විදේශ ආයෝජකයන්ට රුචි ආර්ථික පරිසරයක් රට තුළ හදනවා | දිනමිණ


 

විදේශ ආයෝජකයන්ට රුචි ආර්ථික පරිසරයක් රට තුළ හදනවා

විදේශ ආයෝජකයන්ට රුචිකත්වයක් ඇතිවන ආකාරයේ ආර්ථික පරිසරයක් රට තුළ ගොඩ නගමින් වෙනත් රටවලට ඇදී යන ආයෝජන රතු පලසක් එළා අපේ රටට ගෙන ඒමේ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඉන්දියාව, නේපාලය, බංගලිදේශය, කාම්බෝජය, වියට්නාමය වැනි රටවලට ගලායන ඍජු විදේශ ආයෝජන මෙරටට ගෙනවිත් රැකියා ප්‍රශ්නයට කඩිනම් ස්ථිරසාර විසඳුමක් ලබාදෙන බව ද ඒ මහතා කීය.

ජනපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් තෙල්දෙණිය ආසන සංවිධායක නීතිඥ චන්දන ගලප්පත්ති මහතා සංවිධාන කරන ලද ජන රැලිය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේය.

රැලිය තෙල්දෙණිය ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් කතා කළ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය.

මගේ පියා එදා විදේශ අයෝජකයන් මේ රටට ගෙන ආ ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න මම බලාපොරොත්තු වෙනවා. එදා අගනුවරින් කර්මාන්ත ශාලා ගමට ගෙනවිත් රැකියා ප්‍රශ්නයට විසඳුම් ලබා දුන්නා. මම ජනපති වූ විගස කාර්මික පුරවර වැඩසටහන ක්‍රියාත්මක කරමින් යෞවන යෞවනියන් අතර තිබෙන විරැකියාවට තිත තබනවා. විශ්‍රාමික වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව රුපියල් 2000.00 සිට 3000.00 දක්වා වැඩි කරන්න මම කටයුතු කරනවා. වැඩිහිටි ප්‍රජාව රැක බලා ගැනීම පිණිස සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම බලයට පැමිණි පසු මා විසින් දියත් කරනවා.

මේ රටේ 58.8%ක් වන කාන්තාවන් සඳහා වෙනම කාන්තා ප්‍රඥප්තියක් සකස් කර ඔවුන්ගේ සමාජ, ආර්ථික හා දේශපාලන අයිතිවාසිකම් සුරක්ෂිත කරනවා. කාන්තා හිංසනය, කාන්තාවන්ට අතවර කිරීම මගේ යුගයේ කරන්න සිදු වන්නේ නැහැ. කාන්තාවන්ට උපරිම ආරක්ෂාව ලැබෙන යුගයක් තමයි මගේ පාලනය යටතේ නිර්මාණය වෙන්නේ. පසුගිය පාලන කාලයේ ප්‍රාදේශීය සභාවක සභාපතිවරයකු කාන්තාවන් දූෂණය කරලා උත්සව පැවැත්වූවා. ඒ පුද්ගලයා 100 වැනි කාන්තාව දූෂණය කරලා උත්සවයක් පැවැත් වූවා. ඒ වෙලාවේ ආරක්ෂක අංශය බාරව හිටපු කෙ‍නා මේවා සම්බන්ධයෙන් ගත්ත පියවර මොකක්ද? එදා මේ ස්ත්‍රී දූෂකයන් ආරක්ෂා කළ පුද්ගලයා අද කියනවා ජනපති සටනට ඇවිත් රට ආරක්ෂා කරනවා කියලා. දරුවන්ගේ අත් අල්ලගෙන රට ආරක්ෂා කරන බව කියන මේ අය එදා කටයුතු කළ විදිහ ජනතාව දන්නවා.

අසේල කුරුළුවංශ සහ කරල්ලියද්ද සමූහ

නව අදහස දක්වන්න