එකමුතුව සිටීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවිය යුතුය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සිසිර ජයකොඩි සහ ප්‍රසන්න රණවීර මහත්වරුන්ද මෙහි දී අදහස් දැක්වූහ.

නව අදහස දක්වන්න