විචිත්‍ර කතා කලාවට කදිම ආදර්ශයක් | දිනමිණ


 

විචිත්‍ර කතා කලාවට කදිම ආදර්ශයක්

රන්ජන් අමරරත්න

සරොයන්ගේ ශෛලිය හා කතා ක්‍රමය නූතන අමෙරිකන් සාහිත්‍ය විද්‍යාර්ථීන් විසින් අධ්‍යයනය කරනු ලබන බව ද, එය ප්‍රවණතාවක් ලෙස කාලයක් පැවැති බව ද වාර්තා වී ඇත. සරොයන්ගේ ක්‍රමය තුළ පවත්නා විචිත්‍ර නිරූපණ රටාව අපගේ ද අධ්‍යයනයට යොමු වීම වැදගත් ය. සේනාරත්න වීරසිංහ මහතා ඊට අවශ්‍ය පසුබිම සකසා ඇත.

විලියම් සරොයන් නම් අමෙරිකන් රචකයාගේ 'හියුමන් කොමඩි' නවකතාව සිංහලට නැඟී ඇත. 'බාල කාලේ මිතු‍රෝ' නමින් එය සිංහලට පරිවර්තනය කරන්නේ සේනාරත්න වීරසිංහ මහතා ය. සිංහල සාහිත්‍ය සමාජය තුළ සංවාදයට ලක්වන අමෙරිකන් රචකයෝ කිහිප දෙනෙක් ‍සිටිති. එඩ්ගා ඇලන්පෝ, වොල්ට් විට්මන්, මාක් ටුවින්, හෙන්රි ජේම්ස්, විලියම් පෝක්නර් හා අර්නස්ට් හෙමින් වේ ඒ අතර ප්‍රධාන ය. විලියම් බ්‍රෙඩ්ෆෝඩ්, විලියම් ජේම්ස් වැනි ලේඛකයන් ගැන ද සිංහලෙන් ලියැවී ඇති'මුත් විලියම් සරොයන් ගැන සටහන් දකින්නට නැත. අමෙරිකන් විචාරකයන් පවා ඔහු ගැන සඳහන් කර ඇත්තේ අඩුවෙන් යැයි කිව හැකි ය. එහෙත් 'හියුමන් කොමඩි' නවකතාව මේ රචකයාගේ ශූර නිරූපණ හැකියාවත්, සමාජ විශ්ලේෂණයත් කදිමට ඉස්මතු කරයි.

යුද සමයක් තුළ පියා අහිමි දරු දෙදෙනකු ජීවිතය ගෙන යෑම සඳහා දරන අරගලය 'හියුමන් කොමඩි' කතාවෙන් කියැවෙයි. කතුවරයා දරු දෙදෙනාගේ කතාව ගොඩනඟන්නේ ඔවුන් හා ගනුදෙනු කරන සෙසු චරිතවලට ද එබී බලමින් ය. එය අපූරු රචනා විලාසයක් ලෙස හැඳින්විය හැකි ය. උද්වේගකර නො වන සාමාන්‍ය සිදුවීම් තුළ පවා අපූර්වත්වයක් මතුකරන්නට කතුවරයා සමත් වෙයි. මුළු කතාව පුරා ම දකින්නට ලැබෙන්නේ, එකිනෙක පුද්ගලයන්ගේ විශේෂ චර්යා රටා ය. එම චර්යා - රටා ඔස්සේ හැම විට ම මතුවන්නේ මනුෂ්‍යත්වයේ ස්වාභාවය යැයි කිව හැකි ය.

විලියම් සරොයන් සිය චරිත හැසිරවීම සඳහා බලපෑම්කාරී සාධක හතරක් යොදා ගනී.

(I) යුද්ධය

(II) දිළිඳුකම

(III) මරණය

(IV) සමාජ පරතරය

කතාවේ ප්‍රධාන චරිත දෙක වන්නේ හෝමර්මැකියුලි හා යුලිසීස් මැකියුලි ය. හෝමර් කොලු ගැටයකු වන අතර, යුලිසීස් කුඩා දරුවෙකි. යුද්ධය නිසා පියා අහිමි වූ මේ සොහොයුරන්ගේ ජීවිත ගැටගැසෙන්නේ ක්‍රමෝපාය දෙකක් ඔස්සේ ය. පළමු ක්‍රමෝපාය වන්නේ හමුදා සේවයේ නිරත මැක්ස් නම් වැඩිමහල් සහෝදරයා තැපෑලෙන් ‍එවන මුදල් ය. දෙවන ක්‍රමෝපාය වන්නේ හෝමර් ටැලිග්‍රෑම් බෙදන්නකු ලෙස උපයාගන්නා මුදල් ය. එහෙත් යුද්ධය නිසා මැක්ස් ද ඔවුනට අහිමි වෙයි.

