සජිත්ගේ ජය නියතයි | දිනමිණ

සජිත්ගේ ජය නියතයි

සිතාරා සේනානි

සජිත් ප්‍රේමදාස මහතා මෙවර ජනාධිපතිවරණයෙන් නියත වශයෙන් ම ජයග්‍රහණය කරන බව ඒ මහතාගේ කේන්ද්‍රයේ ඇති රාජයෝග පරීක්ෂා කර බැලීමෙන් පෙනී යන බව ජ්‍යෝතිෂවේදීහු පිරිසක් අවධාරණය කරති.

එසේම, අයියාට හෝ මල්ලීට රාජයෝග තිබුණා කියා රාජයෝග කිසිවක් නැති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයෙන් කිසිසේත් ජයග්‍රහණය කළ නොහැකි බවද ඔවුහු අවධාරණය කරති.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාර කාර්යාලයේ ඊයේ (5) පැවැති මාධ්‍ය හමුවකදී ඔවුහු මේ බව පැවසූහ.

එහිදී අදහස් දැක්වූ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ජ්‍යෝතිෂ හා පුන්‍ය කටයුතු පිළිබඳ උපදේශක ජ්‍යෙතිශවේදී ඒ.එම්.සරත්චන්ද්‍ර මහතා,

ජ්‍යෝතිෂවේදීන් හැටියට එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අපි අනාවැකි පළකළේ අපගේ ස්වාධීන මතවාද අනුවයි. අපි කාගේවත් ඉත්තන් නෙවෙයි. ඒ වගේම කවුරුවත් සල්ලි දීලා අප ලවා මතවාද පළ කර ගත්තේ නෑ. අපි කාගේවත් පක්ෂවලට ගැති අය නෙවෙයි. මෙවර ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධපතිධුරයට පත් වන බව මෙතැන සිටින සෑම ජ්‍යෝතිෂවේදියකු ම ජනමාධ්‍යවලට අදහස් පළ කළා. ඇතැම් මාධ්‍ය අපේ අදහස්වලට ඉඩ දෙන්නේ නෑ. ඒ ඇයි කියන්න අපි දන්නේ නෑ. පසුගිය ඉරිදා පුවත්පතක අපේ මතය පළවුණාම විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මහත්වරුන් විද්‍යුත් මාධ්‍ය ආයතනයක පෙනී සිටිමින් අපි රුපියල් ලක්ෂ ලක්ෂ සීයක් ලබා දී කවුරුන් හෝ අනාවැකි පළ කරවන බවට චෝදනාවක් කළා. අපට නම් ඒ වගේ ලක්ෂ සීයක් තියා රුපියල් සීයක්වත් ලැබුණේ නෑ. අපි මේවා කියන්නේ කාගේවත් සල්ලි බලාගෙන නෙවෙයි. සල්ලි දීලා මගෙන් අනාවැකියක් ගන්න කවුරුහරි ආවොත් මම ඒ කෙනාට ගහලා එළවනවා. මගේ ශාස්ත්‍රය මම පාවා දෙන්නේ නෑ. අපි මේ අනාවැකි පළකළේ ජනතාවට ජ්‍යෝතිෂය පිළිබඳ විශ්වාසයක් ඇති කරන්නයි.

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා දිනන බව ජ්‍යෝතිෂවේදීන් ගණනාවක් අදහස් පළකරද්දී මෛත්‍රීපාල සිරිසේන මහතා දිනන බවට අපි නිවැරදි අනාවැකියක් පළ කළා.

සමහරු ජ්‍යෝතිෂ සිද්ධාන්ත වෙනස් කරන්න හදනවා. රාජයෝග නැති කෙනකුට ජනාධිපතිවරණයෙන් දිනන්න බෑ. අයියාගේ රාජයෝගයෙන් මල්ලිට පළ දෙන්න පුළුවන් කියලා කියන්න බෑ. නමුත් මේ විදිහට ජ්‍යෝතිෂය අවභාවිතා කර අනාවැකි කියන්න පිරිසක් පෙළඹිලා. එයට විරුද්ධව තමයි අපි මේ කතා කරන්නේ. අපි කතා කරන්නේ ශාස්ත්‍රයට අනුවයි.

මම කියන්නේ මැතිවරණ දිනයේ තත්කාල කේන්ද්‍රය කුඩා කරන්න තිබෙන්නේ. එහි කුජ ග්‍රහයා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කේන්ද්‍රය අනුව නීච වෙනවා. දුර්වල වෙනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ සිකුරු ග්‍රහයා බලවත් වෙනවා. මේ සිද්ධිය ම ඇති ඔහුට ජයග්‍රහණය කරන්න. විශේෂයෙන් ම රවි ග්‍රහයා කියන්නේ රාජ කේන්ද්‍රීය ග්‍රහයා. මේ රවි ග්‍රහයා සහ බුද ග්‍රහයා එකතුකරලා සජිත් ප්‍රේමදාස මහතාට වෙෂී වොෂී උභයචාරි යෝගය ඇති කරනවා. ගජකේෂරී යෝගයත් එතුමාට තිබෙනවා. ජයග්‍රහණය කරන්න එයම ඇති. ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජයෝග නැති බව ඒ පැත්තේ සිටින ජ්‍යෝතිෂවේදීන් ම පැහැදිලිව කියනවා. සමහරු කියනවා අශ්වයාට දිනන්න බැරි වුණාට ජොකියට දිනන්න පුළුවන් කියලා. ඒත් මේ ජොකියගේ කේන්ද්‍රයේත් රාජයෝග නෑ. ඉතින් දිනන්න පුළුවන් ද?

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මහත්වරු අපට කරන චෝදනාව වැරදියි. එය අපේ වෘත්තීය ගරුත්වයට හානියක්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින් ඒ අයට එරෙහිව නීතිමය පියවර ගන්න. මෙතැන සිටින බොහෝ දෙනා රාජ්‍ය නැකැත් කමිටුවේ සාමාජිකයන්.

ජ්‍යෝතිෂවේදීන් වන එච්.කේ. සමරකෝන්, සරත්චන්ද්‍ර බෝතලාගේ සරත් පුෂ්පකුමාර, රොෂාන් චානක සේරම් මහත්වරු ඇතුළු ජ්‍යෝතිෂවේදීහු පරිසක් මෙම අදහස් අනුමත කරමින් අදහස් දැක්වූහ.

නව අදහස දක්වන්න