ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීමේ කමිටු අතුරු වාර්තාව ජනපතිට පිළිගන්වයි | දිනමිණ

ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීමේ කමිටු අතුරු වාර්තාව ජනපතිට පිළිගන්වයි

මහින්ද අලුත්ගෙදර

ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන අයදුම්පත හා විද්වත් කමිටුවේ අතුරු වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (05) පිළිගැන්වීය.

ශ්‍රී ලාංකීය භික්ෂු පරම්පරාවේ උත්කෘෂ්ට දායකත්වයෙන් රැකගෙන ආ නිර්මල බුද්ධ වචනය අන්තර්ගත වූ ථෙරවාද ත්‍රිපිටකය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 පෙබරවාරි මස 07 වෙනිදා අංක 2109/13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට පත්කරන ලදී. 2019 මාර්තු 23 වන දින මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ දී පැවති විශේෂ වැඩසටහනක දී ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම සඳහා වූ නිල අභිලාෂය ශ්‍රී ලංකාවේ එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජිත හැනාර් සිංගර් මහත්මිය වෙත භාරදුන් අතර ඒ අනුව ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන අයදුම්පත සැකසීම සඳහා විද්වත් කමිටුවක් ද පත්කරන ලදී.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යානාංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය මැදගම්පිටිය විජිත ධම්ම හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් යුත් කමිටුව විසින් සකස් කරන ලද අයදුම්පත සහ කමිටු අතුරු වාර්තාව ඊයේ (5දා) ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම සිදුවිය.

මේ අතර විද්වත් කමිටුව විසින් පසුගිය මාස 05ක කාලය තුළ සිදුකරන ලද සමීක්ෂණ හා විද්වත් වාර්තා පරිශීලනයෙන් අනතුරුව දැනට සම්පූර්ණ පුස්කොළ පොත් ත්‍රිපිටකය ඇති ස්ථාන ද හඳුනාගෙන තිබෙන අතර ඒවා සංරක්ෂණය කිරීමට අදාළ යෝජනා ද අතුරු වාර්තාව මඟින් ඉදිරිපත් කර තිබේ.

මෙම වාර්තාව පිළිබඳ අවධානය යොමුකළ ජනාධිපතිවරයා එම කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට වගකිව යුතු පිරිසකට පවරන බවත් ඉදිරියේදී ද මෙම උතුම් කටයුත්ත සාර්ථකකර ගැනීම වෙනුවෙන් තම මැදිහත්වීම සිදුකරන බවත් සඳහන් කළේය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එම්.පී. හිටිසේකර, කමිටු සභාපති ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඇසළ වීරකෝන් මහත්වරුන් සහ විද්වත් කමිටුවේ සාමාජිකයන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න