කතා කපන්න පසුබට වෙන්න එපා | දිනමිණ

කතා කපන්න පසුබට වෙන්න එපා

ජොයිස් කැරොල් ඕට්ස්

ප්‍රකට අමෙරිකානු ලේඛිකා ජොයිස් කැරොල් ඕට්ස්, තමන්ගේ පළමු කෘතිය නිකුත් කළේ 1962දී ය. එතැන් සිට ඈ විසින් නවකතා 58ක් සහ කෙටිකතා, කවි ආදී කෘති ගණනාවක් නිකුත් කර තිබේ. දෙවතාවක් 'පුලිට්සර්' සම්මානය සඳහා ද නිර්දේශ වූ ඇගේ කෘති අතර Black Water, What I Lived For, Blonde, The Wheel of Love ප්‍රධාන තැනක් ගනී.

හැම කෙනකුටම කියන්න කතාවක් තියෙනවා. ප්‍රබන්ධ සම්බන්ධයෙන් ගත්තහම මේ ලිවීමේ ක්‍රියාවලිය වැඩිපුර තේරුමක් සපයනවා. තමන්ගේ හෝ වෙනත් අයගේ ජීවිත අත්දැකීම් අතර තියෙන අහිමිවීම්, සතුට, සාංකාව, ආදරය ආදීය පාවිච්චි කරමින් ප්‍රබන්ධයක් ගෙතීමෙන් ඒ කතාන්දරයට වෙනත් අර්ථයක් ලැබෙනවා. මේ සමහර සිදුවීම් ඔබේ ළමා කාලයට අයිති ඒවා නම්, ඔබ ගොතන ප්‍රබන්ධයෙන් තරමක අභිරහස් ගතියක් පෙන්නුම් කරන්නත් පුළුවන්. කුඩා ළමයින් කාලෙ, වැඩිහිටියො අපට තරමක අභිරහසක්. ඔවුන් යම්-යම් දේ කරන්නේ ඇයි? වගේම ඒ දේ එසේ කරන්නේ ඇයි කියන ප්‍රශ්නය කුඩාවුන්ගේ හිතේ රබර් බෝලයක් වගේ උඩ-යට යන ප්‍රශ්නයක්. ඔවුන් හඬන්නේ, කේන්ති ගන්නේ සහ නිශ්ශබ්ද්දව ඉන්නේ මන්දැයි කුඩාවුන් නිතරම කල්පනා කරනවා. කුඩා ළමයින් හට වැඩිහිටි ජීවිතවලට කාලයාගේ ඇවෑමෙන් පිවිසෙන්න සිද්ධ වෙනවා. ඒත්, ඒ ක්‍රමාණුකූලව ගත කරන කාලය ඇතුළත තරමක වික්ෂිප්ත වීමකිනුයි කුඩාවුන් පසුවෙන්නේ. වැඩිහිටියන්ගේ ලෝකය පිළිබඳ ඇති මේ කුතුහලය තමන්ගේ ළමා කාලය ප්‍රබන්ධයක් ලෙස ලිවීමෙන් අල්ලා ගන්න පුළුවන්.

සමාජය අධ්‍යයනය කරමින් ඉන් උකහා ගන්නා දේ නවකතා හෝ කෙටිකතා විදිහට ලිවීමට ලේඛකයන්ට අමුතුවෙන් ඉගැන්විය යුතු නැහැ කියලා මම හිතනවා. ඔවුන් තුළ යම් ඉවක් තියෙන බවක් මම විශ්වාස කරනවා. මම ඉතා ම කැමතියි මිනිස්සුන්ගේ චර්යා රටා අධ්‍යයනය කරන්න. ඉතා ම විෂම චර්යා රටා බොහෝ ප්‍රමාණයක්, සුළු කාලයක් ඇතුළත වුණත් කෙනකුට එකතු කර ගන්න පුළුවන්කමක් තියෙනවා. එදිනෙදා ඔබට මුණගැහෙන්න වෙන හැම චරිතයක්ම අධ්‍යයනය කරන්න අමතක කරන්න එපා. ලේඛකයකුට ලැබෙන හොඳ ම අවස්ථාව මේ චරිත අධ්‍යයනයයි. ඔවුන්ගේ මතක, බලාපොරොත්තු, පසුතැවීම් ආදිය අනන්‍යයයි. එකිනෙකට විශේෂයි. මේ සියලු චරිත අතරින් ඔබේ හිත වඩාත් තදින් පැහැරගත්ත චරිතය ‍තෝරගෙන, නවකතාවේ හෝ කෙටිකතාවේ මූලික තැනක් දෙන්න පුළුවන්. කෙටිකතාවකදී ඔබ ‍තෝර ගන්න ප්‍රධාන චරිතය සුවිශේෂී වන්නේ ඇයි? කෙටිකතාවේ කුඩා ඉඩ ඇතුළේ ඒ චරිතයට හැසිරෙන්න ඔබ හදලා තියෙන ඉඩ මොන වගේද? කතාවේ පසුබිම සහ කතාව ඇදිලා යන දිශාව ආදිය ඔබට තීරණය කරන්න පුළුවන්.

