දැයේ දරුවන් සදා සුරකින ‘සුරක්ෂා’ | දිනමිණ

දැයේ දරුවන් සදා සුරකින ‘සුරක්ෂා’

චතුමී පිටිපන

රටක වටිනාම සම්පත දරුවන්ය. දරුවන්ට ආදරය කරමින් දරුවන් හොඳින් රැකබලා ගැනීමේ කාර්යභාරය හමුවේ මවුපියන්ටත්, සමස්ත වැඩිහිටි පරපුරටත්, රජයටත් පැවරෙන වගකීම අති විශාලය. දරුවන් රෝගී වූවිට මවුපියන් පත්වන්නේ අතිශය දුෂ්කරතාවකටය. දරුවන් කරපින්නාගෙන රජයේ රෝහල්වල පෝළිම්වල සිටගෙන ඔවුහු දරුවන් සමඟ දහදුක් විඳිති. දරවන් රෝහල්ගතකිරීමකදී ළමා රෝහලේ මෙන්ම අනෙකුත් රෝහල්වලද දරුවාට පමණක් ඇඳක් ලබා දේ. ඇඳන් නොමැති අවස්ථාවක ලැබෙන්නේ බංකුවකි. එසේ නැතහොත් ලැබෙන්නේ සිමෙන්ති පොළොවය. රෝගය හඳුනාගැනීම සඳහා බොහෝ පරීක්ෂණ කිරීමට සිදුවන්නේ පිටත පෞද්ගලික රෝහල් මඟිනි. ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වල මවුපියන්ට මෙය ඉතාමත් අසීරු කාර්යයකි.

දරුවා සමඟ රෝහල්ගත වනවිට නිවෙසේ සිටින අනෙක් දරුවන් බලා ගැනීමට කිසිවකු නොමැති අවස්ථා ද බොහෝ ය. මෙකී හේතුව නිසා ඇතැම් දරුවෝ ඖෂධ නොලබාම මිය යති.

මෙම ඛේදවාචකයන්ට තිත තැබීමේ අරමුණින් රජය 2017 ඔක්තෝබර් 01 දා සිට සුරක්ෂා රක්ෂණ වැඩසටහන ආරම්භ කළේය. 2017 අයවැය යෝජනා සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙම අනගි යෝජනාව ඉදිරිපත් කෙරුණු අතර එය සම්මත වීමෙන් පසු සුරක්ෂා රක්ෂණ වැඩසටහන ආරම්භ කෙරිණි.

නිරෝගී සෞඛ්‍ය සම්පන්න දරු පරපුරක් රටේ අධ්‍යාපන පද්ධතිය තුළින් ගොඩනැගීම සඳහා මෙම ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවුණු අතර මිලියන 4.5කට අධික පාසල් සිසුන් සුරක්ෂා සිසු රක්ෂණාවරණය යටතේ රක්ෂණය කෙරේ. වයස අවුරුදු 5 සිට 19 දක්වා වූ පාසල් යන වයසේ සෑම දරුවෙක්ම එම රක්ෂණයෙන් ආවරණය ලැබ සිටිති. මෙමගින් දරුවන් ට පෞද්ගලික රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබාගත හැකිය. දරුවන් කුමන රෝගයකින් පෙළුණ ද කිසිදු වර්ගීකිරීමකට භාජනය නොවී දිවයිනේ ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරුන් මගින් ප්‍රතිකාර ලබාගත හැකි අතර රෝග නිර්ණය කිරීම සඳහා පරීක්ෂණ ද කර ගත හැකිය.

2018 වසරේ දෙසැම්බර් පළමුවන දින සිට 2019 නොවැම්බර් 30 දින දක්වා සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ ගෙවීමට අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් ආයතනය ඉදිරිපත් වී තිබේ. සුරක්ෂා රක්ෂණාවරණය සෞඛ්‍ය රක්ෂණාවරණය, හදිසි අනතුරු රක්ෂණාවරණය, ජීවිතාරක්ෂණය ලෙස රක්ෂණාවරණ තුනකින් සමන්විත ව ක්‍රියාත්මක වේ. සෞඛ්‍ය රක්ෂණාවරණය යටතේ පෞද්ගලික හෝ රජයේ රෝහල්ගතවීම සදහා රුපියල් 200,000/ක් ද, බාහිර ප්‍රතිකාර සදහා රුපියල් 200,000ක් ද, අසාධ්‍ය රෝග ආවරණය සදහා රු 200,000 සිට අවශ්‍යතා ව සදහා වන මුදල ද, හිමිකම් ලෙස පවතියි. රජයේ රෝහලක නැවතී ප්‍රතිකාර ලබන දිනක් සදහා රු. 3000ක් හිමිවේ. හදිසි අනතුරු රක්ෂණාවරණය යට‍තේ පූර්ණ අකර්මණ්‍යතාවක් සදහා රු 200,000ක් ද, අර්ධ අකර්මණ්‍යතාවක් සදහා රු 150,000 සිට රු 200,000ක මුදලක් දක්වා ද, හිමිකම් ලබයි.

