නව තරුණ නායකත්වයක් යටතේ ශ්‍රීලනිපය ශක්තිමත්ව ගොඩනඟනවා | දිනමිණ


 

නව තරුණ නායකත්වයක් යටතේ ශ්‍රීලනිපය ශක්තිමත්ව ගොඩනඟනවා

ජයසිරි මුණසිංහ

උගත් බුද්ධිමත් නව තරුණ නායකත්වයක් සහිතව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වඩාත් ශක්තිමත් කොට ඉදිරියට ගෙන යෑමට කැපවන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් සංවිධානය කළ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ සවස පැවැති පක්ෂයේ විශේෂ සමුළුවට එක්වෙමින් හිටපු ජනාධිපතිනිය මේ බව ප්‍රකාශ කළාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චන්ද්‍රිකා බණ්ඩනාරනායක කුමාරතුංග මහත්මිය මෙසේද කීවාය.

අද මෙම හමුව පවත්වන්නේ කුමක් සඳහා දැයි කියා කරුණු කාරණා පැහැදිලි කිරීමට වැඩි වෙලාවක් ගන්නෙ නැහැ. මෙතැන සිටින ඔබ සියලුදෙනා දේශපාලනය පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙන පිරිසක්. ඔබ සියලුදෙනා අපේ ආදරණීය පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතාම කැමති පිරිසක්. මේ පක්ෂයට අද දුක්ඛිත ඉරණමක් අත්වෙලා තිබෙනවා. නිදහසින් පසු මේ රට පාලනය කිරීමට වැඩිම කාලයක් නායකත්වය දුන් අප පක්ෂය අද ‍කීතු කීතුවලට කෑලි කෑලිවලට කැඩී තිබෙනවා. පැහැදිලිවම කියනවානම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද අතරමන්වී තිබෙනවා. මේ විනාශය ආරම්භ වුණේ 2005 ජනාධිපති ධුරයට පත් මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ නායකත්වයට පත්වීමෙන් පසුවයි.

තව දවස් 10 කින් මේ රටේ තීරණාත්මක මැතිවරණයක් පැවැත්වෙනවා. මේ මැතිවරණය ජනාධිපතිවරණයක්. මෙයට ඉදිරිපත් වී සිටින පුද්ගලයින් නොව ඔවුන් ඉදිරිපත් කරන වැඩපිළිවෙළ ප්‍රතිපත්ති පිළිබඳව ගැඹුරින් සිතා බලා බුද්ධිමත්ව ඔබ ඡන්දය පාවිච්චි කළ යුතුයි. මේක ඓතිහාසික අවස්ථාවක්. මෙහිදී ගන්නා තීන්දුව දීර්ඝ කාලයක් රටේ අනාගතය තීන්දු කරන එකක් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 95% කගේ කැමැත්ත එකඟතාවය නැති යෝජනාවකට අනුව නීතිවිරෝධී ලෙස පො‍හොට්ටුව සමඟ හේත්තු වී සිටිනවා. එය නීතිවිරෝධි වැඩක්. මේ අවස්ථාවේදී ‍මෙම නීතිවිරෝධී ක්‍රියාව පරාජය කිරීමට පක්ෂය ආරක්ෂා කිරීමට රට ආරක්ෂා කිරීමට අප තීන්දුවක් ගන්න ඕන. ඒකයි මම කියන්නේ මෙය ඉතාමත්ම තීරණාත්මක බුද්ධිමත්ව ගැඹුරින් සිතා ගත යුතු තීන්දුවක් බව. මගේ ‍පෞද්ගලික අදහස නම් මෙහිදී අප සලකා බැලිය යුත්තේ පුද්ගලයා නොව ඔහු ඉදිරිපත් කර තිබෙන රට නංවන රට හදන ජාතික ප්‍රතිපත්තිය හා වැඩපිළිවෙළ ගැනයි. මම 2015 තීන්දුව ගත්තේ ඒ අනුවයි.

