පෑඩ් මෑන් ද? වෑන් මෑන් ද? | දිනමිණ


 

පෑඩ් මෑන් ද? වෑන් මෑන් ද?

මම උසස්පෙළ විභාගෙට යද්දි මට මාසික වේදනා හැදුණා. මගේ සුදු ඇඳුම පුරාම ලේ... මම ආපහු හැරිලා ගෙදරට ගියා. ඒත් මට අඳින්න තිබ්බ අනිත් ඇඳුම හෝදලා වනලා තිබ්බ නිසා විභාගෙට ඇඳගෙන යන්න විදිහක් තිබුණෙ නෑ... අපේ අම්මා චීත්ත රෙද්දක් ගෙනැත් මගේ ඉන වටේට අන්දවලා කිව්ව දුවේ ගිහින් විභාගෙ ලියන්න කියල. මම හෝල් එකට ගියත් ගුරුවරු මට චීත්තෙ ඇඳගෙන විභාගෙ ලියන්න දුන්නෙ නෑ... එයාලා ඒක ගලවන්න කියලා බල කළා. මට සිද්ධ වුණා ලේ තියන ඇඳුම ඇඳගෙන විභාගෙ ලියන්න... හෝල් එකේ ඉඳපු කොල්ලො මට හූ කීවා . කොළ ගුළිවලින් ගැහුවා. මම අඬ අඬ තමයි විභාගෙ ලිව්වෙ.

‘පෑඩ් මෑන්‘ කියන්නේ ආර්.බල්කි විසින් ලියා අධ්‍යක්ෂණය කර 2018 දී තිරගත කළ හින්දි චිත්‍රපටයක්. ‘වෑන් මෑන්’ කියන්නෙ ලංකාවේ රාජපක්ෂ රෙජීමය විසින් රට පාලනය කළ කාලයේ පුද්ගලයින් පැහැරගැනීම, අතුරුදන් කිරීම, ඝාතනය කිරීමට නායකත්වය සැපයූ පුද්ගලයෙක්. ‘පෑඩ් මෑන්’ ප්‍රහසනාත්මක චිත්‍රපටයක් වුණත් ‘වෑන් මෑන්’ කියන්නේ බිහිසුණු අනතුරක්. චිත්‍රපටය දැක්කේ රිදී තිරයක, පරිගණක තිරයක වුණත් අප එකී බිහිසුණු වෑන් මෑන් අනතුර අත්වින්දේ සැබෑ මහ පොළොවේ බැව් අමතක නොකළ යුතුයි.

“වෑන් මෑන්” වෙනවට වඩා මට “පෑඩ් මෑන් වෙන එක ආඩම්බරයක්” කියලා, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා කියන්නේ ඒ හින්දයි. කුඩා දැරියන් ද ඇතුළු ස්ත්‍රීන් සිය දෙනකු දූෂණයට ලක් කොට එහි සතුට සමරනු සඳහා අකුරැස්සේ සාරුවා සුනිල් වැනි පොහොට්ටු නායකයින් විසින් සාදයක් පැවැත්වීම කාන්තාවන්ගේ අභිමානයට හේතුවක් බැව් අදහන පොහොට්ටු ආධාරකරුවන්, ‘සනීපාරක්ෂක තුවා’ හෙවත් ‘පෑඩ්’ නොමිලේ ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂකයකු විසින් ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රකාශ කිරීම කාන්තාවන්ට අවමානයක් සේ සැලකීම විහිළුවක් නොව ඛේදවාචකයකි. ඒ ඔවුන්ගේ බුද්ධියේත්, හදවතේ දිග පළල විදහාපෑමක් මිස අන් යමක් නොවන නිසාය. කොහොම වුණත් ‘පෑඩ් මෑන්’ ගැන හිතෙන හිතෙන දේ කියන අය සැබෑ ‘පෑඩ් මෑන්’ ඇස් දෙකෙන් දුටු අය නොවන නිසාම ඒ ගැන සැකෙවින් හෝ යමක් සටහන් කරනු වටියි.

