මරණීය තර්ජන | දිනමිණ


 

මරණීය තර්ජන

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සජින් වාස් ගුණවර්ධන මහතා තමන්ට මරණීය තර්ජන එල්ල වී ඇතැ’යි හෙළිදරව්වක් කරයි. ඊට අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා කියා සිටියේ තමන්ට සේ ම තමන්ගේ දරුවන් දෙදෙනාට ද මරණීය තර්ජන එල්ල වී ඇති බව ය. සිද්ධියට අදාළ හඬ පටියක් ද සජින් වාස් මහතා ප්‍රසිද්ධියට පත්කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ හිටපු රාජ්‍ය නායකයකුට ය. මෙය පහසුවෙන් ඉවත දැමිය හැකි සිද්ධියක් නො වේ. නොසලකා හැරිය යුතු කාරණයක් ද නො වේ. රටේ නායකයන් මෙලෙස හැසිරෙත් නම්; එය අතිශය භයානක සිදුවීම් පෙළක ආරම්භය යැයි උපකල්පනය කරන්නට පුළුවන.

සජින් වාස් මහතා පෙන්වා දෙන අන්දමට මරණීය තර්ජනයට හේතුව වී ඇත්තේ නායකයාට ප්‍රති විරුද්ධ දේශපාලන මතවාදයක් දැරීම හා ඒ වෙනුවෙන් පෙනී සිටීම ය. දේශපාලන මතයක් දැරීම වෙනුවෙන් පුද්ගලයකුට මරණීය තර්ජන එල්ල කිරීම යනු නීතියෙන් බරපතළ දඬුවම් ලබාදිය හැකි අපරාධ සිද්ධියකි. ඒ අනුව ඉහත සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම නීතිගරුක පුරවැසියකුගේ යුතුකම වෙයි. වාස් මහතා ‍එබඳු පැමිණිල්ලක් සිදුකර ඇති බව ද මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් විය. එය වැදගත් ය. පළමුව විශ්වාසය තැබිය යුත්තේ නීතිය කෙරෙහි ය. නීතියට අවනත වීම සෑම පුරවැසියකුගේ ම වගකීමකි.

වාස් මහතා සමාජ ගත කළ හඬ පටිය ඇත්ත එකක් ද? ව්‍යාජ එකක් ද යන්න පිළිබඳ සහතිකයක් අපට ලබා දිය නොහැකි ය. අපගේ අනුමානය වන්නේ එය සත්‍ය එකක් විය හැකි බව ය. රටේ බලවත් පුද්ගලයකුට එරෙහි ව ව්‍යාජ හඬ පටියක් සකස් කරන්නට කෙනකු ඉදිරිපත් නොවනු ඇත. හඬ පටියෙන් පෙනී යන තවත් කාරණයක් වන්නේ සජිත් මහතා ළඟ උක්ත නායකයා පිළිබඳ රහස් තොරතුරු ගණනාවක් ඇති බව ය. එම තොරතුරු හෙළිදරව් වෙතැ’යි බියෙන් ඉහත තර්ජනය කරන්නට ඇතැ’යි සැක කරන්නට ද පුළුවන. මහා පරිමාණ දූෂණ හෙළිදරව් වෙතැ’යි බියෙන් මිනිස් ඝාතන සිදුවූ අවස්ථා බොහොමයක් ශ්‍රී ලංකා ඉතිහාසය තුළ පවතී.

පුවත්පත් කතුවරයකු වූ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්වූයේ මහා පරිමාණ දූෂණයක් පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීම නිසා යැයි මතයක් පවතී. ඔහු යුද සමය තුළ සිදුවූ මිනිස් ඝාතන ගැන ද, මූල්‍ය ගනුදෙනු ගැන ද, කොමිස් ගැහිලි ගැන ද තොරතුරු හෙළිදරව් කර තිබිණි. ඔහු ඝාතනයට ලක්වූයේ අධි ආරක්ෂිත කලාපයක් තුළදී ය. එබඳු ප්‍රදේශයක දී මිනිස් ඝාතනයක් සිදුකළ හැක්කේ කාටද යන්න ගැන ද මහජන මතයක් පවතී. යුද සමය තුළ සිදුවූ බරපතළ අපරාධ දෙස බලනවිට පෙනී යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මෙන් ම මූලික මිනිස් අයිතිවාසිකම් ද එදා අමු අමුවේ උල්ලංඝනය වී ඇති බව ය. එහෙත් එදා සිදුවූ අපරාධවල වින්දිතයන්ට අද වනතුරු ද යුක්තිය ඉටුවී නැත. මේ අනුව ලසන්තගේ දියණියට සිදුවූයේ අමෙරිකාවට ගොස් නඩුවක් ගොනු කරන්නට ය.

