ජීවන බර සැහැල්ලු කිරීමට සහන පැකේජයක් | දිනමිණ


 

ජීවන බර සැහැල්ලු කිරීමට සහන පැකේජයක්

ධනුෂ්ක ගොඩකුඹුර
නුවන් කොඩිකාර

ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීම සඳහා යෝජිත සහන පැකේජය තමන් බලයට පත් වූ විගස ක්‍රියාවට නංවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය.

 සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් ප්‍රතිඥා දුන් ආකාරයට ජනතාවට සහන සැලසීම මෙම පැකේජයේ අරමුණ බව රාජපක්ෂ මහතා කීවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පල කෙළේ 'සාර්ථක දැක්මක් වැඩ කරන රටක් 'තේමාව ඔස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ගලගෙදර, හාරිස්පත්තුව, උඩුනුවර, යටිනුුවර ජනරැලිවලට ඊයේ (5) එක් වෙමිනි.

වත්මන් ආණ්ඩුවේ අදූරදර්ශී වැඩපිළිවෙළ නිසා මේ රටේ කාන්තාවන් වැඩි වශයෙන් පීඩාවට පත්ව සිටින බව පැවසූ රාජපක්ෂ මහතා මෙරට කාන්තාවන් පත්ව ඇති පීඩනයෙන් මුදා ගැනීම සඳහා මෙම පැකේජය හඳුන්වා දෙන බව කීවේය.

මෙරට කාන්තාවන් ගෘහස්ථ මෙන්ම මඟතොටදී දැඩි හිංසනයට ලක්වන බව පැවසූ රාජපක්ෂ මහතා කාන්තා හිංසනය වැළක්වීම සඳහා කඩිනම් පියවර ගන්නා බව ප්‍රකාශ කෙළේය.

මෙරට ජනගහනයෙන් සියයට 70ක් ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන බව පැවසූ රාජපක්ෂ මහතා ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් කීවේය.

ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන තරුණ තරුණියන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ද සිය අවධානය යොමුව ඇති බව පැවසු හෙතෙම ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම සඳහා කෙටිකාලී සහ මධ්‍යකාලීන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව පැවසීය.

විපක්ෂ නායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, දිලුම් අමුණුගම, අනුරාධ ජයරත්න, ආනන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්තේ මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

නව අදහස දක්වන්න