කෙටි ප්‍රබන්ධයක් ඇතුළේ නම් චරිත මහ ගොඩක් පාවිච්චි කිරීම නුවණක්කාරී නැහැ. සම්මත චරිත සංඛ්‍යාවක් කොහොමත් තියෙනවා. මේ සම්බන්ධයෙන් ඔබට ගන්න හොඳ තීරණයක් තියෙනවා. ඔබේ කෙටි ප්‍රබන්ධයේ සිටින සෑම චරිතයක්ම සිනමාපටයක චරිත බව නිකමට හිතන්න. ඒ සෑම කෙනකුටම ඔබ රංගනය සඳහා නියමිත මුදලක් ගෙවිය යුතුයි. යම් පුද්ගලයෙක් කතාවට අනවශ්‍ය යැයි සිතෙනවා නම්, දෙවරක් නොසිතාම ඔහුව කතාවෙන් නෙරපා දැමීමේ බලය ඔබ සතුයි. කතාව ඇතුළත ඊට වඩා බල පරාක්‍රමයක් දැරිය යුතු අයෙක් සිටිනවා නම්, ඔහුට කපා දැමූ චරිතයට වෙන් කළ ඉඩත් ලබා දෙන්න පුළුවන්.

යම් කතාවක් ඉල්ලා සිටින ප්‍රධාන දේ විතරක් ලියන්න වග බලාගන්න. ඒ දේ කුඩා හෝ විශාල වෙන්න පුළුවන්. ඒත්, ඔබේ කතාවට අදාළව සහ අත්‍යවශ්‍ය දේ පමණක් පාවිච්චියට ගන්න මතක තියාගන්න. කලාව විසින් ජීවිතයේ සෑම දෙයක්ම නිශ්චිතවම අනුකරණය කිරීමක් කෙරෙන්නෙ නැහැ. ජීවිතයේ යම්-යම් දේ පමණයි අනුකරණය වෙන්නේ. සෙසු සියල්ල ප්‍රබන්ධය ඇතුළේ ක්‍රියාත්මක දේ. උදාහරණයක් විදිහට යම් චරිතයක් හැමදාම පාන්දරින් දත් මදිනවා. දෛනිකව ලිවීමෙන් පලක් වෙන්නෙ නැහැ. මගේ කෘතිවල මිනිසුන්ගේ චරිත කතාවලට වැඩි ඉඩක් දෙනවා. ‍තෝල්ස්තෝයි, චෙකොව් ආදීන් තමන්ගේ කෘතිවල අන්තර්ගත කාල පරාසය ඉතාම දීර්ඝයි. ඒත්, මම කැමතියි ඊට වඩා කෙටි කාල පරාසයක් ඇතුළේ, නිශ්චිත සිදුවීම් කිහිපයක් එක්ක කතා ශරීරයට ගලාගෙන යන්න ඉඩ දෙන්න. මේ කාල පරාසය කෙටි කර ගැනීමෙන්, සමහර විට එක හුස්මට කියවලා ඉවර කරන කෙටිකතාවක් හෝ නවකතාවක් ඔබට ලියන්නත් පුළුවන්.