පෑඩ් මෑන්

”කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා ගැන කතා කරන්න ඔබ පිරිමියෙක් ද? මෙය මහාචාර්යවරයකුගේ ප්‍රශ්නයකි. ”‍කාන්තාවන්ට උදව් කරන්න බැරි නම් ඔබ පිරිමියෙක්ද?” එය නිසි අධ්‍යාපනයක් නොලත්, තමාගේ බිරියට පවත්නා ආදරය නිසාම ඇය වෙනුවෙන් කරන කැපවීම පවා නිසි ලෙස තේරුම් නොගැනීම නිසා බිරිය අහිමි වී යන සැමියකුගේ ප්‍රශ්නයකි. ‘පෑඩ් මෑන්‘ චිත්‍රපටය යනු ස්ත්‍රීන්ගේ මාසික ඔසප්වීම නමැති ක්‍රියාවේ දී ඔවුන් විඳින අපහසුතාවන්ට පිළිතුරක් ලෙස භාවිතයට එන ‘සනීපාරක්ෂක තුවා’ හෙවත් පෑඩ් භාවිතයට ගැනීමට පුරුද්දක් නොතිබූ ඉන්දීය සමාජයට එය හඳුන්වාදීමට වෙහෙසෙන පුද්ගලයකුගේ අත්දැකීමය. තමාගේ සිහිනය යථාර්ථයක් කර ගැනීමට වෙහෙසෙන ඔහුට අහිමිවන දෑ බොහෝය. පළමුව බිරියය. දෙවනුව සහෝදරියන් දෙදෙනාය. තෙවනුව මව හා නිවෙසය. ඉක්බිතිව ගම්මුන්ය. එකී ප්‍රදේශයේ ස්ත්‍රීන් සියලූ‍ම දෙනා භාවිත කරනු ලබන්නේ කිළිටි රෙදි වුවත්, එමගින් විෂබීජ ආසාදන තත්ත්වයන් ඇතිවීමත්, ඒවා වර්ධනය වීමෙන් ඇතැම්විට මරණය පවා සිදුවිය හැකි බවටත් වෛද්‍යවරුන් පවා අනතුරු අඟවයි. එහෙත් මේ පිළිබඳ විවෘතව කතා බස් කරමින් පිළියම් යෙදීම වෙනුවට තවදුරටත් ඔසප්වීම ස්ත්‍රීන්ගේ ප්‍රශ්නයක් පමණක් බව හා එය විවෘතව කතා බහ කිරීමට ලජ්ජාවට හෝ අවමානයට පාත්‍රවීමට කාරණයක් බැව් ඒත්තු ගැන්වෙයි.

‍සනීපාරක්ෂක තුවා අත්හදා බැලීමේ ප්‍රතිඵලයක් ලෙස ‘පංචායත්‘ සභාවාරයක දී ඔහුට එරෙහිව නැඟෙන චෝදනා සාකච්ඡාවට ලක්කෙරෙයි. ලේ සහිතව නදියට බැස ශුද්ධ ජලය අපවිත්‍ර කිරීම, රාත්‍රියේ ටින්කු නමැති අසල්වැසි නව යෞවනියකගේ නිවෙසට ගොස් නොහොඹිනා දේ කතා කිරීම, මෙඩිකල් කොලීජියේ වෛද්‍ය සිසුවියක සමඟ අනියම් ඇසුරක් පැවැත්වීම, උමතු රෝගයකින් පෙළීම ආදී සියලූ‍ චෝදනාවන් හමුවේ ඔහු නිරුත්තර වෙයි. මෙම නව නිපැයුම සඳහා ඔහු පෙලඹවීමට හේතු වූ ආදරණීය බිරිය පවා විවාහය හමාර කොට නික්ම යයි. අවසානයේ ගමෙන් එල්ලවන විරෝධය හමුවේ ගම හැරයන්නට ඔහුට සිදුවෙයි. එහෙත් ඔහු විවිධ දුෂ්කරතා හා බාධක මධ්‍යයේ අවම මුදලකට සනීපාරක්ෂ තුවා නිපදවීමට හා ඒවා පාවිච්චිය ඉන්දීය ස්ත්‍රීන්ගේ පුරුද්දක් බවට පත්කිරීමට දිවා රෑ නොබලා වෙහෙසෙයි. චිත්‍රපටය තුළ අවසානයේ ඔහුට සාර්ථකත්වය ළඟාකරගත හැකිවෙයි. නව නිපැයුම් සමාජ සංවර්ධන සම්මාන උළෙලේ දී ඔහු ජනාධිපති සම්මානයට පාත්‍රවෙයි. ඔහු පිළිගැනීමට, එය හෝ ප්‍රමාණවත් හේතුවක් නොවන තරමට ගම්මු තම සාම්ප්‍රදායික මතය වෙනස් කරගැනීමට නොපෙළඹෙති. දෙවනි වරටත් ගම හැරයාමට ඔහුට සිදුවෙයි. අවසානයේ ජාත්‍යන්තරය තුළ පවා ඔහු ඇගයීමට ලක්කරමින් ඉන්දියාවේ ද ගෞරවාදරයට පාත්‍රවෙයි. චිත්‍රපටය නිමාවෙන්නේ අහිමි වූ සියල්ල නැවත ඔහු වෙත දිනාගැනීමට හැකිවීමෙන් ප්‍රේක්ෂකයා සතුටට පත්කරමින් වුවද, චිත්‍රපටය තුළ සාකච්ඡා කෙරෙන ගැටුම් සහගත තත්ත්වයන් විසින් මතුකරන්නේ හාස්‍යයක ස්වරූපයෙන් ප්‍රකාශමානවන ඛේදවාචකයක තරමය.

