අතීතය සිහි කැදවන මතක තොටුපොළ | දිනමිණ


 

අතීතය සිහි කැදවන මතක තොටුපොළ

"කාව්‍යං රසාත්මකං වාක්‍යං" ලෙසින් සංස්කෘත භාෂාවෙන් කියැවෙන කවිය, සැබවින්ම රස පිරුණු වාක්‍ය ඛණ්ඩයකි. කවි ශ්‍රව්‍ය, දෘශ්‍ය ලෙසින්ද කොටස්වලට බෙදිය හැකි ය.

බොහෝ අවස්ථාවල කවියට පාදක වන්නේ කවියාට අත්විඳින්නට ඉඩ ලැබුණු අත්දැකීම් ය. එකම ආකාරයේ අත්දැකීමක් විවිධාකාර ලෙසින් ග්‍රහණය කර ගන්නා කවියන් විසින්, එකිනෙකට වෙනස් වූ දෘෂ්ටිකෝණවලින් යුක්ත කාව්‍ය නිර්මාණය කරයි. ප්‍රශාන් ඉන්ද්‍රජිත් රාජපක්ෂ සිය හත්වැනි කෘතිය වන ජීවිතය පුද දුන් ප්‍රේමයේ මතක තොටුපොළ කෘතිය රචනා කරන්නේ ද ප්‍රේමයේ අහුමුළු මතක ස්පර්ශ කරමින්, අතීත, වර්තමාන මතක ඇසුරු කර ගනිමිනි. සියලු දෙනාටම පොදු විෂයක් වූ ප්‍රේමය, තමන්ට අනන්‍ය වූ ආකාරයට ගළපාගන්න මේ කාව්‍ය සංග්‍රහය තුළ ඇති කවි මඟින් පාඨකයාට අවස්ථාව සලසා තිබේ.

වත්සුණු තවරා 
මදහස පානා 
සරසවි උයන් කොනේ 
සුපිපුණු කැකුළු 
රහස් කියන සේමා 
ඇවිදින් 
ඉඳහිට 
බඹරු සේනා 
රොන්සුණු උරයි 
මල් කැකුළු පුරා 
මුවග තැවරුණු 
රොන්සුණු උරනා 
වියපත් බඹරකු ද 
ඒ අතර වූවා 
මතක තොටුපළ (පිටුව 20)

මේ කවිය තුළ, බොහෝ සරසවි සිසු සිසුවියන් තුළ ඇති ප්‍රේමයේ අරුමැසි බව සමඟ ප්‍රේමණීය හැඟීම් පහළ වන්නට, වයස් භේදයක් නොමැති වග පැහැදිලි කිරීමටට කවියා උත්සාහ දරා ඇත. වියපත් පෙම්වතුන් පිළිබඳ අවඥා ස්වරූපයෙන් සහ සාධාරණීකරණය කරමින් බොහෝ කවි ගී ලිය වී ඇතත්, මෙහි දක්නට ලැබෙන්නේ මධ්‍යස්ථ හැඟීමකි.

වන අරණක 
තුරු සෙවනැලි අතරේ 
රහසක් සඟවා 
අපෙ 
මේ පෙම් කතාවේ 
ඔබ 
ඇයිද ගියේ 
නොකියා 
දමා මා 
මංමුලාවේ 
දිවයුරු සැඟවී ගියාදෙන් 
ඈත සිතිජයේ 
කිසිදිනෙක 
යළි 
ඔබ 
මා 
හමුනොවුනාවේ. 
මතක තොටුපළ (පිටුව 54)

මේ කවි කෘතියෙහි අඩංගු අනෙකුත් කවිවලට වඩා, මෙහි ගීතමය ස්වභාවයක් ගැබ්වී තිබේ. ප්‍රේමය බිඳී ගිය පසු යළිත් මුණ ගැසුණත්, බිඳුණු කඩතොළු පිළිසකර කර ගන්නට හැකියාවක් නැති බව වටහා ගන්නා කවියා, සිය පෙම්වතියට යළිත් මුණ නොගැසෙන ලෙස ඉල්ලීමක් කරයි. එය කොයි තරම් දුරට අවංක චේතනාවක් ද යන්න, විරහව හඳුනන පාඨකයාට කවිය වින්දනය කිරීමේදී වටහා ගත හැකි ය.