තමන්ගේ මුල්ම ක‍ටු සටහන හෝ දළ සටහන හැකි තරම් ඉක්මනට ලියා ඉවර කරන්න කියලයි නවක ලේඛකයන්ට මම කියන්නේ. පළමු ක‍ටු සටහන ලියා අහවර වුණ ගමන්, තමන්ගේ කතාව පිළිබඳ යම් අධිකාරී බලයක් තමන් වටා භ්‍රමණය වෙන බව පේන්න ගන්නවා. මෙන්න මේ අධිකාරී බලය තමන්ගෙන් ගිලිහෙන්න නොදී තබා ගැනීමත්, ඒ ඔස්සේ සතියක පමණ කාලයක් ගෙන ලියූ ක‍ටු සටහන නැවත පරීක්ෂා කරන්නත් පුළුවන්. තමන්ගේ මනසේ වැඩුණු මූලික අදහස මේ ක‍ටු සටහන ඇතුළේ තියෙනවාද? නැතිද? කියලා සොයා බලන්න, කලින් කී සතිය හොඳටෝම ප්‍රමාණවත්. ඉන් පසුව, හැකි තරම් වාරයක් මේ ක‍ටු සටහන සංස්කරණය කළ යුතුයි. කතාවේ අග සිට මුලටත්, මුල සිට අගටත් විමසමින්, කතාව කොටස් කර කපා-කොටා බලමින්, හැකි සෑම සංස්කරණයක්ම කරන්න පසුබට වෙන්න එපා. වෙනස් කළ යුතු සෑම සියලු දෙයක්ම වෙනස් කරමින්, පරිච්ඡේද කපා ඉවත් කරමින් සාහසික සංස්කරණයකට එළැඹෙන්න හැකි නම්, ප්‍රතිඵලය සතු‍ටුදායකයි.

යම් කෘතියක් ලිවීමේදී ක්‍රමෝපාය දෙකකට යටත්ව ලිවිය හැකියි. පළමුවැන්න කතා වස්තුව, ක්‍රියාදාම සහ දෙබස් ආදිය ක්‍රමාණුකූලව සහ විනිවිද පෙනෙන ආකාරය සහිතව ලිවීමයි. දෙවැන්න භාෂාව මූලික කරගෙන භාෂාවේ සියලු විස්කම් සමඟ කතාවට ගලා යන්න ඉඩ දීමයි. භාෂාව මූලික කරගෙන ලිවීමෙන්, ඔබ ලියන කතාන්දරය තවත් තට්ටු කිහිපයක් සහිතව ලිවිය හැකි බව මතක තබාගන්න. ඒත්, මේ දෙවැනි ලිවීම බොහෝ මහන්සියක් දරමින් කළ යුත්තක්. මේ ආකාරයෙන් ලියන ලේඛකයන්ට හොඳ ම උදාහරණයක් විදිහට, ජෝර්ජ් ඕවල් පෙන්නන්න පුළුවන්. භාෂාවත් එක්ක වැඩිපුර සෙල්ලම් කිරීම-නොකිරීම සම්පූර්ණයෙන්ම රදා පවතින්නේ ඔබේ හැකියාව සහ කැපවීම මතයි. ඒ ‍තෝරාගැනීම කළ යුත්තේත් ඔබමයි. යම් කෙටිකතාවක හෝ නවකතාවක් කොපමණ දීර්ඝ විය යුතුද? චරිත කොපමණ සිටිය යුතුද? පරිච්ඡේද සහ ඡේද කොපමණ දීර්ඝ විය යුතුද? යන්න සම්පූර්ණයෙන් ම ඔබ සතු තීරණයක්.

