රටට අහිතකර ගිවිසුමකට කිසිදිනක සජිත් යන්නේ නෑ | දිනමිණ

රටට අහිතකර ගිවිසුමකට කිසිදිනක සජිත් යන්නේ නෑ

කාශ්‍යප හිමිට ලිපියකින් සජිත් දැන්වූවා

තමන් කිසිදු ලෙසකින් රටට අහිතකර ගිවිසුමකට කිසිදිනක නොඑළඹෙන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් එම්සීසී ගිවිසුමට සම්බන්ධව උපවාසයක නිරතවූ කාශ්‍යප ස්වාමින් වහන්සේට යැවූ ලිපියෙන් දන්වා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසී ය.

සජිත් ප්‍රේමදාස මහතා එම ගිවිසුම සම්බන්ධව පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත සංවාදයක් පවත්වන බව එම ලිපියේ ප්‍රකාශ කර තිබෙන නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා එම හිමියන්ට යැවූ ලිපියේ සඳහන් වන්නේ ජාතික ආරක්ෂාව , රටේ ස්වෛරීභාවය සහ ජාතික අවශ්‍යතාවයට යටත්ව නැවත සලකාබැලීමට කටයුතු කරන ලෙස බවත් එම ගිවිසුමට ඹහු පාර්ලිමේන්තු අනුමැතිය ගන්නවාද කියා සඳහනක් නොමැත් බවත් ඒ මහතා අනාවරණය කළේ ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා එම්සීසී ගිවිසුමට අත්සන් නොකරන්නේ නම් ඒ බව ප්‍රකාශ කරන ලෙසද අවධාරණය කළේ ය.

ඒ මහතා මේ බව පැවසුවේ වොක්ෂල් වීදියේ මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේදී ඊයේ (06) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේ ය.

එම්සීසී ගිවිසුම පිළිබඳ මේ දිනවල ආන්දෝලනාත්මක ප්‍රකාශ ගෙනියනවා. රට පාවාදෙන්න හදනවා, අපේ රටේ ඉඩම් දෙන්න හදනවා කියා කෑගහනවා.

නමුත් මෙයින් සිදුවන්නේ කුමක්ද කියා අපි පැහැදිලිව කියන්න අවශ්‍ය යි. මේ පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේ නමක් උපවාසය කරන විට අපේක්ෂකයන් දෙදෙනෙක් ලිපි දෙකක් ලබාදී තිබෙනවා. නොවැම්බර් 16 වනතුරු මෙම ගිවිසුම තමන් අත්සන් කරන්නේ නැහැ , පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත කරන සංවාදයකින් ඒ පිළිබඳව සලකා බලන්නේ කියා ඉන් සජිත් ප්‍රේමදාස මහතා ඉතා පැහැදිලිව කියා තිබෙනවා .

සජිත් ප්‍රේමදාස මහතා විසින් උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ එම ලිපියේ මෙසේ සඳහන් වෙනවා.“ ශ්‍රී ලංකා ආණ්ඩුව හා ඇමරිකා එක්සත් ජනපදයේ සහශ්‍ර අභියෝගතා සමාගම අතර , අත්සන් තැබීමට නියමිත වූ ගිවිසුම එළඹෙන ජනාධිපතිවරණ දිනය වූ නොවැම්බර් මස 16 වෙනිදින දක්වා කිසිදු ලෙසකින් අත්සන් නොතැබීමට ආණ්ඩුව තීරණය කර ඇති බව ඔබවහන්සේට ගෞරවයෙන් යුක්තව දන්වනු කැමැත්තෙමි. ජනාධිපතිවරණයෙන් පසුව හෝ එකී ගිවිසුම අත්සන් කරන්නේ නම් එසේ කරනු ලබන්නේ පාර්ලිමේන්තුව තුල හා ඉන් පිටත සංවාදයකින් පසුව බවද ගෞරවයෙන් ප්‍රකාශ කරන්නෙමි.

එමෙන්ම කිසිදු ලෙසකින් හෝ රටට අහිතකර ගිවිසුමකට මා විසින් කිසිදිනක නොඑළඹෙන බව ඔබ වනහන්සේට වගකීමෙන් යුතුව දැනුම්දෙන අතර මා කෙරෙහි ඒ සඳහා විශ්වාසය තබන ලෙසද ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

මෙම ගිවිසුම පිළිබඳ ඉදිරි කටයුතු සිදු කරනුයේ ඔබවහන්සේ සමඟත් ගෞරවනීය මහාසංඝරත්නය සමඟත් සාකච්ඡා කර අවවාද අනුශාසනා ලබාගැනීමෙන් පසුව බවද වැඩිදුරටත් ගෞරවපූර්වකව දන්වා සිටිමි . “

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලියුමේ තිබෙන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ දිනය සිට මැතිවරණ ප්‍රතිඵල නිකුත්කරන දිනය දක්වා මෙම ආණ්ඩුව විසින් අත්සන් තබන ලද සියලු ගිවිසුම් ජාතික ආරක්ෂාව සහ රටේස්වෛරීභාවය , ජාතික අවශ්‍යතාවයට යටත්ව නැවත සලකාබැලීමටත් , ජාතික වුවමනාවන් වලට පටහැනි නම් මේවා අහේසි කිරීමට කටයුතු කරන බවත් වගබලාගන්නවා කියලා යි. මෙහි පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්නවා කියලා නැහැ. ජනතාවගේ අනුමැතිය ගන්නවා කියලා නැහැ. මෙය අපේ ආර්ථිකයට හොඳයි කියා ශ්‍රැන්ග්‍රිලා හෝටලයට යුධ හමුදා මූලස්ථානය සින්නක්කරව ලබාදුන්නා වගේ , කොම්පඤ්ඤවීදියේ ඉඩම් ඉන්දියන් ටාටා සමාගමට නිකන් ලබාදුන්නා වගේ තමාගේ හිතුමනාපයට වැඩ කරනවා කියා කියලා තිබෙන්නේ. පාර්ලිමේන්තුවේ සම්මතර කරලා තමයි සිදු කරන්නේ කියා ප්‍රජාතන්ත්‍රවාදී විදිහට අපේ අපේක්ෂකයා ප්‍රකාශ කර තිබෙනවා.