එක්සත් ජාතික පෙරමුණත් රටේ දේශපාලන පක්ෂ ගණනාවක් සිවිල් සංවිධාන ගණනාවක් මේ වනවිට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කර තිබෙනවා. ඔහු ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වුවා. පොහොට්ටුවත් මැතිවරණ ප්‍රකාශයක් නිකුත් කළා. පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ලස්සන වචන මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඔහු කියනවා මේ රටේ ජනතාවට නිදහස ලබාදෙනවා කියලා. මට බක බක ගාලා හිනා ගියා.

තව මොනවද ‍ගොවි ජනතාවට, කම්කරුවට විවිධ පොරොන්දු ලබාදීලා තිබෙනවා. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි මේ රටේ කම්කරුවට, ගොවි ජනතාවට, රාජ්‍ය සේවකයට සැලකුවේ. මගේ රජය කාලේ ගත වූ අවුරුදු 10 ක් තුළ රාජ්‍ය සේවකයාගේ පඩිය පස් ගුණයකින් වැඩි කළා. මහින්ද රාජපක්ෂ අවුරුදු 09 ක කාලය තුළ ශතපහක වැටුප් වැඩිකිරීමක් කළේ නැහැ. මම යුද්ධයෙන් 4/3 ක් අවසන් කළා. ඒ අය ඉතුරු 4/1 නිමා කළා. බො‍ෙහාම ප්‍රශංසනීයයි. ඒවා කළේ මම ගෙනාපු අවි ආයුධවලින්. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ශතපහක් වැඩි නොකළ මහින්ද රාජපක්ෂ තමන්ගේ පඩිය වැඩි කර ගත්තා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකර ගත්තා. රුපියල් 25000 ක් තිබ්බ ජනාධිපති වැටුප රුපියල් 99000 දක්වා වැඩිකර ගත්තා.

දැන් රට හදනවායි කියන ගෝඨාභය රාජපක්ෂගේ වචන ශත වර්ෂ‍යේ ලොකුම විහිලුවයි. මුළු ලෝකයේම වැඩිම මිලකට පාරවල් හදපු රට ශ්‍රී ලංකාවයි. ඔවුන් පාරවල්වලින් තමයි සල්ලි හම්බ කළේ. වාරිමාර්ග, අධ්‍යාපන අංශවල අපි විශාල දියුණුවක් ඇති කළා. එදා ඉහළ ‍ශ්‍රේණිවල රාජ්‍ය සේවකයකුගේ වැටුප රුපියල් 30000 ක් 40000 ක් වුණා. අපි අධ්‍යාපනය නැංවූ නිසා ටියුෂන්වලට නොගොස් පාසල් අධ්‍යාපනය තුලින් දරුවන්ට විභාග පාස්වීමට වැඩපිළිවෙළක් සකස් කළා. මේවා සියල්ල මහින්ද විනාශ කළා. එයාගේ කාලයේදී තමයි රටේ මන්දපෝෂණය වැඩිම කාලය. රුපියල් 30000 ක් 40000 ක් ගන්නා පවුලක දරුවෝ දෙන්නෙක් හිටියොත් ඔවුන්ට උගන්වන්නට ටියුෂන් සඳහා රුපියල් 25000 ක මුදලක් මාසයකට වැය වෙනවා. මේ නිසා රාජ්‍ය සේවකයෝ ‍හොර කරන්නට හුරුකළා.

මිනිසුන්ගේ නිදහස තහවුරු කරන බව ගෝඨාභය රාජපක්ෂ කියනවා. අපි අහන්න කැමතියි මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, කීත්නොයාර් වැනි අයට සිදුකළ විනාශයන් නැවත සිදුකරනවාද කියලා. දැන් අපි ඒ අයගෙන් අහන්නේ නිදහස ලබාදෙනවා නම් දින වකවානු සහිතව ඒ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙසයි. එසේ නැතුව ඔවුන් පිළිබඳව අපට තීන්දුවක් ගැනීමට බැහැ. මේ රටේ ‍ගොවි ජනතාවගේ, රටේ ආර්ථිකය බංකොලොත් කළා. හැම සංවර්ධන ව්‍යාපෘතියකින්ම 50% කොමිස් ගත්තා. මහජන මුදල් කොල්ලකෑවා. නමුත් අපි එහෙම ක‍ෙළ් නැහැ. මේ රජය වුණත් අධ්‍යාපන සෞඛ්‍ය ක්ෂේත්‍ර සඳහා විශාල වැඩකොටසක් සිදුකර තිබෙනවා. මෙතැන රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැතිතුමා ඉන්නවා. මං ඒ ගැන කියන්නේ එතුමාගෙන් රැකියාවක් ලබාගන්න ‍බලාපොරොත්තුවෙන් නෙමෙයි. එතුමා විශාල සේවාවක් සෞඛ්‍ය අංශයට කළා.