ඉන්දියාවේ ‘පෑඩ් ප්‍රශ්නය‘ එරට දේශපාලන වේදිකාව උණුසුම් කළ මාතෘකාවක් නොවුණත් ‘ටොයිලට් ප්‍රශ්නය‘ නම් අගමැති මෝදිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් විය. නරේන්ද්‍ර මෝදි සිය පළමු මැතිවරණයේ දී ඉන්දීය ජනතාව වෙත පොරාන්දුවක් දෙමින් කියා සිටියේ තමා බලයට පත් වූ පසු ඉන්දීය ජනතාවට සනීපාරක්ෂක වැසිකිළි පහසුකම් ලබා දෙන බවය. එම වැසිකිළි භාවිත කිරීම උනන්දු කිරීමට වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන බවය. ඒ ප්‍රකාශය ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් වන ඉන්දීය කොංග්‍රසයේ දේශපාලනඥයන් හෝ කථිකයන් ‘ඉන්දීය ජාතියට‘ කරන අපහාසයක් ලෙස සැලකුවේ නැත. එය විහිළුවක් කර ගත්තේ ද නැත. ඒ තම රට ‘එකම ජාතියක්‘ ලෙස ලෝකය ඉදිරියේ සිට ගැනීමට සංස්කෘතික චින්තන පසුගාමීත්වය පරාජය කළ යුතු සේම සනීපාරාක්ෂාව වැදගත් කොට සැලකීම අත්‍යවශ්‍ය බව පක්ෂ භේදයකින් තොරව පිළිගන්නා නිසාය.

ලංකාවේ අපි හරි වෙනස්ය. එදිනෙදා මුහුණදෙන සැබෑ ප්‍රශ්න නොතකා මනසින් සාදා ගන්නා බහුබූත ප්‍රශ්නවලට උත්තර සෙවීමට හපනුන්ය. 2005 සිට 2015 දක්වාම මේ රට පාලනය කරනු ලැබුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බිහි වූ රාජපක්ෂ පරම්පරාවේ නායකයෙකි. එහෙත් අදටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනගහණයෙන් අඩකටත් වැඩි කොටසකට වැසිකිළි පහසුකම් නැත. මෙවර ඉදිරිපත්ව සිටින රාජපක්ෂවරයා ද, මේ ප්‍රශ්නයට ආමන්ත්‍රණය නොකරන්නේ ‘අමෙරිකන් අධිරාජ්‍යවාදයෙන් රට බේරා ගැනීමේ ජාතික ආරක්ෂාවට මුල්තැන දීම‘ ඊට වඩා වැදගත් කොට සලකන නිසාය. මෙවන් පුහු ආටෝප සටන් පාඨ විශ්වාස කරන ඇතැමුන් ‘අමෙරිකන් අධිරාජ්‍යවාදයෙන්‘ රට බේරාගන්නට තමන් ඡන්දය දෙන්නට සූදානම් වන්නේ ‘අමෙරිකානු පුරවැසියකුට‘ බැව් නොදැනීම තරම් විහිළුවක් තවත් ඇත්ද? රාජපක්ෂ මහතාට සහය දෙන ගම්මන්පිල මන්ත්‍රීවරයා පසුගියදා කියා සිටියේ ‘සී.අයි.ඒ. ඔත්තු සේවාවල සමීක්ෂණයට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර ජයග්‍රහණය කර ඇති බවයි”‍. අප ඇසිය යුත්තේ අමෙරිකානු ඔත්තු සේවා තම රහස් වාර්තා මොහුට ලබාදීමට තරම් සමීප සබඳතාවක් පවත්වාගෙන යන්නේ කුමක් බලාපොරොත්තුවෙන් ද, යන්නයි. ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය විසින් කැලිෆෝනියා දිසා අධිකරණය හමුවේ ගෝඨාභයට එරෙහිව ගොනු කළ නඩුව ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ශ්‍රී ලාංකිකයකුට වඩා අමෙරිකානු අධිකරණයට ‘අමෙරිකානු පුරවැසියකු‘ වඩා විශ්වාස නිසා වන්නට බැරිද‘ යන්නයි.