යුද්ධය නිසා මිනිසා තුළ පහළවන අවිනිශ්චිතභාවය, සැකය, බිය හා විගලිතභාවය මේ කතාවෙන් මොනවට නිරූපණය වෙයි.

''යම් විදියකින් මේ මෝඩ යුද්ධෙදි මගේ

අයියා මිය ගියොත්; මම ලෝකෙට කෙළ ගහනවා!''

(පිටුව - 175)

හෝමර් එසේ මුමුනන්නේ අයියාගෙන් ලිපියක් ලැබුණු පසු ය. එම ලිපියෙහි අවසන් ලෙස සඳහන් වන්නේ 'මට ඔබව නැවත දැකගන්නට පුළුවන් වෙයිද දන්නෙ නැහැ. ඔබට දේවාශීර්වාද ලැබේවා යනුවෙන් ය. යුද්ධය සියලු දෙනාගේ ම ජීවිත කම්පනයකට පත්කර තිබේ. ඒ අනුව කිසිවකුට සැනසිලිදායක ජීවිත නැත. හෝමර් කොලු ගැටයකු ලෙසින් යුද්ධය ප්‍රතික්ෂේප කරයි. ඊට අපහාස කරයි. ලෝකෙට කෙළ ගහනවා! "යනු අපූරු යෙදුමකි.

යුද්ධයට සක්‍රීය ලෙස දායක වන සොල්දාදුවන් ළඟ පවා ඇත්තේ විගලිතභාවයකි. ඔවුන් තමන් කෙරෙහි පවා කලකිරීමකින් යුතුව ආපසු හැරී බලන බවක් පෙනෙයි. යුද්ධය පිළිබඳ කතුවරයාගේ දෘෂ්ටිය ඉන් පැහැදිලි වෙයි.

"යමන් මිනිහො, මිනිස්සු බලන් ඉන්නවා! 

සොල්දාදුවන් කියන්නෙ පිස්සො බව

රටේ මිනිස්සුන්ට හඟවන්ඩද උඹ

මේ හදන්නෙ"

(පිටුව - 187)

සියල්ලන්ගේ ම ජීවිත අවුල් ය. සොල්දාදුවන්ගේ ජීවිත ද අවුල් ය. ඉතාකාවට එන සොල්දාදුවෝ වැරදි ගෙවල්වලට යති. සොල්දාදුවන්ට තමන්ගේ ගම හා තමන්ගේ ගෙදර පවා නිවැරැදිව හඳුනාගත නො හැකි ය. යුද්ධයේ තරමත්, සොල්දාදුවන්ගේ වෙනසත් උක්ත සිද්ධියෙන් නිරූපිත ය.

මැක්ස් නම් වැඩිමහල් සහෝදරයා සිය සහෝදරයා වූ හෝමර්ට එවන ලිපියක මෙසේ සඳහන් වෙයි.

"මම ඔබෙන් වෙන්වුණාට නිතරම ඔබ ගැන හිතනවා. මම කරදරයක් නැතිව ඉන්නවා. ඒ වුණාට යුද්ධය ගැන විශ්වාසය කියන්ඩ බෑ. යුද්ධය උන්ට අවශ්‍ය වුණාට; යුද්ධ කරන්ඩ යන්නෙ මෝ‍ඩයො. නමුත් මේ පවතින අවස්ථාවට මුහුණ දෙන්ඩ සිදුවීම ගැන අනිත් අය වගේ ම මමත් ආඩම්බරයි. මම හිතන්නෙ නැහැ කිසිම මනුෂ්‍යයෙක් අනෙකාට සතුරුයි කියලා. කිසිම මනුෂ්‍යයෙක් මගේ හතුරෙක් නෙමෙයි මිතුරෙක් මගේ සටන තියෙන්නෙ මිනිසා සමඟ නොවෙයි. ඔහු තුළ පවතින අවාසනාවන්ත තත්ත්වය සමඟයි."

(පිටුව - 173)

යුද්ධය හා යුද ජයග්‍රහණ දේශපාලන වශයෙන් අලෙවිකරණයට ලක්කරන සමාජයකට, මැක්ස්ගේ ලිපියෙන් බොහෝ දේ උගත හැකි ය. සෙබළකුගේ අව්‍යාජ හැඟීම ඒ යැයි සිතන්නට පුළුවන.