බංකොලොත් කරපු ආර්ථිකය හරිගස්සන්නට රාජ්‍ය සේවකයින්ට පඩි වැඩිකරන්නට, වාරිමාර්ග කුඩා හා මධ්‍ය පරිමාණ වැව් අමුණු සකස් කරන්න මුදල් ඇමැති මංගල සමරවීර මහතා විශාල මුදලක් ලබාදී තිබෙනවා. අපි උතුරු නැගෙනහිර පමණක් කුඩා වාරිමාර්ග 150 ක් සකස් කළා. ජනතාව ඒවායින් ප්‍රයෝජන ලබනවා.

අත්තනගල්ල භූගත ජලය විශාල ප්‍රමාණයක් තිබූ ප්‍රදේශයක්. විවිධ පරිසර ප්‍රශ්න නිසා අද එහි බොන්න වතුරත් නැහැ. අවුරුද්දකට මාස කිහිපයකට පානීය ජලය බෙදන්න වෙලා තිබෙනවා. අපි අත්තනගල්ලේ අලුතෙන් කුඩා වාරිමාර්ග හතරක් හැදුවා. මෙච්චර වැඩ කළත් මේ ආණ්ඩුවේ ලොකු අඩුවක් තියෙනවා. රාජ්‍ය මාධ්‍ය පමණයි මේවා ගැන කතා කරන්නේ. මාධ්‍ය පවුලක ප්‍රධානියෙක් මාධ්‍ය ඇමැති වුණත් ඒවා හරියට ජනතාව අතරට ගෙනිහින් නැහැ වගේ මට පේන්නේ.

එක්සත් ජාතික පෙරමුණ ප්‍රදානව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නිර්මාණය වුණා. ඒ සඳහා ගිවිසුම් අත්සන් කළා. ඊට මමත් සහභාගි වුණා. අපේ රටේ දමිළ, මුස්ලිම් පක්ෂ ඊට එකතුවුණා. ජාතික හෙළ උරුමය එකතුවුණා. රජයේ සිවිල් සංවිධාන ගණනාවක් එකතුවුණා. සභාපති මණ්ඩලයක් පත්වුණා. ඉදිරියේදී බලයට පත්වීමෙන් පසු රටේ සංවර්ධන කටයුතු ජනතාවගේ සුබසාධන කටයුතු සිදුකරන්නේ උගත් බුද්ධිමත් දැනුම් තිබෙන පුද්ගලයින් ඇතුළත් කමිටු හරහායි.

