රට ගොඩනගන්න දූෂණය-නාස්තිය නැති පාලනයක් ඕනෑ | දිනමිණ


 

රට ගොඩනගන්න දූෂණය-නාස්තිය නැති පාලනයක් ඕනෑ

තම පාලනයක් යටතේ දේශපාලනඥයන් රජයේ නිලධාරීන් විසින් සොරකම් කරන ලද රජයේ දේපළ සහ ධනය රජයට පවරා ගන්නවා. ඒවා ආපසු ලබාදීමට මාස දෙකක සහන කාලයක් ලබා දෙන්නේයැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ගාල්ලේදී පෙරේදා (04) පැවසීය.

ගාල්ලේ පැවති ජාතික ජන බලවේගයේ ප්‍රචාරක රැලියකදී දිසානායක මහතා මේ බව කීය.

ඔහු එහිදී මෙසේ ද කීය.මොනවගේ දේශපාලනයක්ද අපිට ඕනෑ කරන්නේ. මොනවගේ පාලනයක්ද අපිට අවශ්‍ය වී තිබෙන්නේ. පාරම්පරිකව එක් පක්ෂයක එල්බගෙන සිටීමෙන් කිසි ඵලක් නැහැ.ඔබ වෙනස් වුණොත් මේ රට වෙනස් කරන්න පුළුවන්. ඕනෑම රටක් ගොඩනගන්න ප්‍රධාන සාධක තුනක් තිබෙනවා. එක.නීතියේ විදානයේ ආධිපත්‍ය.නීතිය හැම කෙනාටම සාධාරණව ඉටුවෙන රටක් අපි හදන්න ඕනෑ. නීතිය කඩා වැටුණොත් නීතිය වල් වැදුණොත් පාලකයාගේ කැමැත්ත බවට නීතිය පත්වුණ කිසිම රාජ්‍යක් ඉදිරියට ගිහින් නැහැ. ධනවත් බලවත් අයට එක ආකාරයක නීතියකුත් දුප්පත් දුබල අයට තව නීතියකුත් ක්‍රියාත්මක වෙනවා. අපිට ඉතාමත් හොඳ, ඉවක් තිබෙන පොලිස් දෙපාර්තමේන්තුක් තිබෙනවා. වාහනේ නතර කරන කොට කියන්න පුළුවන් ඇතුළේ බඩු තිබෙනවද නැද්ද කියලා.පහුගිය දවස්වල හොරු කණ්ඩායමක් ගිහින් දේවාලයක රත්තරන් හොරකම් කළා. සතියක් යන්න කලින් පොලිසිය හොරු ඇල්ලුවා. ඒත් දේවාලේ කපුවට බැරිවුණ කාලි අම්මටත් සොයා ගන්න බැරිවුණ එක,පොලිස් නිලධාරීන් සොයා ගත්තා. හොඳ ඉවක් තිබෙනවා.

හොයා ගන්න බැරිවුණ අපරාධ තිබෙනවා. තාජුඩීන්ගේ ලසන්තගේ ඝාතනය. එක්නැලිගොඩගේ, ලලිත් කූගන්ගේ පැහැර ගැනීම වගේ අපරාධ කළේ එදා ආණ්ඩුව. ඒ නිසා පොලිසියට බැරි වුණා ඒ අපරාධ කරපු අය අල්ලන්න. සොයා ගන්න බැරිවුණ අපරාධ මීනිමැරුමක්ම දේශපාලනය විසින් කරන ලද අපරාධ. ගෙදර දේපළ විනාශ කරන ස්වාමියෙක් ඉන්නවානම් ඒ ගෙදරත් විනාශයට යනවා. රටටත් එහෙම තමයි. රටේ දේපළ හොරකම් කරනවා නම් නාස්ති කරනවා නම් රටකට ඉස්සරහට යන්න බැහැ. අපිට හංග ගන්න අපරාධකාරයෝ නැහැ. අපිට බේරගන්න වංචාකාරයෝ නැහැ. අපිට සඟවන්න වංචා දූෂණ නැහැ. මේ රටේ නීතියේ සහ විදානයේ ආධිපත්‍ය සහිත පාලනයක් නිර්මාණය කරන්න නම් නිර්මාණය කළ හැකිවන්නේ ජාතික ජන බලවේගයට පමණයි.

රටක් ගොඩනගන්න වංචාවෙන් දූෂණයෙන් නාස්තියෙන් තොර පාලනයක් ඕනෑ. ලෝකේ කොහේවත් හොරෙක් හදපු රටක් නැහැ. ගෙදර දේපළ හොරකම් කරන ස්වාමියෙක් ඉන්නවනම් ගෙදරත් ප්‍රපාතයට යනවා. රටටත් එහෙමයි. රටේ දේපළ හොරකම් කරනවා නම් නාස්ති කරනවා නම් රටකට ඉස්සරහට යන්න බැහැ. මොන නිර්නායක එක්ක බැලුවත් අපේ රට දුප්පත්. දුප්පත් බවට පත් කළා මේ පාලකයෝ. රට පාලනය කරපු පාලකයා දුප්පත්ද. රට දුප්පත් පාලකයා පොහොසත්. සාමාන්‍යයෙන් වෙන්න ඕනෑ රටත් දුප්පත් වෙලා පාලකයත් දුප්පත්වීම.