සීතල සිහිනෙක 
සිත 
සිරකොට 
බැඳ 
වසන්තය 
ඇවිත් 
ගියෙ 
ඇයි 
නොකියාම 
මතක තොටුපළ (පිටුව 55)

මේ කවිය ඉතා කෙටි වූවකි. හිමිවී ඇති සන්තකය වේදනාවක් බවට පත්වෙද්දී, මිහිරක් ගෙන දෙන දෙයක් හිමි කර ගැනීමට එය බාධාවක් වන අයුරු කවියා කවි බසින් පවසයි. එම පද තුළ ව්‍යංගයෙන් යුක්තව තැවීම සහ වේදනාව මුසු කරන්නට කවියා උත්සාහ දරා තිබේ.

මතක තොටුපළ කෘතිය පුරා ඇත්තේ ප්‍රේමයේ ජයග්‍රහණයට වඩා පරාජයයි. ඇතැම්විට ආදරය මිනිසුන්ගේ සිතිවිලි මටසිළුටු කරනවාට වඩා වැඩියෙන් විරහව එම කාර්යය සිදු කරන බව, විරහව අන්තර්ගත නිර්මාණ වැඩිපුර බිහිවීම මඟින් ගම්‍ය වන කාරණයකි.

උණුවෙන හිතක් 
හිමිවුණු එකත් 
ඇත්තටම 
දුකක් 
තිබුණා නම් 
මටත් 
නුඹ වගේ 
දරදඬු හිතක් 
හදාගන්න තිබුණා 
හිත 
මෙලහකටත් 
දුක් නොවිඳ තවමත් 
මතක තොටුපළ (පිටුව 42)

විරහව, එක් පාර්ශ්වයකට වේදනා විඳින්නට සිදුවන හේතුවකි. අතහැරීමට ලක්වන පුද්ගලයා තමා දුර්වල පුද්ගලයකු බව නිතරම සිතන්නට හුරු වන්නේ, තමාට ඇත්තේ ඉතා මොළොක්, පහසුවෙන් රිදුම් දෙන සිතක් යැයි ඇතිවන හැඟීම හේතුවෙනි. මේ කවියේ ප්‍රස්තුතය බොහෝ දෙනාට පොදු කරුණකි.

ප්‍රේමයේ බොහෝ තැන් කවි බසින් පවසන්නට උත්සාහ දරා ඇති මතක තොටුපොළ කෘතිය පරිශීලනය කිරීමේ දී, කටියා භාවිත කර ඇති කාව්‍යමය භාෂාව තව දුරටත් ප්‍රබල විය යුතු බව වැටහෙයි. ඇතැම් ප්‍රකාශන සඳහා ව්‍යංගය එකතු කිරීමෙන් කවියෙහි අලංකාරය තව දුරටත් ඉස්මතු කරන්නට කවියා වැඩි උත්සාහයක් දරා නැත. ඒ පිළිබඳ සැලකිළිමත් වූවා නම් පාඨකයාට කවිය වඩාත් තීව්‍රව දැනෙන්නට ඉඩ තිබුණි. මතක තොටුපළ කෘතියෙහි එන නිසදැස් කාව්‍ය එතරම් දිගු ස්වභාවයක් නොගනී. අනවශ්‍ය වැනුම් සහ විස්තර නොමැති වීම, කවිය කියවා වටහා ගැනීමේදී වඩාත් වැදගත් සාධකයක් වේ. ප්‍රේමය පමණක් ප්‍රස්තුත කර නොගෙන, සමාජ ප්‍රශ්න පිළිබඳව ද මතක තොටුපළ තුළින් විමසන්නට කතුවරයා දරා ඇති උත්සාහයක් ලෙස, "එහෙමයි සමහරු හමුවූයේ අපට" කවිය දැක්විය හැකි ය.

කාව්‍ය රසය ඉස්මතු කළ හැකි භාෂා භාවිතයක් කෙරෙහි තව දුරටත් සැලකිලිමත් වෙමින්, කවියට වාක්‍ය ඛණ්ඩයකට එහා ගිය රිද්මයානුකූල බවක් මුසු කරන්නට උත්සාහ දැරුවා නම්, මතක තොටුපළ කෘතිය තවත් සාර්ථක නිර්මාණයක් බවට පත්වනු ඇත.

දිල්රූ ජයසේකර

නව අදහස දක්වන්න