එළඹෙන ජනාධිපතිවරණයේදී අප තීන්දු ගත යුත්තේ මේ රටට අපේ පක්ෂයට සේවයක් කරන්න පුළුවන් නායකයකු තෝරාගැනීමටයි. ඒ නිසා දේශපාලනය පිළිබඳ විශාල දැනුමක් තිබෙන ඔබට මම අමුතුවෙන් ඒ ගැන කියන්න යන්නෙ නැහැ. දැන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය ගැන කතා කරමු. අ‍ෙප් පක්ෂයේ බහුතරයකගේ එකඟතාවයෙන් තොරව පොහොට්ටුව සමඟ නීතිවිරෝධීව එකතු වී සිටිනවා. මෙම නීතිවිරෝධී ක්‍රියාව පරාජයට පත්කළ යුතුයි. අපි ඒ සඳහා පෙරමුණ ගන්නවා. අපිට විරුද්ධව විනයානුකූලව පියවර ගැනීමට සමහරු කතා කරනවා. හත්වතාවක් පක්ෂය මාරුකරපු ලේකම්තුමෙක් ඒ ගැන කතා කරනවා. අපි අභියෝග කරනවා පුළුවන්නම් අපිට විරුද්ධව නීත්‍යානුකූල පියවර ගන්න කියලා. ඒ අයට අපට විනය පරීක්ෂණ තබා අපිව ඉවත්කිරීමට බලයක් නැහැ. එසේ කළොත් අපි නීති මගට බහිනවා. අඩුම තරමේ මාස හයක් අවුරුද්දක් ඒ සඳහා ගතවෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මම එකතුවනවාට කැමතිම වුණේ නැහැ. එතුමා තුන්වතාවක් අපේ පක්ෂය විනාශ කිරීමට කටයුතු කළා. 1980 දී මැතිනියගේ ප්‍රජා අයිතිවාසිකම නැති කළ අවස්ථාවේ එවකට පක්ෂයේ උප සභාපතිවරයාව සිටි මෛත්‍රීපාල සේනානායක මහතා සමඟ එක්ව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගෙන් විවිධ වාසි ලබාගෙන සිරිමා‍වෝ මැතිනිය පක්ෂ නායකත්වයෙන් ඉවත්කිරීමට ක්‍රියා කළා. එදා අපි එය පරාජය කිරීමට ටී. බී. ඉලංගරත්න, රත්න දේශප්‍රිය සේනානායක වැනි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සමඟ එය ආරක්ෂා කිරීමට මහා විශාල සටනක් කළා. විජය සමඟ එකතුව කටයුතු කළා. එදා ඔවුන් මාගේ පුංචි දුව මරා දමන බවට තර්ජනය කළා. එසේ කළේ මැතිනිය ඒ තරමට මගේ දුවට ආදරය නිසා. එදා මට දුව විතරයි හිටියේ. චන්ද්‍රිකා පක්ෂයෙන් ගියෙ නැහැ. ඔවුන් එදා පක්ෂයෙන් එලවා දැම්මා. අපි ඒ නිසා මහජන පක්ෂය පිහිටුවාගෙන දේශපාලනය කළා. නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමට පැමිණීමේ අරමුණින්.

