කවියෙක් වෙන්න පොතක් ලියන්න ඕනෙම නෑ | දිනමිණ


 

කවියෙක් වෙන්න පොතක් ලියන්න ඕනෙම නෑ

නුවන් කුමාර කටුගම්පළ

කවියකු සහ ගීපද රචකයකු වන නුවන් කුමාර කටුගම්පළගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය ‘දත වැටිලා’ සහ ‘ගායෙන් මං මුදවලා’ ගී පද සරණිය, මේ මස 07 වැනිදා සවස 2.30 ට මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී දොරට වඩී. මේ, ඒ පිළිබඳ ඔහු සමඟ කරන ලද සංවාදයකි.

ඔබ කවියට අත්පොත් තබන්නේ ළමා වියේදීමයි. එතැන් සිට පැමිණි ගමන් මඟ ගැන සඳහන් කළොත්?

මම මුලින්ම කවියක් ලියන්නේ පාසලේ හතර වැනි පන්තියේදී. එතැන් පටන් දිගටම නිර්මාණකරණයේ යෙදුනා. කුඩා කාලයේ ලියූ කවි යම් යම් තරගවලින් ජයග්‍රහණ ලබනවිට සහ ඇගැයීම් ලැබෙන විට, දිගටම ලියන්න ආශාවක් ඇතිවුණා. 1982 දී මිහිර පුවත්පතේ මුලින්ම කවියක් පළ වුණා. එතැන් සිට දිගින් දිගටම පුවත්පත්වල කවි පළ වුණා. ඒත්, මේ වනතෙක් පොතක් පළ කරලා නැහැ.

එතරම් දිගු කාලයක් කාව්‍යකරණයේ නියැළුණු ඔබ, කවි පොතක් ලියා පළ නොකළේ ඇයි?

2010 වසරේදී මම ‘බිංදුව’ කියා ළමා පොතක් පළ කළා. ඒත් කවි පොතක් ලියන්නට අවශ්‍ය තරම් පරිණත කවි මා සතු ද කියා මට වරින්වර සිතුණා. ඒ සිතුවිල්ල මත මම කවි පොතක් ලියන්න පමා වුණා. මා වටා සිටි බොහෝ පිරිස් මගේ පමාව ගැන නිතර විමසුවා. මා ලියන කවි ගීත සම්මානයට පාත්‍ර වෙද්දී පවා, ඒ නිහඬ බව ඔවුන්ට ගැටලුවක් වුණා. ඒත්, මා නිතරම හිතුවේ මම තවමත් නවකයෙක් කියලයි. එසේ ම, රාජකාරී ජීවිතය තුළ කාර්යබහුල වීමත් මේ පමාවට හේතුවක් වුණා.

ඔබ ගීත ගණනාවකට පද රචනයෙන් දායක වී තිබෙනවා. ඒ ගැනත් කතා කළොත්?

පාසල් වියේ සිටම ගීත ලිව්වා. ඒ ගීතවලට යාළුවෝ තනු නිර්මාණය කරලා, ඔවුන් ම ගායනා කළ අවස්ථා තිබුණා. ගමේ නොයෙක් උත්සවවලට මගෙන් ගීත රචනා කරවා ගත් අවස්ථාත් ඒ අතරට එකතු වුණා. මුලින්ම ප්‍රසිද්ධ ගීතයක් විදිහට නිර්මාණය වුණේ සේනානායක වේරලියද්ද මහතාගේ පළමු සංගත තැටිය වන ‘මල් වියනෙන්‘ සඳහා ලියැවුණු ‘කඳුළු බිංදුව’ ගීතය. ඒ ගීතයෙන් පසු මා අතින් ගීත බොහෝ ප්‍රමාණයක් ලියැවී තිබෙනවා. 

ඔබේ කුළුඳුල් කවි සහ ගීත පොත් දෙකම මේ වනවිට නිර්මාණය වී අවසන්. ඒ ගැනත් කතා කරනවා නම්?

මගේ ගීත පොතට ‘ගායෙන් මං මුදවලා’ හි පසුගිය කාලය පුරාවට මා විසින් විවිධ සංගත තැටි, ටෙලි නාට්‍ය, රංවල බලකාය ආදී බොහෝ පිරිස් වෙනුවෙන් ලියූ ගීත සමුච්ඡයක් අඩංගු වී තිබෙනවා. මගේ කාව්‍ය සංග්‍රහය ‘දත වැටිලා’ තුළත් පසුගිය වසර ගණනාවක් පුරා මම ලියූ කවිවලින් තෝරාගත් කොටසක් ඇතුළත් වෙනවා. කවියකු වෙන්නට කවි පොතක් ලිවිය යුතුමයි කියා සමාජයේ ඇති අදහස මම ප්‍රතික්ෂේප කරනවා. ඒත් අපේ නිර්මාණ ඉදිරි පරම්පරාව වෙනුවෙන් කොහේ හෝ තැනක ගොනු කර සුරක්ෂිත කළ යුතුයි. මේ පොත් දෙක ලියැවුණේ ඒ වෙනුවෙන්.

නව අදහස දක්වන්න