මොකද ගෝඨාභය රාජපක්ෂ මහතාට එය සිදු කරන්නේ නැහැ කියා ප්‍රකාශ කරන්න බැහැ. එතුමාම මිලේනියම් චැලේන්ජ් වැඩසටහන ක්‍රියාත්මක කරනවා. එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 56 වැනි පිටුවේ , භෞතික අවකාශ භාවිතයේ නව ප්‍රවේශ කියා තිබෙනවා. රටේ ආර්ථික කොරිඩෝවක් හදනවා කියා තිබෙනවා. නාගරික ප්‍රතිව්‍යුහගතකරණය , සිව්මහා වාණිජ නගර , ජාතික නගර , පොකුරු නගර කියා සදහන් වෙනවා. මෙය තමයි මිලේනියම් චැලේන්ජ් එකේත් තියෙන්නේ. උදාහාරණ ලෙස කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල ප්‍රධාන මාර්ග කාර්යක්ෂමතාවට ගෙනඒම සඳහා නවීන ගමනාගමන කළමනාකරණයට දැනට භාවිතා වන මාර්ග ජාලය භෞතික හා තාක්ෂණික මට්ටමට ගෙන ඒම සිදුකරනවා කියා මිලේනියම් චැලේන්ජ් එකේ තිබෙනවා.

. ඒ අනුව මංසන්ධි 133ක් මේ ආකාරයට නවීකරණය වෙනවා.

මාර්ග තදබදය අඩු කර කැමරා පද්ධතියකින් නවීන තාක්ෂණ පද්ධතියක් සකස් කරනවා. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකෙන් අවිස්සාවේල්ල සිට පැල්මඩුල්ල දක්වා මාර්ගය සංවර්ධනය කරන්න මුදල් යෙදවෙනවා.

ඉඩම් ලබාදෙනවා කියනවා. ඒව් බොරු. එහෙම දෙයක් කොහේ හෝ තිබේ නම් ඒවා ඔප්පු කර පෙන්වන්න . මින් සිදුකරන්නේ ඩිජිටල්කරණය පමණ යි. හරි ආකාරව ඉඩම් ඔප්පු ලබාදීම යි. මෙය අපේ රටට පමණක් නොවේ.මෙය කළ තව බොහෝ රටවල් තිබෙනවා. මෙය ආධාරයක්. මෙම මුදල් සංවර්ධනයට භාවිතා කරලා නැත්තන් ඒ සඳහා දඩයක් ගෙවන්න වෙනවා.

මෙය කරන්න හේතුව වන්නේ වාතයට මුදාහරින කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය පිළිබඳව ලෝකයේ සියලුම රටවල් වලට කෝටාවක් තිබෙනවා. කෝටාව ඉක්මවා ගිය රටවල් තිබෙනවා. එයට හේතුව වී තිබෙන්නේ අධික රථවාහන තදබදය නිස යි.ඒ නිසා රථවාහන ගමනා ගමන පද්ධතිය වැඩිදියුණු කර මුදාහරින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අවම කිරීම මෙහි ප්‍රධාන ඉලක්කයක්. මෙම ගිවිසුමේ පළමු පියවර අවසන් කර දෙවැනි පියවරට ගමන් කරන සමහර රටවල් ද තිබෙනවා. මෙය කරන්නේ පාර්ලිමේන්තුවට දාලා අනුමත කරලා යි. මෙයින් ලංකාවේ එක බිම් අඟලක්වත් ඇමරිකාවට අයිතිවන්නේ නැහැ. මින් අපේ රටේ ස්වෛරීභාවයට හානියන් වනවා නම් අපි මෙය සිදු කරන්නේ නැහැ. මේ සඳහා පසුගිය ආණ්ඩුවද ඉල්ලුම් කර තිබෙනවා. 2014දී ඉල්ලුම් කළ එකට තමයි අද අපි මේ සාකච්ඡා සිදු කරන්නේ. මේ තිබෙන්නේත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටු අංක 56 තිබෙන දේවල්මයි. සිංගප්පූරුව , මැලේෂියාව වැනි රටවල සංවර්ධනය ගැන කතා කරනවා නම් ඒ රටවල ප්‍රවාහන පද්ධති , නාගරික් පද්ධති මේ රටට ගෙන එන්න අවශ්‍ය යි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම එම් සී සී ගිවිසුමට අත්සන් කරන්නේ නැත්තන් ඒ බව ප්‍රකාශ කරන්න .

ගෝඨාභය මහතාගේ කඳවුරේ අද ඊලාම් කොඩිය ඔසවපු අය සිටිනවා.

චන්දිමා කරුණාරත්න

නව අදහස දක්වන්න