පොහොට්ටුවේ ජනපතිවරණ වියදම මිලියන 574ක් | දිනමිණ


 

පොහොට්ටුවේ ජනපතිවරණ වියදම මිලියන 574ක්

සන්ධ්‍යා කරුණාරත්න

ජනාධිපතිවරණය 2019 ජයග්‍රහණය කිරීම සඳහා සියලු පක්ෂ අභිබවා මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් රුපියල් මිලියන 574 ක මුදලක් වියදම් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පියවර ගෙන ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පවසයි. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ ප්‍රචාරණ වියදම් නීතිගත විය යුතු යැයි ස්ථාවරයෙන් කෙටුම්පතක් සකස් කළ බවත් ඒ ආශ්‍රයෙන් මැතිවරණ කොමිෂන් සභාවත් කෙටුම්පතක් සකස් කර තිබෙන අතර එය නීතිපතිවරයා ළඟ සිර වී ඇති බවත් ඒ මහතා පැවැසුවේය.

මෙම කෙටුම්පත සම්මත වන්නේ නම් මුදල් තිබුණත් නැතත් සියලු අපේක්ෂකයන්ට සාධාරණ මැතිවරණ ප්‍රචාරණයක් සිදු කළ හැකි යැයි ද ඒ මහතා ප්‍රකාශ කෙළේය.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු පර්යේෂණ ආයතනයෙහි පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (5) පැවැසුවේය.

මැතිවරණ ප්‍රචාරණ වියදම් පිළිබඳව මෙරට ජනතාවට අලුත් දෙයක් නොවේ. 1977 වසරට පෙර 1950, 60 ගණන්වල අතුරු මැතිවරණ පහක් පමණ තිබුණා. ෆ්‍රෙඩ් සිල්වා මහතාගේ ධූරය අහිමි වුණේ රුපියල් 25 ක මුදලක් තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ පත්‍රිකා මුදලට ඇතුළත් නොකිරීම හේතුවෙන්. ගාල්ල, වැලිමඩ මන්ත්‍රීවරුන්ට එසේ ධුර අහිමි වුණා. ඒ නිසා මෙරට ජනතාවට මැතිවරණ ප්‍රචාරණ වියදම් නියාමනය යනු පුදුම සහගත දෙයක් නොවේ. මැතිවරණ ප්‍රචාරණය සදහා වසර 2005 දි රුපියල් මිලියන 712 ක් ද, වසර 2010 දි රුපියල් මිලියන 1825 ක් ද, වසර 2015 දි රුපියල් මිලියන 2705 ක් ද වියදම් කර තිබෙනවා. වසර 2005 දි එක් ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම රුපියල් 54 ක් ද, 2010 වසරේදි රුපියල් 132 ක් ද, 2015 වසරේදි රුපියල් 180 ක් ද වියදම් වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. 2019 ජනාධිපතිවරණයේ එක් ඡන්ද දායකයකු වෙනුවෙන් රුපියල් 360 ක මුදලක් වියදම් කිරීමට නියමිතයි. මුද්‍රිත, විද්‍යුත්, සමාජ ජාලා වෙනුවෙන් වැය වන මුදල තමයි අපි මෙහිදී ගණනය කරන්නේ. මුදල් භාවිතය නිසාම ඇතැම් අපේක්ෂකයන්ට මැතිවරණ ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වී තිබෙනවා. ඔක්තෝබර් මස 14 වැනිදා සිට 31 වැනිදා දක්වා කාලය තුළ මැතිවරණ ප්‍රචාරණය සදහා කළ වියදම් මෙහිදී ගණන් බලනවා. මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුද්‍රිත මාධ්‍යය වෙනුවෙන් රුපියල් මිලියන 42 ක් ද, විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් රුපියල් මිලියන 456 ක් ද, රැස්වීම් ආදිය පැවැත්වීමට රුපියල් මිලියන 76 ක් ද ලෙස රුපියල් මිලියන 574 ක මුදලක් වියදම් කර තිබෙනවා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මුද්‍රිත මාධ්‍ය වෙනුවෙන් රුපියල් මිලියන 68 ක් ද, විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් රුපියල් මිලියන 219 ක් ද, රැස්වීම් ආදිය පැවැත්වීමට රුපියල් මිලියන 85 ක්ද ලෙස රුපියල් මිලියන 372 ක් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට වියදම් කර තිබෙනවා. ජාතික ජන බලවේගය මුද්‍රිත මාධ්‍ය වෙනුවෙන් රුපියල් මිලියනයක් ද, විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් රුපියල් මිලියන 4 ක් ද, රැස්වීම් ආදිය වෙනුවෙන් රුපියල් මිලියන 11 ක් ද ලෙස රුපියල් මිලියන 16 ක් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට වියදම් කර තිබෙනවා. වෙනත් අපේක්ෂකයන් රුපියල් මිලියන 3 කට වඩා අඩු ප්‍රමාණයක් වියදම් කර තිබෙනවා. මැතිවරණ ප්‍රචාරණ පිරිවැය නිරීක්ෂණය යනු මැතිවරණ ප්‍රචාරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයෙහි සමස්ථ මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලියෙහි පරාසයට අන්තර්ගත එක් සුවිශේෂි අංගයක්. ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂණ ආයතනයක් මඟින් ප්‍රථමවරට සිදු කරන මෙම ක්‍රියාවලිය මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයෙහිදි නියාමන ව්‍යාපෘතියක් වශයෙන් සිදු කරනවා. මැතිවරණ නිරීක්ෂණය සහ ඡන්ද දායකයන්ගේ දැනුම ප්‍රවර්ධනය කිරීමෙහිලා වර්ෂ 1997 දි ස්ථාපිත කළ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලැබූ ආයතනයක් ලෙස අපි මතක් කර සිටිනවා.

මෙම අවස්ථාවට මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ආචාර්ය පී. සරවණමුත්තු, මැතිවරණ ප්‍රචාරණ මූල්‍යකරණ අංශයේ සම්බන්ධීකාරක රංසි කරුණාරත්න මහත්ම මහත්මීහු සහභාගි වූහ.

නව අදහස දක්වන්න