මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ය‍ටතේ ඩො. මි. 480ක ප්‍රදානය රජයේ හැකියාව ඔප්පු කිරීමක් | දිනමිණ


 

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ය‍ටතේ ඩො. මි. 480ක ප්‍රදානය රජයේ හැකියාව ඔප්පු කිරීමක්

ස්වර්ණා විජේකෝන්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ය‍ටතේ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන හාරසිය අසූවක මුදල් ප්‍රදානයක් හිමිවන්නේ වත්මන් යහපාලන රජයේ සුදුසුකම හා හැකියාවන් ඔප්පු කර පෙන්විමෙන් පසුව බව සිවිල් සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දඹර අමිල හිමියෝ පැවසූහ.

රටක මානව හිමිකම් සුරක්ෂිත කිරීම, සංවර්ධන ක්‍රියාවන් අඛන්ඩව සිදුකිරීම, ජාතීන් අතර සමඟිය ගොඩනැගිම යනාදිය සිදුකිරීමේදී එවැනි රටවල් සඳහා සංවර්ධන ක්‍රියාවලිය අඛන්ඩව සිදුකිරිම සඳහා මෙවැනි ප්‍රදානයන් ලබාදෙන බවත් උන්වහන්සේ පැවසූහ.

වත්මන් රජය කිසිඳු අවස්ථාවක මානව හිමිකම් කඩවන අයුරින් ක‍ටයුතු කර නොමැති බවද උන් වහන්සේ සඳහන් කළහ.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය සමයේදී මහින්ද රාජපක්ෂ මහතාත් මෙම ප්‍රදානය ලබාදෙන ලෙස ඉල්ලීම් ගණනාවක් ඇමරිකාවෙන් සිදුකළද එම ප්‍රදානය ලබා නොදුන් බවද උන් වහන්සේ පැවසූහ

දඹර අමිල හිමි මේ බව සඳහන් කළේ සිවිල් සංවිධාන එකමුතුව විසින් ඊයේ (05) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ දඹර අමිල හිමි මෙසේද පැවසූහ.

අපි දිගු කාලයක් පුරාවට දේශපාලන වේදිකාවල, මැතිවරණ වේදිකාවල දකින දේවල් තිබුණා. මැතිවරණ පොරොන්දු රැසක් ලබාදෙන ආකාරය අපි දැක්කා. ගොඩක් දේශපාලන වේදිකාවක බඩුමිල ගැන කතාකළා. නමුත් මෙවර ජනාධිපතිවරණ වේදිකාවල බඩුමිල ගැන කතාකරන්නේ නැහැ. මොකද 2014 වසර වනවි‍ට තිබුණු බඩුමිලට වඩා අද බඩුමිල අඩුවෙලා. ගතවූ වසර හතර හමාරක කාලය තුළ යහපාලන ආණ්ඩුව බඩුමිල පාලනය කරමින් කටයුතු කරන්නට සමත්වී තිබෙනවා.

ඒ වගේම මෙවර ජනාධිපතිවරණ වේදිකාව තුළ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පිළිබඳ කරලියට ඇවිත් තිබෙනවා. මේ ආධාරය ගන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මොන තරම් උත්සාහ කළාද . නමුත් ඇමරිකාව එය ලබා දු‍න්නේ නැහැ. ලිවුම් කීයක් නම් ලිව්වද. අමෙරිකාවෙන් ‍මොන තරම් ඉල්ලීම් කළාද මෙය ලබා දෙන ලෙසට. මානව හිමිකම් කඩකරන , ජාතීන් අතර අසමඟිය වපුරවන, විවිධ ගැටුම් නිර්මාණය කරන කණ්ඩායම් වලට මේ වගේ ආධාර ලැබෙන්නෙ නැහැ. වත්මන් යහපාලන රජයට මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආධාරය ලැබෙන්නේ මේ රජය වැඩ පෙන්නපු නිසා. වත්මන් රජය මානව හිමිකම් ආරක්ෂා කළා. වත්මන් ආණ්ඩුවේ සුදුසුකම් පෙන්නුවා. මෙම ආධාරය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ඇති ශුද්ධවූ අයිතිය පෙන්වීමෙන් පසුවයි මෙම ආධාර මුදල අපට ලබා දීමට එකඟ වූයේ. අපි අහනවා මහින්ද රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ යන දෙන්නගෙන් ජනාධිපති අපේක්ෂකත්වයට හීන දකින ඔබ මේ ආධාරය ප්‍රතික්ෂේප කරනවාද.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම යටතේ මෙම ආධාර මුදල අපට ලැබෙන්නෙ මොනවටද කියලවත් මේ විවේචනය කරන අය දන්නවද.මෙම ආධාර මුදල අපගේ රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ලැබෙන්නේ. අපගේ රටේ මාර්ග පද්ධතිය, ප්‍රවාහන පද්ධතිය, මංමාවත් , සුඛෝපභෝගි බස්රථ මිලදී ගැනීම ආදිය වෙනු‍වෙනුයි මේ ආධාරය ලැබෙන්නේ. මේ ආධාරය අපි නැවත ගෙවිය යුතු නැහැ. ඒ වගේම වැඩකරන , තම සමත් බව පෙන්නුවාම තව දුරටත් වැඩකරගෙන යාම වෙනුවෙන් මෙවැනි ප්‍රධානයන් ලෝකයේ රටවල් විසින් ල‍බා දෙනවා. ඒ වගේම පැල්මඩුල්ල දක්වා මාර්ගය කාපට් කිරීමත් මේ ආධාර යටතේ සිදුකෙරෙනවා. මෙම ගිවිසුම අනුව අපි ලබාගන්නා බස්රථ කොට කොටා යන බස් නෙවෙයි. ජී පී එස් තාක්ෂණයත් සහිත සුඛෝපභෝගි බස්රථ. අපෙ රටේ දැනට තිබෙන බස්රථ බො‍හෝ ප්‍රමාණයක් ලොරි චැසි වල ඒවා. අපි අලුතින් ගේන මේ බස්රථ වල මහජනතාවට සුඛෝපභෝගි ලෙස ගමන් කරන්නට පුලුවන්. මේ ගිවිසුම ගැන විවේචනය කරන්නෙ කව්ද. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අනුරුද්ධ පාදෙණිය වගේ අය. පාදෙනියලා වගේ අය ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන විදිහත් මේ වගේ දේවල් වලින් පැහැදිලි වෙනවා.

පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා - දෙමළ පක්ෂ ගණනාවක් සජිත් ප්‍රේමදාස මහතාගේ සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී සිටිනවා. අගමැතිවරයා හා රාජිත සේනාරත්න මහතා යාපනය ප්‍රදේශයේ සිදුකළ සංචාර වල ප්‍රතිඵල අපට දැන් ලැබෙමින් තිබෙනවා. කලින් ලොකු චෝදනාවක් ආවා උතුරු නැගෙනහිර පළාත සම්බන්ධයෙන් සිදුකරන ලද ඉල්ලිම් 13 කට එකඟවීම යන කරුණු මත මේ සහයෝගය ලබා දෙන බවට. අපි දැක්කා පොහොට්ටුවේ ප්‍රධානියෝ කියනවා අපට නම් ඔය කොන්දේසිත් එක්ක සහයෝගය එපා කියලා. ඒ වගේම ඒ අය බරපතල චෝදනා එල්ල කළා. ඒ වගේම සමහර භික්ෂූන් වහන්සේලා පවා විවිධ චෝදනා එල්ල කලා. කොහොමත් ඒ ගොල්ලො දන්නවා දෙමළ පක්ෂ වල සහයෝගය කොහොමත් ඒ අයට නොලැබෙන බවට‍.කොහොමත් විවිධ අය විවිධ දේවල් ඉල්ලනවා, බයිසිකල් ඉල්ලනවා‍, මෝටර් බයිසිකල් ඉල්ලනවා, කාර් ඉල්ලනවා. මොනව ඉල්ලුවත් දෙන්න පුළුවන් දේවල් තමයි දෙන්නෙ. ඒ නිසා දෙමළ ජාතික සන්ධානය හරි වෙනත් පක්ෂයක් හරි මොන දේවල්, මොන ඉල්ලීම් සිදුකළත් දෙන්න පුළුවන් දේවල් වලට තමයි එකඟ වන්නෙ. සාධාරණ දේවල් වලට තමයි එකඟ වෙන්න වෙන්නෙ. උතුරු නැගෙනහිර බහුතරයක් වාසය කරන්නේ දෙමළ මුස්ලිම් ජනතාවයි. මේ අය කිසිඳු කොන්දේසියකින් තොරවයි සහයෝගය ලබාදිමට තීරණය කර තිබෙන්නේ. අද වෙනකොට මේ රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් පවා සහයෝගය දක්වන්නේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාටයි. එක්සත් ජාතික පක්ෂය පක්ෂයක් ලෙස මේ රටේ ජනතාව පිළිගත් පක්ෂයක්. හෙළ උරුමය ,මුස්ලිම් පක්ෂ කිහිපයක් දෙමළ ප්‍රජාව නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය, ‍ප්ලොට්, ටෙලෝ ආදි පක්ෂවල සහයෝගය,කදුකරයේ මනෝ ගනේෂන් මහතා වැනි අයගේ සහයෝගයද අදවනවිට සජිත් ප්‍රේමදාස මහතාට හිමි වෙනවා.ප්‍රධාන දේශපාලන පක්ෂ අද ඉන්නෙ කියන කා‍රණය හොදින් පැහැදිලියි. ඒ අනුව අපට වාර්තා වෙමින් තිබෙනවා, දැනෙමින් තිබෙනවා, බුද්ධි අංශ තොරතුරු වාර්තා කරමින් තිබෙනවා, මොන පැත්තටද මෙම ජයග්‍රහණය හිමි වෙන්නේ කියලා.

සිවිල් සංවිධාන එකමුතුවේ තවත් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

ඡායාරූපය- රුක්මාල් ගමගේ

නව අදහස දක්වන්න