මැකියුලි පවුල පෙළන ප්‍රධාන සාධකය ද දිළිඳුකම ය. දිළිඳුකම කෙතරම් ද යත්; යුලිසීස් අකුරු දන්නේ නැත. ඔහුගේ මිතුරා වූ ලයනල් ද අකුරු දන්නේ නැත. ඔව්හු පුස්තකාලයට ගොස් රාක්කවල ඇති විවිධ පොත් දෙස බලා සිටිති. ඔවුන් දකිනුයේ පොත්වල පාට, පුසුඹ හා ප්‍රමාණය පමණි. දුප්පත්කමෙහි ශාපය සියුම් නිරූපණයකට හැරෙන්නේ සුන්දර ලෙස ය. විලියම් සරොයන්ගේ තවත් කතා කිහිපයක ම, දිළිඳුකමට එරෙහිව සටන් කරන දරුවෝ සිටිති. සරොයන්ගේ ජීවිතයට එබී බලන විට ද පෙනී යන්නේ, ඔහු සැබෑවට ම මේ අත්දැකීම් විඳගන්නට ඇති බව ය. ඔහු තරුණ කාලයේ දී තාවකාලික රැකියා ගණනාවක් කළ කෙනෙකි. සරොයන් වරක් විදුලි පණිවිඩ බෙදන කාර්යාලයක වැඩ කර තිබේ. තව වරක් යතුරු ලියන්නකු ලෙස සේවය කර තිබේ. විලියම් සරොයන් වෘත්තීය ලේඛකයකු හා නාට්‍යකරුවකු ලෙස ප්‍රසිද්ධියට පත්වන්නේ පසුව ය.

මේ කතාවේදී හෝමර් නම් කොලු ගැටයා ගෙන යන ජීවන අරගලය සංවේදී ලෙස නිරූපණය වෙයි. ‍ඔහු කෙරෙහි යම් කරුණාවක් දක්වන පිටස්තර පුද්ගලයා, ග්‍රෝගන් නම් මහලු සේවකයා ‍පමණි. ඔහු ද සිය කාර්යාලය තුළ මිය යයි. හෝමර් පන්ති විසමතාව මත පීඩනයට හා හිරිහැරයට ලක්වන දරුවෙකි. ඔහු ඊට එරෙහිව අරගලයක නිරත වෙයි. ඊට හොඳ ම සාක්ෂිය වන්නේ කඩුලු මතින් දිවීමේ තරගය යි. ක්‍රීඩා ගුරුවරයා හෝමර්ට පැනවිය හැකි සියලු බාධක පනවන්නේ වුව, ඔහු තරගයෙන් ජය ලබයි. හෝමර් තරගය සඳහා සූදානම් වන්නේ පාරවල දුවමින් හා වැට-කඩුලුවලට උඩින් පනිමින් ය. ඒ සෑම අවස්ථාවක ම හෝමර් අනතුරකට ලක්වෙයි. එහෙත් ඔහු තරගය අතහරින්නේ නැත. හෝමර් යනු පහසුවෙන් පරාජයට පත්කළ නො හැකි දිරිය කොලුවෙකි.

විලියම් සරොයන්ගේ ජීවිත විග්‍රහයට හා මනුෂ්‍යත්වය පිළිබඳ විවරණයට ඇතුළත් වැදගත් සාධකයක් ලෙස මරණය යන සංසිද්ධිය පවතී. මේ කතාවේ ද මරණය පිළිබඳ ප්‍රධාන සිද්ධි කිහිපයක් ඇත. ග්‍රෝගන් මහතාගේ මරණය හා මැක්ස්ගේ මරණය ඒ අතර විශේෂිත ය. ග්‍රෝගන් මහතා හෘද රෝගියෙකි. රෝගය උත්සන්න වන සෑම අවස්ථාවක ම කෝපි කෝප්පයක් බොන හෙතෙම මරණයෙන් නිදහස් වෙයි. එම කෝපි කෝප්පය රැගෙන එන්නේ හෝමර් ය. එහෙත් අවසන් ලෙස මහලු ගෝගන් හෘද රෝගයට ගොදුරු වෙත්දී හෝමර්ට නියමිත වේලාවට කෝපි ගෙන එන්නට බැරි වෙයි. අවන්හලේ කෝපි අවසන් වී ඇත. හෝමර් නැවත කෝපි ද රැගෙන කාර්යාලයට එන විට ග්‍රෝගන් මහතා යතුරු ලියනය මත මිය ගොසිනි.