ලිවීමේදී ඔබේ ප්‍රධානම සතුරා වෙන්නේ, බාධා කිරීම්වලට යටත් වන්න සිද්ධ වීමයි. බොහෝ විට මේ බාධා කිරීම් සෙසු අය විසින් සිදු කරන අතරේම, තවත් සමහර විට මේ බාධා කිරීම සිදු වන්නේ ඔබෙන්මයි. ජංගම දුරකතන තිරය දෙස බැලීම, ලිවීමේ ඒකාග්‍රතාව බිඳ ගැනීම, අවට පරිසරයේ සිදුවන සිදුවීම් කෙරෙහි ආශක්ත වීම, කු‍ටුම්භය ඇතුළතින් පැන නඟින ප්‍රශ්න, ‍රැකියාවේ විවිධ ගැටලු ආදී නොයෙක් බාධා කිරීම් විටින් විට ඔබ හොයාගෙන එන්න පුළුවන්. මේ සියලු දෙය අතරතුර මතක තබාගත යුතු එක ම සහ වැදගත් ම දේ, කාලය ඉතා ම වටිනා බවයි. මම ලියන්න ‍තෝරගෙන තියෙන්නේ හිමිදිරිය සහ රාත්‍රියයි. මොකද මේ කාල දෙකම ඉතා ම නිශ්ශබ්දයි. ලිවීමට ඉතාම නිහඩ පරිසරයක් මට වුවමනා කරනවා. මේ නිසා ම වෙන්න ඇති ප්‍රබන්ධ ලියන කාන්තාවකට මුදල් සහ ලිවීම සඳහා තමන්ටම වෙන්කර ගත්ත කාමරයක් තියෙන්න ඕනෑ බව වර්ජිනියා වුල්ෆ් වතාවක් කිව්වේ. 

ලියා අහවර වුණාට පස්සේ එක් පුද්ගලයෙක් හෝ කිහිප දෙනකුට එය කියවන්න සැලැස්වීම ඉතා ම වැදගත්. ඒ වගේම, කියැවීමෙන් අනතුරුව ඔවුන් පළ කරන අදහස්වලට සාවධානව ඇහුම්කම් දීමත් ඒ තරමටම වැදගත්. ලිවීම උගන්වන කුඩා කණ්ඩායම් පංති හෝ සැසිවාර ආදියට සහභාගි වීමත් ඉතා ම වැදගත්. එක ම කතාව වෙනත් කෝණවලින් බැලීමට මෙවැනි සාමූහික ඉගැන්වීම් කණ්ඩායම් සමඟ ගැවසීම උදව් වෙනවා. අඩු අවධානයක් දක්වා ඇති චරිත මොනවාද? ඒවායේ ඔබට නොපෙනුණු අඩුපාඩු, තවත් වර්ධනය කරගත හැකි චරිත මොනවාද? දෙබස් ආදිය යොදාගෙන තිබෙන ආකාරය ගැන වෙනත් කෙනකුගේ අදහස් සහ යෝජනාවලට ඇහුම්කම් දීම අතිශය වැදගත්. මේ යෝජනා සහ අදහස් ඔබ පිළිගන්නවාද? ඒවා වෙනස් කිරීමට එකඟ වෙනවාද? යන්න පසුව එළැඹෙන කාරණයක්. සමහරවිට අත් පිටපතක් වෙනත් අයකුට කියවන්න දීමේ ස්වල්ප භයානකකමක් ඔබට දැනෙන්න පුළුවන්. ඒත්, අවසාන විග්‍රහය තුළ ඔබ ලියන්නේ කිසිසේත්ම නාදුනන පාඨක කණ්ඩායමකට බවත් යළිත් සිහිපත් කරගත යුතුයි. ඔවුන්ගේ නියැදියක් සෑම විට ලබාගත නොහැකි වුවත්, ‍තෝරාගත් යම් කියවන්නෙක් සමඟ වැඩ කිරීම එතරම් භයානක නැති බවයි මගේ අදහස.