යුද සමයක් තුළ දී මිනිස් ඝාතන සිදුකිරීමට අවකාශයක් නිර්මාණය වෙයි. එම ඝාතන යුද්ධයේ ගිණුමට බැර කළ හැකි නිසා ය. එක අතෙකින් එය ගැටුමක ප්‍රතිඵලයක් ලෙස අර්ථ ගැන්විය හැකි ය. තව අතෙකින් එය දේශප්‍රේමයේ නාමයෙන් අමතක කළ හැකි ය. තවත් අතෙකින් එබඳු ඝාතන පිළිබඳ විද්‍යාත්මක සාක්ෂි සොයාගැනීම අපහසු ය. ශ්‍රී ලංකාවේ යුද සමයේ දී කිසිවකු ඉන් උපරිම ප්‍රතිඵල නෙළාගෙන ඇතැ’යි කිවහොත් එය පහසුවෙන් බැහැර කළ නොහැකි චෝදනාවක් වෙයි. ලසන්ත ඝාතනය, පෝද්දල ජයන්තගේ කකුල් කැඩීම, කීත් නොයාර්ට පහරදීම, උපාලි තෙන්නකෝන්ට පහරදීම, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, උතුරේ මාධ්‍යවේදීන් තිස් ගණනක් අතුරුදහන් කිරීම ඇතුළු තවත් ඝාතන ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය. මේ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුවන්නේ කවදාදැ’යි මධ්‍යස්ථ මිනිස්සු විමසා සිටිති.

බියෙන් හා සැකයෙන් තොරව ජීවත්වීමේ අයිතියක් මිනිස් වර්ගයාට තිබිය යුතුය. සජින් වාස් මහතාගේ සිද්ධිය විමසා බැලීම වටින්නේ යළිත් භීෂණ යුගයක් පිළිබඳ පෙර නිමිති පහළ වන්නේදැ’යි සැකයක් ජනතාව තුළ ඇතිවිය හැකි බැවිනි. “අපි ශ්‍රී ලංකා” නමින් සමුළුවක් පෙරේදා කොළඹ දී පැවැත්විණි. එහි දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති අපේක්ෂකයකුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් උපුටා දක්වමින් එහි ඇති ඇතැම් වගන්තියක් හාස්‍යයට කරුණක් බව පෙන්වා දුන්නාය. එම වගන්තියෙහි දක්වා තිබුණේ සාධාරණ හා යුක්ති සහගත සමාජයක් ගොඩනඟන බවට ප්‍රතිඥා දීමකි. මේ සමුළුවේදී ම වෙල්ගම මහතා ඉල්ලා සිටියේ මා පසුපස “සුදුවෑන්” එන තත්ත්වයක් ඇති කරන්න එපා යන්න ය. ඇතැම් බලවත් පුද්ගලයන් කෙරෙහි සමාජය දක්වන බිය මෙයින් පැහැදිලි වෙයි.

මීට දින කිහිපයකට ඉහත දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ; ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිසුන්ගේ නිදහස ස්ථාපිත කළ බව ය. එය පිළිගත හැකි සත්‍යයෙකි. 2015 ට පෙර රටේ පැවැති තත්ත්වය භයානක ය. එක පවුලක් වටා රටේ පාලනය කේන්ද්‍රගත වී තිබිණි. ඔවුන්ගේ අණසකට සියල්ල යටත්විය. මේ තත්ත්වය බිඳ දැමුවේ ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් බව කිව යුතු ය. නැවතත් පවුලක් වටා රටේ පාලනය කේන්ද්‍රගත වීමට යුක්තිසහගත මිනිසුන් කැමැති නොවනු ඇත. පවුල් පාලනය යනු ඒකාධිපති පාලනයකි. ඉරාකයේ සදාම් හුසේන් පාලන කාලය තුළ ජනාධිපතිවරයා පමණක් නො ව; ඔහුගේ පුත්තු දෙදෙනා ද රට පාලනය කළ හ. එදා ඉරාකයේ පාපන්දු කණ්ඩායම තරගයකින් පරාජයට පත්වුවහොත් ඔවුනට ශාරීරික දඬුවම් පවා විඳින්නට සිදුවිය.

සජින් වාස් මහතා නඟන චෝදනාව සුළුපටු එකක් නො වේ. දේශපාලන මතයක් දැරීම හා ඒ වෙනුවෙන් පෙනී සිටීම නිසා ඔහු පමණක් නො ව; ඔහුගේ දරුවන් ද ඝාතනයට ලක්වීමට ඉඩ තිබේ. මේ සිද්ධිය පිළිබඳ පොලිස් පරීක්ෂණ වහාම ආරම්භ විය යුතුව තිබේ.

 

නව අදහස දක්වන්න