ස්කොට්ලන්ත අත්දැකීම්

පසුගිය වසරේ සිට ස්කොට්ලන්තයේ සියලුම පාසල්, උසස් පාසල් සහ විශ්වවිද්‍යාල සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදෙයි. සමීක්ෂණයකට අනුව එරට කාන්තාවන් පස් දෙනකුගෙන් එක් අයෙක් සනීපාරක්ෂක ද්‍රව්‍ය මිලට ගත නොහැකි මූල්‍යමය අපහසුතාවලින් පෙළෙන බව හෙළි වී තිබුණි. ඒ අනුව මිලට ගත නොහැකි දරුවන් අපහසුතාවයට පත් නොකොට මිල දී ගත හැකි නොහැකි සියල්ලන්ටම එය ලබාදීමට ස්කොට්ලන්ත රජය වැඩ පිළිවෙළක් දියත් කරන ලදී. ඒ අනුව එක්සත් රාජධානියේ අනෙකුත් රටවල්වලත් මෙය දැන් දැන් යෝජනා වෙමින් පවතී.

ගැහැනු ළමයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සිවිල් සංවිධානයක් විසින් කළ සමීක්ෂණයකට අනුව, බ්‍රිතාන්‍යය පුරා තරුණියන් දහස් ගණනක් පාසල් නොයෑමට එක් හේතුවක් වී ඇත්තේ ඔවුන්ගේ ඔසප් කාල පරිච්ඡේදය සඳහා නිෂ්පාදන මිල දී ගැනීමට නොහැකි වීමයි. පාසල් වියේ සෑම ගැහැනු ළමයින් 10 දෙනකුගෙන් එක් අයකු එහි දී සනීපාරක්ෂක විකල්ප ක්‍රම භාවිත කරන බව (පැරණි ඇඳුම් හෝ කඩදාසි) පැවසෙයි. ඒ නිසාම ස්කොට්ලන්තය අනුගමනය කරමින් බ්‍රිතාන්‍ය රජය ද, සියලු පාසල් හා විද්‍යාල සඳහා නොමිලේ සනීපාරක්ෂක නිෂ්පාදන ලබා දිය යුතු බවට එරට කාන්තා සංවිධාන විසින් බලකෙරෙමින් තිබේ.

එසේම මෙම සංවිධාන විසින් බ්‍රිතාන්‍යයේ ‘සනීපාරක්ෂක නිෂ්පාදන‘ සඳහා වන 5% ක බද්දෙන් සනීපාරක්ෂක තුවා ඉවත් කරන ලෙස ද ඉල්ලීමක් කර ඇත. එහෙත් එකී ඉල්ලීම ක්‍රියාත්මක කිරීමට නම් යුරෝපා සංගමයේ නීතිමය විධිවිධානවලට අනුව ඒවා “අත්‍යවශ්‍ය නොවන” නිෂ්පාදන ලෙස වර්ග කළ යුතුය. එය දැඩි ක්‍රියා මාර්ගයක් බැවින් හදිසියේ එවැන්නක් කිරීමට නොහැකි නිසාම සනීපාරක්ෂක නිෂ්පාදන අලෙවියෙන් උපයා ගන්නා ඩොලර් මිලියන 15 ක බදු මුදල් කාන්තාවන්ගේ සුබ සාධන සංගම් සඳහා ලබාදෙන බවට එවකට බ්‍රිතාන්‍ය චාන්සලර් ලෙස කටයුතු කළ ජෝර්ජ් ඔස්බෝන් 2015 දී ප්‍රකාශ කර තිබුණි.

සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා පනවා ඇති 5% ක බද්ද ආවරණය කිරීමට ටෙස්කෝ වැනි සුපිරි වෙළෙඳසල් දාම පසුගිය වසරේ දී තීරණය කළහ. අනෙකුත් සැපයුම්කරුවන් බදු අවලංගු කිරීම සඳහා නිෂ්පාදන සිය ගණනක මිල අඩු කළහ. මේ පිළිබඳ අවධානය යොමු කරවීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ස්කොට්ලන්ත සාමාජිකාවක වන ඩැනියෙල් රෝව්ලි, ඉකුත් ජුනි මාසයේ දී පාර්ලිමේන්තුවේ විවාදයකට හිතාමතාම ප්‍රමාද වී පැමිණියේය. ප්‍රමාදයට සමාව අයදින අතරේම ඇය පවසා සිටියේ ඇගේ ඔසප් දින නිසා පමා වූ බවත්, එය පමාවී එළඹීම නිසා සිදුවූ අපහසුතාවන් හේතුවෙන් පමා වූ බව මෙන්ම ඔසප්වීම හේතුවෙන් ඇයට යුරෝ 25 ක් මසකට වැයවෙන බවය. මේ සියල්ල යුරෝපා දේශපාලනයේ සමාජීය කතිකාවක් බවට පත්වෙමින් තිබිය දී 2020 සිට එංගලන්තයේ සියලූ‍ම ප්‍රාථමික පාසල්වල සිසු දැරියන්ට නොමිලේ සනීපාරක්ෂක නිෂ්පාදන ලබා ගත හැකි වනු ඇතැයි රජය නිවේදනය කර තිබේ.

කළ යුත්තේ කුමක්ද?

පවත්නා සමාජ ක්‍රමය තුළ වටිනාකම්, සම්ප්‍රදායන්, සංස්කෘතීන් ගොඩනැඟී ඇත්තේ සමාජ සංවර්ධනයේ එකී අවධියට සාපේක්ෂවය. ඒ නිසාම ඊට අභියෝග කිරීමේ ප්‍රතිඵලය විය හැක්කේ පවත්නා ක්‍රමය තුළ හිංසනයට පාත්‍රවීම හෝ හාස්‍යයට ලක්වීමය. ඒ නිසාම වඩාත් සුබවා දී, සාධනීය, ඉදිරිගාමී කුමන වැඩපිළිවෙළක් හෝ සංකල්පයක් වුවද, ප්‍රතික්ෂේප වීම වැළැක්විය නොහැකිය. සමහර විට එවන් අවස්ථාවන්හි ගෙවිය යුතු වන්දිය ඉතා විශාල විය හැකිය. ඉතිහාසය විසින් එවන් මිනිසුන් නිවැරදි කරනු ඇති නමුත් ඒ සඳහා ගෙවීමට සිදුවන කාලය පිළිබඳ නිශ්චිත අනාවැකි පළ කළ නොහැකිය. චිත්‍රපට හෝ වෙනයම් කලා නිර්මාණ තුළ එහි සුබවාදී අවසානයක් සනිටුහන් කළ හැකි වුවත්, සැබෑ ජීවිතය තුළ එකී අරගලයට හෝ ප්‍රතිඵලයට කෙටිකාලීන සතුටුදායක අවසානයක් අත්නොවිය හැකිය. එහෙත් වඩාත් වැදගත් වන්නේ ඒ වෙනුවෙන් කරන අරගලයයි.