යමක් ලියා අවසන් කිරීමෙන් ඕනෑම ලේඛකයකුට අද්භූත ප්‍රබෝධයක් අත් වෙනවා. එය යමක් අවසන් කිරීමෙන් පසුව මිනිස් මනසට දැනෙන යම් ජයග්‍රාහී හැඟීමක්. නවක රචකයන්ට කෙටිකතා ලිවීමෙන් තමන්ගේ ලේඛන ජීවිතය පටන් ගන්න කියලා මම යෝජනා කරන්නෙ ඒ නිසයි. යමක් ලියා අවසන් කිරීමේ ප්‍රබෝධය ඔබ තල්ලු කරන්නේ තවත් අලුත් දෙයක් ලිවීමේ ඉලක්කයකටයි. ඒත්, දීර්ඝ නවකතාවක් ලිවීමට උත්සාහ කරන නවක ලේඛකයකුට කිසියම් හේතුවකින් එය ලියා අවසන් කරගත නොහැකි වුවොත්, ඔහු පත් වෙන්නේ යමක් ලියා අවසන් කර ගැනීමට නොහැකි වීමේ ශෝකී තත්ත්වයටයි. එනිසා, කුඩාවට පටන් ගෙන විශාලත්වය කරා එළැඹෙන්න උත්සාහ කරන්න. ඒ වගේම, ප්‍රතික්ෂේප වීමට මුහුණ දෙන්න. එක් වතාවක් නොවෙයි, කිහිප වතාවක්ම ප්‍රතික්ෂේප වීමට නිරාවරණය වෙන්න. මගේ කෙටිකතා බොහොමයක් මුලින් ප්‍රතික්ෂේප වුණා. මගේ කෙටිකතා පළ කරන්න භාරගන්න බැරි බව කියලා සඟරාවලින්, පුවත්පත්වලින් බොහොම ක‍ටුක විදිහට කෙටි ලිපි මට එව්වා. මේ ක‍ටුක සහ වේදනාබර සත්‍යයට ශක්තිමත්ව මුහුණ දෙන්න ඉගෙන ගන්න. එය ඔබේ අනාගත ජයග්‍රහණ රාශියකට හොඳ පන්නරයක් විය හැකියි. ඉතා ඉක්මනින් ප්‍රකාශනය කර ගන්න සමත් නවකතාවක් හෝ කෙටිකතාවක් තිබීමට වඩා, සාර්ථක සහ හොඳ කෘතියක් ලිවීමට හැකි වීම ගැන සතු‍ටු වෙන්න. බොහෝ ලේඛකයන්ගේ පළමු නවකතා ප්‍රතික්ෂේප වීම ගැන ඔවුන් පසුකාලීනව සතු‍ටු වෙලා තියෙනවා. මගේ පළමු නවකතාවත් ප්‍රතික්ෂේප වුණා. ඒත් එය අධෛර්යවත් වෙන්න ඕනෑ දෙයක් විදිහට මම සැලකුවේ නැහැ. මම කළේ මගේ නවකතාව නැවත ලිවීමයි. වඩාත් සාර්ථකව ලියන්නේ කොහොමද කියා සොයා බැලීමයි. මගේ ශබ්දකෝෂය පෘථුල කර ගැනීමයි. ලේඛකයෙක් සතුව පැතිරුණු ශබ්දකෝෂයක් තිබීම අනිවාර්යයි. ඔබ සතුව වචන රාශියක් නොමැති නම්, භාෂාවේ විවිධ සෙල්ලම් දැමීමට ඔබට නොහැකියි.

ප්‍රබන්ධ ලිවීම ඇතුළේ තදින්ම මතක තබාගත යුත්තේ, කිසි ම විටෙක පාඨකයාට වෙහෙස ගෙනදෙන, කම්මැළි බවක් ඇති කරන දේ ලිවීමෙන් වැළකිය යුතු බවයි. ඔබ පාඨකයාගේ කුතුහලය ඇවිස්සීමට අසමත් නම්, ඔබේ භාෂාවෙන් පාඨකයා ඇදබැද තබා ගැනීමට අසමත් නම්, ආකර්ෂණය අහිමිව ඔවුන් පි‍ටු පෙ‍රැලීම නවතා දමනවා. නව අත්හදා බැලීම් කිරීමට පසුබට නොවෙනවා නම්, භාෂාව සමඟ සෙල්ලම් කිරීම හා සමගාමීවම පාඨකයාගේ අවධානය දැඩිව දිනා ගන්නත් හැකි වෙනවා. පාඨකයා පුදුමයට පත් කිරීමේ හැකියාව ඒ අතර ප්‍රධානයි.

කාංචනා අමිලානි

ආශ්‍රිත කියැවීම්:

l http://bit.ly/2NIsblU

l https://bzfd.it/2qj0msy

l http://bit.ly/32e5g79

l http://bit.ly/2PNuUgs

l http://bit.ly/2qqnViQ

l http://bit.ly/2CgWJFW

නව අදහස දක්වන්න