ඉතිහාසයේ මෙවැනි දෑ සිදුවී නොමැති තරම්ය. මෙවැනි සද් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙන්නේ ලංකාවේ පමණක් නොව, දකුණු ආසියාවේත් පළමුවරටය.

අපේ රටේ පාසල් යන දරුවෝ ලක්ෂ හතළිස් පහක් වෙති. ඔවුහු පාසල් 11,242 ක් තුළ අධ්‍යාපනය ලබති. රජයේ පාසල්, ආධාර ලබන පෞද්ගලික පාසල්, ආධාර නොලබන පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් හා පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සංඝයාවහන්සේ ඇතුළු අවුරුදු 5 සිට 19 දක්වා වූ ලක්ෂ හතළිස් පහකට ආසන්න සිසු පිරිස එක මොහොතක එක්වර මේ රක්ෂණයේ ප්‍රතිලාභ හිමිකරුවෝ වී සිටිති. ඔවුන් සියලු දෙනාම අනිවාර්යයෙන්ම මේ රක්ෂණයේ ලියාපදිංචි කර ඇත.

රක්ෂණය වෙනුවෙන් කිසිම ගෙවීමක් කරන්නට මේ දරුවන්ගේ මවුපියන්ට සිදුවන්නේ නැත. සුරක්ෂා සිසු රක්ෂණය වෙනුවෙන් කරන සියලු ගෙවීම් රජයෙනි. ඇතැම් මවුපියන් තම දරුවන්ගේ බැංකු ගිණුම්වලින් සියයට ගණනක් කපා ගන්නා බවට හුඹස් බියක් ඇති කර ගෙන සිටී. නමුත් එවැනි කිසිවක් සිදු නොවන බව වගකීමකින් යුතුව පැවසිය හැකිය.

නේවාසික රෝගීන්ට සහ වෛද්‍ය සේවා සැපයීම් යටතේ වාර්ෂිකව උපරිමය ලැබෙන රක්ෂණාවරණය රුපියල් ලක්ෂ දෙකකි. රෝහල්ගතවීමකින් තොරව වුවද පරීක්ෂණ කටයුතු සඳහා වන වෛද්‍ය ගාස්තු ප්‍රතිපූර්ණයට රක්ෂණයෙන් ඉඩ සැලසේ. රක්ෂණය හිමිකම් කියන සෑම පාසල් දරුවකුටම සඳහා රක්ෂණ සංස්ථාව මගින් කාඩ් පතක් නිකුත් කරනු ලබයි. නමුත් දිවයිනේ සියලුම පාසල් මෙම කාඩ්පත් දරුවන්ට ලබා දී නැත. ඒ සම්බන්ධව කිසිදු දැනුවත්කිරීමක් ද කර නොමැත. දරුවකු පෞද්ගලික රෝහලකට ඇතුළු කළ පසු 0112369369 යන සුරක්ෂා ක්ෂණික ඇමතුම් අංකය අමතා දරුවාගේ නම, ඇතුළත්වීමේ අංකය, පාසලේ නම, පාසලේ සංගණන අංකය සහ දරුවා ඇතුළත් කළ රෝහල සඳහන් කිරීම ප්‍රමාණවත්ය. කිසිදු අයදුම් පත්‍රයක් පුරවා භාර දිය යුතු නැත. දරුවා රෝහලින් පිටව යාමට ප්‍රථම යළිත් එම ක්ෂණික අංකය අමතා දැනුම් දිය යුතුය. එවිට ආලියාන්ස් රක්ෂණ ආයතනයේ නියෝජිතයකු හරහා රෝහල් බිල්පත ගෙවීම සිදුකෙරේ.

ජීවිතාරක්ෂණය යටතේ ස්වභාවික හෝ හදිසි අනතුරු විපත් යන දෙකම ආවරණය වන අතර, මාපිය මරණයක දී එක් අයකු සදහා රු 200,000ක් ද, සිසු වියෝවක දී අවමංගල්‍ය සහන ලෙස රු 150,000ක් ද හිමිවේ. පවුලේ පාසල් යන සියලු ම ළමයින් ට මවුපිය මියයාමක දී ප්‍රතිලාභ ලබාගත හැකිය.

රජයේ පාසල්වල සිසුදරුවන්ට ද, පෞද්ගලික පාසල්, විශේෂ උපකෘත පාසල් හා ජාත්‍යන්තර පාසල් සහ සියලු පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලු ම ශ්‍රී ලාංකික සිසුදරුවන්ට ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව සහතික කරමින්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ලබාදීම සිදුකෙරේ.

නව අදහස දක්වන්න