"ඔහු තම අසුනින් නැඟී සිටීමට උත්සාහ ගත්තේ ය. එහෙත් හෘදයාබාධය නැවතත් නැඟ ආවෙන් ඔහු වහා තම ගෙල පෙදෙස තරව අල්ලා ගත්තේ ය. ස්වල්ප මොහොතකින් ඔහු යතුරු ලියනය මතට ඇද වැටුණේ ය."

(පිටුව - 192)

විලියම් සරොයන්ගේ කතා කලාවේ එක් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ උද්වේගකර අවස්ථා නිරූපණයෙන් බැහැර වීම ය. ග්‍රෝගන් මහතාගේ මරණය නිරූපණය කර ඇත්තේ ද වාක්‍ය කිහිපයකින් ය.

මැක්ස්ගේ මරණය පිළිබඳ ආරංචිය ලැබෙන්නේ විදුලි පණිවිඩයක් ඔස්සේ ය. එම විදුලි පණිවිඩය යතුරුලියනය කරමින් සිටි ග්‍රෝගන් මහතා ද මිය යයි. මැක්ස්ගේ මරණය පිළිබඳ ප්‍රවෘත්තිය දැනගන්නා හෝමර් එය පිළිගැනීමට මැළි වෙයි. තම සහෝදරයා හා එක ම ගැළවුම්කාරයා පරලොව ගොස් ඇති බව විශ්වාස කළ හැක්කේ කාට ද? කතුවරයා එම අවස්ථාව නිරූපණය කරන්නේ අපූරු ආකාරයකට ය.

"Mrs. Sandoval; Homer said swiftly your son is died. May be its mistake. May be it was not your son. May be it was somebody else. The telegram says it was guan Domingo. But may be the telegram is wrong"

(Human Comedy)

මරණය වේදනාකාරී වන්නේ මිය යන පුද්ගලයාට නො ව; ජීවත්වන පුද්ගලයන්ට ය. මැක්ස්ගේ මරණයෙන් බලවත් කම්පනයට පත්වන වින්දිතයා වන්නේ හෝමර් ය. හෝමර් මේ ආරංචියෙන් පසු ඇවිදින්නේ පිස්සු වැටුණු මිනිසකු ලෙසට ය.

"මිනිහෙක් කළ යුත්තේ කුමක් ද? මම දන්නෙ නැහැ මා වෛර කළ යුත්තේ කාටද කියල. කොටින් ම කළ යුත්තේ කුමක් ද කියල මම දන්නෙ නැහැ. ඇත්ත වශයෙන් ම මිනිසා ජීවත්විය යුත්තේ කුමන අයුරින් ද? ආදරය කළ යුත්තේ කා හට ද?"

(පිටුව - 196)

හෝමර් අප ඉදිරියෙහි තබන්නේ දාර්ශනික ගැටලුවකි. වරෙක ඔහු යථාර්ථයෙන් පැන යයි. මැක්ස්ගේ මරණය පිළිබඳ පණිවිඩය වැරැදීමක් සේ සිතන්නට ඔහු පෙලඹෙයි. එහෙත් හෘද සාක්ෂිය මැක්ස් පිළිබඳ ඇත්ත දනී. නැවත ඔහු කළ යුත්තේ කුමක්දැ'යි විමසයි. ආදරය කළ යුත්තේ කාටදැයි ඔහු නැවත විමසයි. මිනිසාගේ අසරණභාවය මොනවට පැහැදිලි වෙයි.

විලියම් සරොයන්ගේ කතා කලාවේ කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් තිබේ.

(I) විචිත්‍ර නිරුපණ රටාව

(II) ජීවන චරිත ඉස්මතු කිරීම

(III) මිනිස් චර්යාවන් නිරීක්ෂණය

(IV) මනුෂ්‍යත්වය විවරණය කිරීම

(V) සරල භාෂා භාවිතය

(VI) අනවශ්‍ය වර්ණනා කපා හැරීම

සරොයන්ගේ ශෛලිය හා කතා ක්‍රමය නූතන අමෙරිකන් සාහිත්‍ය විද්‍යාර්ථීන් විසින් අධ්‍යයනය කරනු ලබන බව ද, එය ප්‍රවණතාවක් ලෙස කාලයක් පැවැති බව ද වාර්තා වී ඇත. සරොයන්ගේ ක්‍රමය තුළ පවත්නා විචිත්‍ර නිරූපණ රටාව අපගේ ද අධ්‍යයනයට යොමු වීම වැදගත් ය. සේනාරත්න වීරසිංහ මහතා ඊට අවශ්‍ය පසුබිම සකසා ඇත.

නව අදහස දක්වන්න