ගිනිගත් සඳ අයි එස් කෲරත්වය ඉස්මතු කරනවා | දිනමිණ


 

ගිනිගත් සඳ අයි එස් කෲරත්වය ඉස්මතු කරනවා

රෝහණ වෙත්තසිංහ

2018 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ නාදියා මුරාද්ගේ ‘The Last Girl’ කෘතිය, රෝහණ වෙත්තසිංහ විසින් ‘ගිනිගත් සඳ’ ලෙස සිංහලට පරිවර්තනය කර ඇත. මේ, කතුවරයා සමඟ එම කෘතිය පිළිබඳ කෙරෙන සංවාදයකි.

මේ කෘතියෙන් ඉදිරිපත් වෙන්නේ නාදියා මුරාද් නමැති තරුණිය අයි එස් ත්‍රස්තයන්ගේ ලිංගික වහලියක් බවට පත්වී මුහුණ දුන් ඛේදනීය ඉරණම පිළිබඳයි. පරිවර්තනය සදහා මෙවැනි කෘතියක් තෝරා ගත්තෙ ඇයි?

මගේ පළමු පරිවර්තනය 2018 වසරේදී පළ කළ ‘ඒරන්ගේ ලෝකය’. එම කෘතියට හොඳ ප්‍රතිචාර, දිරිගැන්වීම් ලැබුණා. ඉන් පසුව පරිවර්තන කාර්යය දිගටම කරගෙන යාමට මං තීරණය කළා. 1978 වසරෙදී මං පුවත්පත් කලාවට එක් වුණේ, පරිවර්තනය හරහායි. වසර ගණනාවක් පුවත්පත් ආයතනවල පරිවර්තන කටයුතු කළත්, පළමු වරට පරිවර්තන කෘතියක් කළේ 2018 වසරේදී. දෙවැනියට තෝරා ගන්නේ මොන පොතද? කියලා සොයා බැලුවා. ටිකක් වෙනස් මාතෘකාවක් යටතේ පරිවර්තනය කරන්න මට හිතුණා. 2018 වසරේ නොබෙල් ත්‍යාගය දිනූ කෘති පිළිබඳ අන්තර්ජාලය හරහා තොරතුරු සෝදිසි කරද්දි, නාදියා මුරාද්ගෙ ‘The Last Girl’ පොත ගැන දැනගන්න ලැබුණෙ. නොබෙල් සාම ත්‍යාගයක් මේ ‍පොතකට දෙන්න හේතුව ගැන හිතද්දි, පොත ගැන උනන්දුවක් ඇතිවුණා.

අයි එස් ත්‍රස්තවාදීන්ගෙ සැබෑ මිලේච්ඡත්වය හොඳින් ම පෙන්වන සිදුවීම් මාලා මෙහි තිබුණා. ඒ නිසා, පොත තෝරා ගැනීමට එයත් හේතු වුණා.

මේ කතාවෙ තියෙන්නෙ, ස්ත්‍රීත්වය කෙළෙසීමට එරෙහිව නැගී සිටීම පිළිබඳ කතාවක් කිව්වොත් නිවැරැදිද?

අවුරුදු 21ක තරුණියක්, විඳින්න පුළුවන් උපරිම වද වේදනා විඳලා, ඇයගේ ජීවිතයේ සියලු දේ හපයක් වෙලා ගියත් ඇය වැටුණේ නෑ. තමන්ගෙ වර්ගයා වෙනුවෙන් නැගී සිටලා, සමාජයට මෙහෙයක් ඉටුකරලා, ජීවිතය දිනන්නට තරම් ධෛර්යවන්ත වීමේ කතන්දරය මා තුළ පුදුමයක් ඇති කළා. එය මගේ හිතට තදින් කා වැදුණා. ඒ නිසා, මෙවැනි ධෛර්යවන්ත තරුණියකගේ කතාවක්, සිංහල පාඨකයන්ට දීම හැම අතින්ම ප්‍රයෝජනවත් කියලා මට හිතුණා.