1994 නැවත අපේ පක්ෂයට නායකත්වය දී අපි ජයග්‍රහණය කළා. අවුරුදු 17 ක් ගුටි කකා විපක්ෂයේ සිටි අපි බලයට පැමිණියා. අපි මේ රට අවුරුදු 23 ක් පාලනය කර තිබෙනවා. අපේ පක්ෂය ජනතාවගේ දුක කඳුල හඳුනන අවංක නායකයින්ගෙන් පිරි පක්ෂයක්. 1951 සිට 2005 දක්වාම එහෙමයි. 2005 දී රටේ දේපොළ ඩැහැගන්නා කණ්ඩායමක් අපේ පක්ෂයේ නායකත්වයට ආවා. නරක දේශපාලන සංස්කෘතියක් රටේ ඇති කළා. එදා මගේ කැබිනෙට් එකේදි කාටවත් ‍හොරකම් කරන්න ඉඩදුන්නේ නැහැ. නමුත් මහින්ද ආණ්ඩු කාලේ නායකයාගේ ඉඳන් ගොඩක් දෙනෙක් හොරකම් කළා. නායකත්වයේ සිට දේශපාලනයේ පහළටම ගසාකෑමට හොරකමට හුරු කළා. අපිට සිදුවුනු ලොකුම ඇබැද්දිය ඒකයි. මෙයින් රට බේරාගැනීමට 2015 අපි ආයෙත් එකතුවුණා. කවදාවත් දේශපාලනය කරන්නෙ නැහැ කියා සිතුවත් නැවත වරක් දේශපාලනය කරන්න පෙළඹුණා. සෝභිත හාමුදුරුවෝ ප්‍රධාන මහා සංඝරත්නයත්, ආගමික නායකයිනුත්, දේශපාලන පක්ෂ ගණනාවක් ඊට එකතුවුණා. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වුණා. එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ව ගොඩනැගූ මේ ආණ්ඩුවේ මහ බැංකු හොරකම පමණක් නොවෙයි සිදුවුණේ. අද කවුරුත් කතා කරන්නේ ඒ ගැන විතරයි. අපේ අය කරපු හොරකම් ගැන කතා කරන්නේ නැහැ. නමුත් ඒ රජයෙන් විශාල සේවයක් රටට සිදුවුණා. සන්ධාන දේශපාලනයට කැමති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවදාවත්ම සන්ධානගත නොවුණු එක්සත් ජාතික පක්ෂය සමඟත් සන්ධානගත වුණා. ඒ රට නැංවීමට තිබූ කැමැත්ත නිසයි. නව දේශපාලන සංස්කෘතියක් රටට හඳුන්වා දුන්නා. මේ දේශපාලන සංස්කෘතියෙන් අපේ පක්ෂයට අගතියක් වුණේ නැහැ. වසර 2015 දී ප්‍රබල ඇමැතිකම් නියෝජ්‍ය ඇමැතිකම් අපිට ලැබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ 10 ක් පළමු අවුරුද්දෙත්, දෙවැනි අවුරුද්දේ ලක්ෂ 5 කුත් ලෙස වසර දෙකට ලක්ෂ 15 ලැබුණා. එයින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. 2018 මැතිවරණ කොට්ඨාසයකට රුපියල් මිලියන 300 ක් ලැබුණා. එයින් එක්සත් ජාතික පක්ෂයට මිලියන 150 ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මිලියන 150 ක් ලැබුණා. බලයට තිබුණු කෑදරකම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මහින්ද රාජපක්ෂ නැවත අගමැති වුණා. අගමැති වුණ ගමන් මුදල් අමාත්‍යාංශයට ගිහිල්ලා පළමු චක්‍රලේඛය මඟින් ගම්පෙරළිය ව්‍යාපෘතියට වෙන් කළ මුදල් ආපසු එවන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝග කළා. හැබැයි මේ නීතිවිරෝධී වැඩපිළිවෙළ පරාජය කළා. අපේ අය ආණ්ඩුවෙන් ඉවත්වුණා. ඒ නිසා අපේ ජනතාවට ලැබුණු රුපියල් මිලියන 150 අහිමිවුණා. නමුත් යූ.ඇන්.පී. මන්ත්‍රීවරු රුපියල් මිලියන 300 යේම වැඩ කරන්න පටන් ගත්තා. ඒ නිසා අපි අහන්න කැමතියි මේ රටට රටේ ජනතාවට විරුද්ධ වුණේ අපිද මහින්ද රාජපක්ෂලද කියලා. තව එකක් තමයි චන්ද්‍රිකා වෛරී දේශපාලනයක් කරනවා කියලා චෝදනා කරනවා. මම කවදාවත් පෞද්ගලිකත්වයත් දේශපාලන ප්‍රතිපත්තිත් මිශ්‍ර කර ගත්තේ නැහැ. මම කාටවත් වෛර කරන්නෙ නැහැ. පෞද්ගලික වෛරයක් මගේ නැහැ. මම මිනිසත්කම නැති මිනිස්සුන්ට, අවස්ථාවාදීන්ට, බොරුකාරයින්ට, හොරුන්ට කැමති නැහැ. මගේ දේශපාලනය අවුරුදු 47 ක්. 1973 විශ්වවිද්‍යාලයෙන් එළියට ආ දිනයේ සිට දේශපාලනය කළා. ප්‍රතිපත්තිගරුකවයි දේශපාලනය කළේ. රාජපක්ෂවරුන් බලයේ සිටි කාලයේ මගෙන් පළිගත්තා. ප්‍රභාකරන් කියා තිබුණා චන්ද්‍රිකා යාපනය අපෙන් උදුරා ගත් නිසා මට ප්‍රහාරයක් එල්ල කරනවා කියා. මේ නිසා ‍මගේ ආරක්ෂාව වැඩිකරන්නට කටයුතු කරන්නැයි ආරක්ෂක මණ්ඩලයට එදා සිටම පොලිස් ප්‍රධානීන් දැනුම් දුන්නා. එදා මගේ ආරක්ෂාවට 300 ක පමණ ආරක්ෂක පිරිසක් තබාගන්නට පුළුවන්කම තිබුණා. නමුත් මම එය 150 ක් දක්වා අඩුකර ගත්තා

