දේශපාලන ක්‍රියාවලියෙන් මේ රටට වුණු දෙයක් නෑ: දිළිඳුකමින් රට බේරා ගැනීමට පෙරට ආවා | දිනමිණ


 

දේශපාලන ක්‍රියාවලියෙන් මේ රටට වුණු දෙයක් නෑ: දිළිඳුකමින් රට බේරා ගැනීමට පෙරට ආවා

නිමල් රාජපක්ෂ

වසර හැත්තෑ එකකදී සිදුවු දේශපාලන ක්‍රියාවලියෙන් රටට සේවයක් සිදුවී නැති බැවින් දිළිඳුකමින් රට බේරා ගැනීමට මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව "අපි ඔක්කොම රජවරු- ඔක්කොම වැසියෝ" ජනාධිපති අපේක්ෂක පී.එම් .එදිරිසිංහ මහතා පවසයි.

එදිරිසිංහ මහතා එසේ පැවසුවේ කොම්පඤ්ඤවීදිය නිපෝන් හෝටලයේ පෙරේදා (04) පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක්වු එදිරිසිංහ මහතා මෙසේද කීය. තම පක්ෂය කැටය ලකුණින් ඉදිරිපත් වන අතර තමන් මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලැබුවත් නොලැබුවත් මේ රටේ ආරක්ෂාව සපයන්න පුර්ණ දායකත්වය දක්වන බවද පැවසීය.

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනාටම ශ්‍රි ලංකාවේ දිළිඳුබව තුරන් කිරීමට ක්‍රමවේදයන් ඉදිරිපත් කළා. ඒත් කිසිවෙක් ඒ පිළිබඳව සැලකිලිමත් වුණේ නැහැ. ඉන්පසු අන්තිමට ආගමික පුජකවරුන්,පරිසරවේදීන් ,විද්වතුන් සමඟ රටට වෙලා තිබෙන ව්‍යසනය පිළිබඳව දිගින් දිගටම කරුණු පැහැදිලි කළා. අනවශ්‍ය දේවලට බිලියන ගණන් වියදම් කරන මේ රටේ දේශපාලනඥයන් උගත් විද්වතුන්ගේ ඉල්ලීම් පිළි නොගැනීම කනගාටුවට කරුණක්. මේ රටේ දරුවන්ගේ අනාගත ප්‍රශ්න ජයග්‍රහණයට දිළිඳුකම පිටු දැකීම සඳහා මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලැබුවත් නොලැබුවත් සිය කාර්යය ඉටු කිරීමට පියවර ගන්නවා.

මේ රටේ රත්තරන්, මිනිරන් නිධි තිබෙනවා . ඒවායින් කර්මාන්ත ආරම්භ කළහොත් වෙනත් කර්මාන්ත කිරීමට අවශ්‍ය නොවන තරම් ආදායම් ලබන්න පුළුවන්. රටේ තිබෙන ආර්ථික ප්‍රශ්න විසඳා දැනට තිබෙන දිළිඳුකම තුරන් කර පුර්ණ ජාතික ආරක්ෂාව මේ රටට ලබාදීමට හැකිවන බවද ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ ජනාධිපති අපේක්ෂක පී.එම් .එදිරිසිංහ මහතා පැවසීය.

ඔක්කොම රජවරු ඔක්කොම වැසියො සංවිධානයේ ලේකම් ළහිරු හා භාණ්ඩාගාරික හර්ෂ මහත්වරු මේ අවස්ථාවට සහභාගි වුහ.

 

නව අදහස දක්වන්න