මෙහි කතා නායිකාව වන නාදියා, ලිංගික වහලියක් බවට පත් වෙලා, අනේක විධ දුක් කරදරවලට මුහුණ පෑවා. එම අත්දැකීම් ඉදිරිපත් කිරීමේදී ලේඛිකාව දක්වා ඇති කෞශල්‍ය පිළිබඳ කතා කළොත්?

නාදියා, ඉරාකයේ උතුරු ප්‍රදේශයේ කෝචෝක් කියන කුඩා ගම්මානයක ජීවත් වුණ, නොදියුණු ජන සමාජයක කෙල්ලක්. ඔවුන් කතා කළේ කුර්දි භාෂාව. ඇය එහි පාසලක ටික කාලයක් ඉගෙනත් ගත්තා.

මේ පොත ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළේ, ජෙනා ක්‍රාජෙස්කි කියන තරුණියක්. ඇයත් තුර්කි කාන්තාවක්. ඇගේ පසුබිමත් එක්ක නාදියාගෙ හැඟීම් වටහා ගන්න ලේසි වෙන්න ඇති.

කාන්තාවක් , කාන්තාවකගෙ දේ ගැන ලියද්දි, කාන්තා ස්වරූපය ඒ විදිහටම රැකෙනවා. කාන්තාවකගෙ කලබලකාරී ස්වභාවය, සුළු දේකටත් බිය වීම, ඇඬීම වගේ ලක්ෂණ නාදියාගෙ අත්දැකීම් සමඟ ඒ ආකාරයටම ඇය ගළපා ලියා තිබෙනවා. ඒත්, පොතේ ඇතැම් තැන්වල, එක වගේ හැඟීම්, තැන් කිහිපයකදීම විස්තර කර තියෙනවා. මම ඒවා වෙනස් කරන්න ගියේ නෑ. කාන්තාවකගේ හැඟීම් ඉදිරිපත් වෙන ආකාරයට, පරිවර්තනයට ලක් කළා. කාන්තා ගති ලක්ෂණ ඒ ආකාරයට තියෙන්න ඇරියා. ජෙනා මේ කතාව පාඨකයාට දැනෙන ආකාරයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේ ම ඇය ප්‍රබන්ධකරණයකට නොගිය බව හොඳින්ම පෙනෙනවා.

නාදියාගෙ කතාව තුළ මිනිස් සංහාරයක් ගැන කියැවෙනවා. ඒ සියල්ලෙහිම අවසන් ප්‍රතිඵලය දුෂ්ට - පාපතර නිලධාරී පැළැන්තියක්, මහා පරිමාණයෙන් ස්ථාපිත වීමක් බව සඳහන්. මෙයින් ඔබ අදහස් කළේ කුමක් ද?

මෙහි නාදියා නියෝජනය කරන්නෙ, මුළු ලෝකයෙන්ම දස ලක්ෂයක පමණ කොටසක්. මෙහි ඉතාම කොන් වෙච්ච ‘යසිඩි’ කියන ජන කොට්ඨාසයක් පිළිබඳ සඳහන් වෙනවා.අයි එස් ත්‍රස්තවාදීන්ගේ අරමුණ වුණේ, සියලු දෙනා ඉස්ලාම් ධර්මය වැළඳගෙන, ඔවුන් සමඟ එකතු වියයුතු බවයි. ඒත් මේ යසිඩ් කියන ජන කොට්ඨාසයේ අය තරමක් විශේෂයි. ඔවුන් අයි එස් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකලාපය මායිම් කළේ නෑ. ඒ නිසා තමයි, මොවුන් නැතිකරලම දාන්න ඕනෙ කියලා අයි එස් ත්‍රස්තවාදීන් තීරණය කළේ. යුදෙව් ජාතිකයන් හිට්ලර් විසින් විනාශ කළා වගේ, මොවුන් සමූල ඝාතනය කළ යුතු බව ඔවුන් හිතුවා.

මේ කතාව මගිනුත් අයි එස් හි කෲරත්වය වඩාත් ඉස්මතු වෙනවා. මේ ගැන කතා කළොත්? 