එහෙම වෙන්නේ මහජනයාගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් විනාශ කරන පාලකයෝ කොට්ඨාසයක් ඉන්නවා. වංචාවෙන් දූෂණයෙන් නාස්තියෙන් තොර පාලනයක් හදන්න පුළුවන් කාටද. 2015 දේශපාලන වේදිකාවේ තිබුණේ රාජපක්ෂ පවුල මහජනයාගේ මුදල් හොරා කෑවා කියලා. ඒ වේදිකාවේ වැඩියෙන්ම කතා වුණේ හොරකම වංචාව දේපළ පවරාගැනීම. දැන් මේ සැරේ එක්සත් ජාතික පක්ෂ වේදිකාවේ හරි පොහොට්ටුවේ වේදිකාවේ. හොරු අල්ලනවා හොරුන්ට දඩුවම් ලබා දෙනවා කියලා.කියන්නේ නැහැ, ඒ දොගොල්ලොම හොරු නිසා.

ගෝඨාභය රාජපක්ෂට ඇවිත් කියන්න පුළුවන්ද දෙන්න බලය හොරු අල්ලනවා කියලා. හොරුන්ට දඩුවම් දෙනවා කියලා. එහෙම හොරුන්ට දඩුවම් දෙනවනම් ගෝඨාභය රාජපක්ෂට මුලින්ම කරන්න තිබුණේ වැලිකඩ බන්ධනාගාරේ ළඟට ගිහිල්ලා හිර කූඩුව ළඟට ගිහින් හිර කූඩුවේ දොර තමන්ම ඇරගෙන ඇතුළට ගිහින් අගුළුදාගෙන කියන්න ඕනෑ ඇල්ලුවා පළමු හොරා කියලා . රනිල් වික්‍රමසිංහ, ලක්ෂ්මන් කිරිඇල්ල, රවී කරුණානායක වගේ අය වේදිකාවේ තියාගෙන සජිත් ප්‍රේමදාසට හොරු අල්ලනවා කියල කියන්න බැහැ.

හොරකමින් නාස්තියෙන් තොර රටක් ගොඩනැඟිය හැක්කේ කාටද? ඒ ගොඩ නැගිය හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් බව සහතික කරන්න පුළුවන්. මේ වේදිකාවේ ඉන්න අය විවිධ වෘත්තීන්වල යෙදී ඉන්නවා. විවිධ සමාජ ක්‍රියාකරකම්වල යෙදී තිබෙනවා. දීර්ඝ කාලයක් දේශපාලනයේ යෙදිලා හිටියා. ඒත් මහජනතාවගේ සතයක් නාස්ති කළේ නැහැ. හොරකම් කරපු දේපළ පවරා ගන්න පුළුවන් අපිට විතරයි. අපි පාලනයක් හදන්නේ කාගෙන්වත් පළිගන්න නොවෙයි. කාත් එක්කවත් පෞද්ගලික කෝන්තරයක් පිරිමහ ගන්න නොවෙයි. අපිට රාජපක්ෂ මහත්තයා එක්ක ඉඩම් නඩු නැහැ. රනිල් වික්‍රමසිංහ එක්ක දේපළ නඩු නැහැ. මහජනයාගේ ධනයෙන් සම්පත් ඒ ගොල්ලො ගොඩ ගහගෙන තිබෙනවා. ඒ නිසා මහජනයාට සාධාරණ අයිතියක් තිබෙනවා. තමන්ගේ දේපළ ගත්තම, ඒවා ගන්න ශුද්ධ වූ අයිතියක් තිබෙනවා.

මට බලය දුන්නොත් 17 වැනිදා කියන පළමු වාක්‍යයක් මං කියන්නම්. මහජනයාගේ හොරකම් කර රැස් කළ දේපළ මාස දෙකක් ඇතුළත ආයෙත් භාර දෙන්න පුළුවන්. හොරා ගත් දේපළ ජනවාරි මාසේ 17ට කලින් ලබා දෙන්න ඕනෑ.භාර දුන්නේ නැත්නම් ඉතාම කෙටි කාලයක් ඇතුළත පරීක්ෂණ පවත්වා ඒ සියලු දේපළ යළි රජයට පවරා ගන්නා බවට සහතිකයක් දෙනවා.රට හදන්න නම් වංචාවෙන් දුෂණයෙන් තොර පාලනයක් ඕනෑ.

සැබවින්ම ජනතාව ගැන කැක්කුමක් ලෙන්ගතුකමක් තියෙනවා නම් මේ රට පිළිබඳ ඇත්ත බලාපොරොත්තු සහ වුවමනාවක් තියෙනවානම් එවැනි පාලකයෝ ලෝකයේ ප්‍රධාන සමාගම්වල නිපදවන මිල අධිකම වාහන පාවිච්චි කරනවානම් එවැනි පාලකයන්ට හදන්න පුළුවන්ද මෙන්න මේ නාස්තිය නතර කරන්න ඕනෑ කියා.

නාස්තියෙන් තොර පාලනයක් අපට ඕනෑ. ඒ නිසා මේ රටේ තිබෙන බරපතළ නාස්තිය අප නතර කළ යුතුයි .

අවුරුදු පහටම දින විස්සක් පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරුන්ටත් විශ්‍රාම වැටුප් දෙනවා. මෙය අසාධාරණයි අපි බලයට පත්වු වහාම මන්ත්‍රීවරුන්ට ලබාදෙන විශ්‍රාම වැටුප අහෝසි කරනවායිද කීය.

දික්වැල්ලේ තිලකරත්න 
ගාල්ල උතුර සමුහ

නව අදහස දක්වන්න