ජනාධිපතිවරණ සටනින් ඉවත්වීමට කිසිම සූදානමක් නෑ | දිනමිණ


 

ජනාධිපතිවරණ සටනින් ඉවත්වීමට කිසිම සූදානමක් නෑ

මිහිර විජේසේකර

ජනාධිපතිවරණ සටනින් ඉවත්වීමට කිසිදු සූදානමක් නැතැයි ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපතිවරණ අපේක්ෂක මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය.

වෙන්නප්පුව ආසනයේ කිරිමැටියාන නගරයේ ඉකුත් 03වැනි දින සවස සණස උත්සව ශාලාවේදී පැවති ජන හමුවකදී මහේෂ් සේනානායක මහතා එසේ කියා සිටියේය. .

තවදුරටත් මහේෂ් සේනානායක මහතා මෙසේද පැවසීය.

මේ මැතිවරණය ඉතාමත්ම තීරණාත්මක එකක් ලෙසයි අපි දකින්නේ.ඊට හේතුව වී ඇත්තේ මේ රටේ දේශපාලන නායකයන් සම්බන්ධයෙන් තරුණ පිරිස මෙන්ම සෙසු ජනතාවත් පසුවන්නේ ඉතාමත්ම අප්‍රසාදයෙන්.එවන් වටපිටාවකයි ජාතික ජනතා ව්‍යාපාරයෙන් අපි වාගේ අය ඉදිරිපත් වන්නේ.මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක කරපු දේවල් සහ ඉදිරියේදී කරනවා යැයි කියන දේවල් සම්බන්ධයෙන් ජනතාව තුළ විශාල බියක් තිබෙනවා.එම තත්ත්වයන්වලින් මේ රට වෙනස් කරන්න තමයි අපි වාගේ අයට ඉදිරිපත් වෙන්න වෙලා තියෙන්නේ.

මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස්,ක්‍රමවේදය වෙනස් කරලා,ජනතාවගේ අයිතින් ලබා දී දුෂණයෙන්, සොරුන්ගෙන්, වංචනිකයන්ගෙන් තොර අයිතියක් ජනතාවට ලබා දෙන්න තමයි අපි වාගේ අය ඉදිරිපත් වී සිටින්නේ.

මම කිසිදු අවස්ථාවක මැතිවරණයෙන් ඉවත් වෙන්න සුදානමක් නැහැ.ඇතැම් අය එහෙම කියනවා.මම හිටපු හමුදාපති කෙනෙක්.මම හමුදාවට අණ දුන්න කෙනෙක්.මම එහෙම ඉස්සරහට තියපු අඩිය නැවත පසුපසට ගන්න කෙනෙක් නෙමෙයි.ඉතාමත්ම පැහැදිලිව එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නෑ.මේ මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තු මැතිවරණයටත් අපි තරග කරනවා.

මම මෙතැනදී ඉදිරිපත් වන්නේ නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයෙක් ලෙසයි.මම පක්ෂයක් නියෝජනය කරන්නේ නෑ.අනිත් අයට තියන ගැටලුව වන්නේ ඔවුන් ඉදිරිපත් වන්නේ කිසියම් පක්ෂයකින්.මෙතනදී පක්ෂයකින් ඉදිරිපත් වන අය සහ නිර්පාක්ෂික අපේක්ෂකයන් අතර වෙනසක් තියනවා.මම විශ්වාස කරනවා ඉදිරියේදී අපේ රටේ ජනතාව එකතු වන්නේ නිර්පාක්ෂික පුද්ගලයන් වටා.එදිනට අපිට හැකියාව ලැබෙනවා සියලුම දෙනා සමඟ එකට වැඩ කරන්න.

ජනතාව බලාපොරොත්තු වෙනවා අපේක්ෂකයෝ දෙන පොරොන්දු සම්බන්ධව, මම කරන්න බැරි කිසිම පොරොන්දුවක් දෙන්න නෑ. එසේ කිසිදාක දිය නොහැකියි. එහෙම දෙනවා නම් ඒක විශාල බොරුවක් ජනතාව මුලා කරන්න මෙවැනි දේශපාලනඥයන්ට මම කියන්නේ ජනතාව රවට්ටන්න එන්න එපා. ඇතැම් දේශපාලනඥයෝ පොහොර නිකන් දෙනවා කියනවා. බොරු පොරොන්දු දෙන කණ්ඩායමක කෙනෙක් නෙමෙයි මම. මම කතා කරන්නේ කරන්නේ ප්‍රතිපත්තියකින් මේ රට දියුණු කිරීම සම්බන්ධව. මම බලා බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී මේ රට ආහාරයෙන් ස්වයංපෝෂිත වූ ශ්‍රී ලාංකීය නාමය ලෝකයට ගෙනියන්න පුළුවන් තැනක් බවට පරිවර්තනය කරන්න.

නව අදහස දක්වන්න