මේ කෘතිය කාලීන වැදගත්කමකින් යුක්ත එකක්. අයි එස් සංවිධානයේ සැබෑ ස්වභාවය, කෲරත්වය, ආන්දෝලනාත්මක තත්ත්වය මේ කෘතිය මඟින් පැහැදිලි වෙනවා. ඒ නිසාම, මේ කෘතිය කියවන්න නැඹුරු වුණ පිරිසකුත් ඉන්නවා.

මේ පොත මං මුලින්ම එළිදැක්වූයේ පසුගිය පොත් ප්‍රදර්ශනයේදී සැප්තැම්බර් 21 වැනිදා. සතියක් ඇතුළත මෙහි මුල් පිටපත් 1000ම අවසන් වුණා. දැන් එහි දෙවැනි මුද්‍රණය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඉක්මනින් අලෙවි වන පරිවර්තන කෘති තියෙනවා. ඒත්, මේ තරම් ක්ෂණිකව අලෙවි වුණ කෘතියක් වීමට එක් හේතුවක් විදිහට මං හිතන්නෙ, අයි එස් ත්‍රස්ත සංවිධානයේ කෲරත්වය නිසා, තරුණියකට කෙතරම් දුක් ගැහැටවලට මුහුණ දීමට සිදුවුණාද කියන කාරණය විය හැකියි.

ඇතැම් පුවත්පත්, මේ සංවිධානයේ ක්‍රියාකලාපය, ස්වභාවය පිළිබඳ විස්තර කිරීමේදී, නාදියාගෙ කතාව උදාහරණ ලෙස අරන් තිබුණා. ඒ නිසා සිංහල පාඨකයන් අතර මේ චරිතය ගැන කොහොමත් අවදියක් තිබුණා.

මෙරට වැසියන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වීම, මේ කෘතිය අලෙවි වීමට බලපාන්න ඇති නේද?

කෘතිය පරිවර්තනයට ගනිද්දි, පාස්කු ප්‍රහාරය වෙලා තිබුණෙ නෑ. ඒත්, කෘතිය ප්‍රකාශයට පත් වෙද්දි, එම ප්‍රහාරයේ බිහිසුනු අත්දැකීම් අප විඳ අවසන්.

මුළු මහත් ලෝකයේම මෙලෙස අනේකවිධ දුක් කරදරවලට ලක්වන කාන්තාවන් බොහෝ පිරිසක් සිටිනවා. කාන්තාව මුහුණපාන මෙවැනි වධහිංසා පිළිබඳ මීට පෙර සාහිත්‍ය තුළ කතාබහට ලක්ව තිබෙනවා. ඒ කතා සහ මේ කතා අතර ඔබ දකින වෙනස මොකක්ද?

එවැනි කෘති කිහිපයක්ම අපි අතර තියෙනවා. ‘කාන්තාරයේ කුසුම’, ‘ටෙහෙරානයේ සිරකාරිය’ වගේ.

‘කාන්තාරයේ කුසුම’ පොතේ සෝමාලියානු ගැහැනු දැරිවියක් වන වාරිස්ගෙ කතාව කියැවෙන්නෙ. පසුව ඇය ජීවිතය ජයගෙන ලෝක ප්‍රසිද්ධ නිරූපිකාවක් වෙනවා. ‘ටෙහෙරානයේ සිරකාරිය’ කෘතියත් මේ වගේම මැදපෙරදිග කලාපයේ තරුණියන් මුහුණ දුන් ඛේදවාචක සහ ඉන් අනතුරුව ඔවුන් කොහොමද ජීවිතය යළි ලබාගත්තෙ කියන එක ගැන කියැවෙනවා. පකිස්ථානයේ මලාලාගෙ චරිතය ගත්තත්, මීට සමානයි. ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කළ නිසා තමයි ඇයට වෙඩි ප්‍රහාරයකට ලක්වෙන්න සිදු වුණේ. ඒත්, මලාලාත් ඇගේ මෙහෙවර තවමත් අවසන් කර නැහැ. ඈ දිගින් දිගටම මේවාට විරුද්ධව කටයුතු කරනවා. ඇයට ඒ වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගයක් හිමි වුණා. නොබෙල් ත්‍යාගයක් දිනූ ලාබාලතම දැරියත් ඇයයි.