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළේ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් විසින්. මේ රටේ තැලෙන පෑගෙන පොඩි මිනිසා වෙනුවෙන්. මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගලවත්ත සංවිධායක ධුරය ලබාදුන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. මම එදා සිට අවුරුදු 38 ක් ආසන සංවිධායකයි. අපි පක්ෂයට ආදරෙයි. මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරපු වෙලාවේ මට ඇඬුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ජාතික ආණ්ඩුවකට යමුයි කියා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 දී යෝජනා කළා. මම ඊට විරුද්ධ වුණා. ඒ මොකද මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළේ එක්සත් ජාතික පක්ෂය නිසා. එහෙමයි අපි පක්ෂයේ නායකයින්ට ගරු කෙරුවේ. මම හොඳ ශ්‍රී ලංකාකාරයෙක් හොඳ ශ්‍රී ලාංකිකයෙක්. මගේ දේශපාලනය තියෙන්නෙ වමේ. මම දකුණට යන්නෙ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ අවස්ථාවේ හරි තීන්දුව නොගත්තොත් අපට ඉතුරුවෙන්නේ පක්ෂයේ බෝඩ් ලෑල්ල පමණයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතුරු ව්‍යවස්ථාව අනුව ඉදිරියේදී නව නායකයෙක් පත්වෙන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ මහතා බැරිවෙලාවත් ජනාධිපති වුණොත් එයා පක්ෂයක සාමාජිකයෙක් නොවන නිසා අපේ පක්ෂයේ සභාපතිවරයා වීමට පුළුවන්කම තිබෙනවා. ඒ අර නීතිවිරෝධීව පක්ෂය ගහපු ගිවිසුම අනුවයි. එය පරාජය කිරීමයි අපේ අරමුණ විය යුත්තේ. අපිට විනය පරීක්ෂණ තියන්න කාටවත් බැහැ. අපි ඒවට බයත් නැහැ. අපිට විනය පරීක්ෂණ තියන්න ඒ‍වගේම අපිට බලපෑම් කරන්න ආවොත් අපි දස ලක්ෂ ගණනින් සෙනඟ එක්ව රාජපක්ෂවරුන්ට විරුද්ධව පෙළගැසෙනවා. ඒ නිසා අපිව අවුස්සගන්න එපා කියා කියනවා.

අපට ජම්පර් අන්දවන්න, අපව හිරේ දාන්න සමහරු බලා ඉන්නවා. එයට ජනතාව ඉඩදෙන්නෙ නැහැ. ඒ බව අපිට විශ්වාසයි. තමුන්නාන්සේලාගේත් පක්ෂයේත් ආරක්ෂාව පැවැත්ම වෙනුවෙන් අපි නායකත්වය දෙනවා.

මෙම අවස්ථාව අමතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ අරමුණින් පැවැති මෙම ජාතික සමුළුවට මහා සංඝරත්නය වැඩම කොට සිටියහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරැකීම වෙනුවෙන් පෙනී සිටින දකුණු පළාත් සභා හිටපු ඇමැති යූ. ඩී. ආරියතිලක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඒ. එම්. එම්. අම්ජාඩ්, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන යන මහත්වරුද කතා කළහ.

මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන දොස්තර රාජිත සේනාරත්න, මංගල සමරවීර, අර්ජුන රණතුංග, මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතාවුද සෙනෙවිරත්න, මිල්රෝයි ප්‍රනාන්දු, හීන්මහත්තයා ලියනගේ යන මහත්වරු ප්‍රධාන ශ්‍රීලනිප පළාත් සභා පළාත් පාලන ආයතන හිටපු මහජන නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, සහෝදර පක්ෂ නියෝජිතයින් සහ පක්ෂයේ සාමාජික සාමාජිකාවන් සහභාගි වී සිටියහ.

ඡායාරූප - ශාන් රඹුක්වැල්ල

නව අදහස දක්වන්න