අපේක්ෂකයා කවුරුන් වුවද, මෙරට ඡන්ද දායක සංඛ්‍යාවෙන් 52%ක් වන ස්ත්‍රීය වෙනුවෙන්, ඇයගේ මූලික අවශ්‍යතාවක් වෙනුවෙන් නිසි පියවරක් ගනු ලබන්නේද, එය අප වැනි පසුගාමී සංස්කෘතික චින්තනයකින් හෙබි රටක යෝධ පියවරක් වනු නොඅනුමානය. දරිද්‍රතාවයෙන් පෙළෙන දුෂ්කර ගම්වල සිසුවියන්ගෙන් 30%ක් මාස් ශුද්ධිය දාට පාසල් නොයයි. ‘ගූගල් සෙවුම් යන්ත්‍රය‘ තුළ ‘සෙක්ස්‘ යන වචනය ඔබා, පිට පිට ලෝක වාර්තා තැබූ රටක දෙපා මුල පවත්නා සැබෑ ප්‍රශ්නය අමතක කොට ලෝක අධිරාජ්‍යවාදය ගැන බණ දේශනා කරන අවස්ථාවාදීන් පිටුදැකිය යුතුය. පේරාදෙණිය සරසවියේ දන්ත වෛද්‍ය පීඨයේ සිසුවියකගේ අත්දැකීමක් පසුගියදා මෙම ලියුම්කරුට අසන්නට ලැබුණි. එය මෙසේය.

”මම උසස්පෙළ විභාගෙට යද්දි මට මාසික වේදනා හැදුණා. මගේ සුදු ඇඳුම පුරාම ලේ... මම ආපහු හැරිලා ගෙදරට ගියා. ඒත් මට අඳින්න තිබ්බ අනිත් ඇඳුම හෝදලා වනලා තිබ්බ නිසා විභාගෙට ඇඳගෙන යන්න විදිහක් තිබුණෙ නෑ... අපේ අම්මා චීත්ත රෙද්දක් ගෙනැත් මගේ ඉන වටේට අන්දවලා කිව්ව දුවේ ගිහින් විභාගෙ ලියන්න කියල. මම හෝල් එකට ගියත් ගුරුවරු මට චීත්තෙ ඇඳගෙන විභාගෙ ලියන්න දුන්නෙ නෑ... එයාලා ඒක ගලවන්න කියලා බල කළා. මට සිද්ධ වුණා ලේ තියන ඇඳුම ඇඳගෙන විභාගෙ ලියන්න... හෝල් එකේ ඉඳපු කොල්ලො මට හූ කීවා . කොළ ගුළිවලින් ගැහුවා. මම අඬ අඬ තමයි විභාගෙ ලිව්වෙ. දෙවැනි පේපර් එකට මම ගියේ නෑ. ඒ සැරේ මම විභාගෙ එක විෂයක් විතරයි ලීවේ. මම කැම්පස් ගියේ දෙවෙනි වරට ආයෙම විභාගෙ ලියලයි. ඇත්තටම අපිට ඡන්දෙ කියන්නෙ වැදගත් සාධකයක් නෙවෙයි. ඒත් කාන්තාවන් මේ රට පාලනය කරපු කාලෙවත් මේ වගේ සමාජ ප්‍රශ්නෙකට මැදිහත් වුණේ නෑ.”‍

පාට, පක්ෂය, අපේක්ෂකයා කවුරු වුණත් හොඳ දේ ‘හොඳයි‘ කියන්නටත්, නරක දේ ‘නරකයි‘ කියන්නටත් අපට හැකිවිය යුතුය. අමිතාබ් බච්චන්ගේ වචනයෙන් කිවහොත් ‘අමෙරිකාවට සුපර් මෑන්, බැට් මෑන්, ස්පයිඩර් මෑන් වගේම ඉන්දියාවට “පෑඩ් මෑන්” අගනේය. බච්චන්ගෙන්ද, ඉන්දියාවෙන්ද අප ඉගෙන ගත යුත්තක් තිබේ. ඒ ‘පෑඩ්‘ යනු ලජ්ජාවට හෝ බියට පත්විය යුතු කරුණක් නොවන බවයි. අප බිය විය යුත්තේ “පෑඩ් මෑන්ලා” ට නොව “වෑන් මෑන්ලා” ටය. මන්දයත් “පෑඩ් මෑන්”ලා ජීවිතය දුන්නද, “වෑන් මෑන්ලා” ජීවිතය උදුරා ගන්නා නිසාය.

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර 
ඡායාරූපය-හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න