ඒ වගේම, නාදියා තමයි ඉරාකයෙන් මුල් වතාවට නොබෙල් ත්‍යාගයක් දිනුවෙ. මේ සියලු දෙනා විවිධ පීඩනයන්ට ලක් වුණාට, මුහුණපාන සිද්ධි එකිනෙකට වෙනස්. ඒත්, පොදුවේ මෙතැන මතුවන දේ තමයි ඊට එරෙහිව නැගී සිටීම, විරෝධාකල්ප මතුවීම, හඬ නැගීම සහ අවසානයේ ජීවිතය ජය ගැනීම, මේ සියලු චරිතවල දක්නට ලැබෙනවා. ඒ හරහා සමාජයේ ඒ පිළිබඳ විශාල මතයක් ගොඩනැ‍ඟෙනවා.

ලිංගික වහල් වෙළෙඳාම ඈත අතීතයේ පටන් තිබූවක්. පසුකාලීනව එය යම්තාක් අඩු වැඩි වුණත්, වර්තමානයේ නැවතත් එය ලොව පුරා වර්ධනය වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. මේ කතාවත් ඊට හොඳ ම උදාහරණයක් කිව්වොත්?

වහල් වෙළෙඳාම වගේම ලිංගික වහල් වෙළෙඳාමත් අතීතයේ පටන් පැවතුණා. පෘතුගීසි, ලන්දේසි යුගවල අපේ රටෙත් මෙය පැවතුණා. ඒත්, අයි එස් වැනි ත්‍රස්ත සංවිධාන හරහා එය නැවතත් ඉස්මතුවෙලා, මහා පරිමාණයෙන් කරගෙන යන බවක් දක්නට ලැබෙනවා. නාදියාගෙ කතාව තුළත් ඇය ඇතුළු තරුණියන් ඉතා සොච්චම් මුදලකටයි විකුණන්නෙ. මේ තරුණියන්ට, තිරිසනුන්ටත් අන්ත පහත් තත්ත්වයකට දාල තමා සලකන්නෙ. ඒ මඟින් මේ ත්‍රස්තයන්ගේ මිලේච්ඡ ස්වභාවය කියැවෙනවා.

මේ කෘතිය තුළ ඉරාකයේ සංස්කෘතිය, පරිසරය හා එරට පවත්නා සමාජ, ආර්ථික තත්ත්වය වගේම අයි එස් සංවිධානයේ නීතිරීති, සංස්කෘතිය වගේ කරුණු පිළිබඳත් මනා චිත්‍රයක් මැවෙනවා. ඒ පිළිබඳ කතා කළොත්?

මේ කතාව, අලුත් අත්දැකීමක් කියලා පරිවර්තනය කරගෙන යද්දි තේරුණේ. සුන්නි මුස්ලිම්වරුන්, යසිඩිවරුන් ආදී ජන කොට්ඨාස පිළිබඳ මාත් දැනගන්නෙ මේ කෘතිය හරහා. ඒ වගේම ඉරාකයේ සංස්කෘතික ලක්ෂණ ආගමික නීතිරීති, කෑම බීම පිළිබඳ පවා අපට අවබෝධයක් ලැබෙනවා. ඔවුන්ගේ ආගම්වල සංකේත, උත්සව පවත්වන ආකාරය, චාරිත්‍ර වාරිත්‍ර ආදී සුවිශේෂී දේ මේ මඟින් දැනගන්න ලැබෙනවා.

ඒ වගේම අයි එස් හි තද නීති රීතිවල ස්වභාවය, ආගම පිළිබඳ නීති රීති, ඇඳුම් පැළඳුම්වල ස්වභාවය ආදියත් මෙහි අන්තර්ගතයි.

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න