පන්සලේ පල්ලියේ ඡන්ද වැඩ | දිනමිණ

පන්සලේ පල්ලියේ ඡන්ද වැඩ

ඡන්දය දීම යනු මූලික අයිතියකි.එහිදී වැදගත් වන්නේ ස්ව කැමැත්ත වන නමුත් ආගමික සංස්ථා මඟින් මැතිවරණය උදෙසා ජන විඥානය කෙරෙහි කරන විවිධාකාර මැදිහත්වීම් මෙවර මැතිවරණයේදී ඉහළ ගොස් ඇති බව පෙනේ.එකී තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි බලපාන්නේ කෙසේ ද යන්න විමසා බැලීමට අද දේශපාලන කෙලෝසියම වෙන්වේ.

මධ්‍යස්ථභාවය වඩාත්ම යහපත්

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි

විවිධ ආගමික නායකයන් විවිධාකාරයෙන් දේශපාලනයට සම්බන්ධ වී සිටිනවා. සමහර අය සෘජුවම සම්බන්ධ‍ වෙනවා. ඔවුන් දේශපාලන වේදිකාවලටත් ගොඩවෙනවා. ඊටත් එහා යමින් පාර්ලිමේන්තුව, ප්‍රාදේශීය සභාව නගරසභාව, පළාත් සභාවත් නියෝජනය කරනවා. සමහර පිරිස් සක්‍රීයව දේශපාලනය නොකළත් දේශපාලනය කරන අය පිටුපස යමින් දේශපාලනයට සම්බන්ධ වෙනවා.

දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ නොවන ඡන්දය පමණක් භාවිතා කරන ආගමික නායකයන්ද දකින්න පුළුවන්. ඒ වගේම මේ ක්‍රියාවලිය තුළ නැති ආගමානුකූලවම ජීවිතය හැඩගසාගත් පිරිසක්ද ඉන්නවා.

‍ශ්‍රී ලංකාව තුළ ආගමික නායකයන් ලෙස වැඩි වශයෙන් දැකිය හැක්කේ බෞද්ධ භික්ෂූන් වහන්සේලායි. මේ නිසා ඔවුන් දේශපාලනයට වැඩි වශයෙන් සම්බන්ධ බවත් අනෙකුත් ආගමික නායකයන් දේශපාලනයට සම්බන්ධ වන්නේ ඉතා සුළු පිරිසක් බවත් දකින්න පුළුවන්. සමහර ආගම්වල නායකයන් ලෙස පෙනී සිටින්නේ ගිහි ජීවිතය ගතකරන පිරිස් එනිසාම ඔවුන් වැඩි වශයෙන් දේශපාලනයට සම්න්ධ වූ බවත් දකින්න ලැබෙන්නේ නැහැ.

දේශපාලන ක්‍රියාවලියට ආගමික නායකයන් සම්බන්ධවීම හරහා ආගමානුකූල දිවිපෙවතට යම් බලපෑමක් වෙනවා. භික්ෂූත්වය තුළින් බලාපොරොත්තු වන්නේ තමන්ගේ විමුක්තිය සලසා ගැනීමයි. පැවිද්දා කටයුතු කළ යුත්තේ සංසාරයෙන් එතෙරවීම සඳහායි. ධර්මදේශනා පවත්වන්න, භාවනා පිළිබඳව ගිහියන් දැනුවත් කිරීම වගේම ධර්ම ප්‍රචාරය භික්ෂූන් වහන්සේලාගේ මූලිකම කාර්යයයි. එවැනි අවස්ථාවක භික්ෂුව දේශපාලනීකරණයෙන් ඈත්වීම වැදගත්. භික්ෂුවගේ භූමිකාව වඩාත් ඔපවත් වන්නේ ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ නොවීම හරහායි. එහෙත් එවැනි තත්ත්වයක් පවත්වාගෙන යන්නේ ඉතාම ස්වල්ප දෙනෙක් විතරයි.

භික්ෂූන්වහන්සේ සමාජ නායකයෙක්. එවැනි අයෙක් මධ්‍යස්ථ මත දරන්නෙක් වීම තුළින් සමාජයට සැබෑ නායකත්වයක් දිය හැකියි. අප නායකත්වය දෙන සමාජයේ විවිධ දේශපාලන දෘෂ්ටිවාද ඇති අය ඉන්නවා. මධ්‍යස්ථ මත දරන්නන් තුළ දැඩි දේශපාලන දෘෂ්ටිවාද නැහැ. මේ නිසා ආගමික නායකයන් හැමවිටම ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටීම ආගමික මතවාදයන්ටත් හොඳ තත්ත්වයක්.

දේශපාලනයට සම්බන්ධවන අයගේ බො‍හෝ බලාපොරොත්තු තිබෙනවා. ඒ බලාපොරොත්තු වෙනුවෙන් ඔවුන් වරින්වර පක්ෂ මාරුකරනවා. මේ අය ප්‍රතිලාභ ගන්නවා. කිසිදු ප්‍රතිලාභයක් නැතුව රට, ජාතිය ගැන සිතා දේශපාලන කටයුතුවලට සම්බන්ධ වන ආගමික නායකයන්ද සිටිනවා.

අතීතයේ භික්ෂූන් වහන්සේලා රාජ්‍ය පාලනයට සම්බන්ධ වුණා. රජවරු පත්කරගැනීම, පහකිරීම, ප්‍රතිපත්ති සම්පාදනය වැනි කාරණාවලදී මෙරට භික්ෂුවගේ දායකත්වය ලබා දුන්නා. දේශපාලනයට සම්බන්ධ භික්ෂූන් වහන්සේලාගේ විවිධ ක්‍රියාකාරකම් නිසා ඔවුන් පිළිබඳව විවිධ සමාජ කථිකාවක් ඇරඹුණා. සියල්ල දේශපාලනීකරණය වෙලා. කුමන ආණ්ඩු තිබුණත් වාසි ගන්න පිරිසක් ඉන්නවා. මේ නිසා ආගමික සංස්ථාවට සුවිශේෂී දෙයක් වෙන්නේ නැහැ.

ආගමික නායකයන් ආගමේ මූලික අරමුණෙන් බැහැරවීම අනුමත කරන්න බැහැ. සමස්ත සමාජයම පරිනාමයට පත්වෙනවා. වෙනස් වෙනවා. ඒ වෙනස් වීම ආගමික සංස්ථාවටත් පොදුයි. ඒ වෙනස්වීම වළක්වන්න බැහැ.

භික්ෂුව දේශපාලනයට නොගොස් පන්සල ශක්තිමත්ව තිබෙනවා නම් බොහෝ දේ රැකගන්න පුළුවන්. පන්සල දේශපාලනීකරණයටත් වාණිජකරණයටත් ලක්වෙලා. මේ හැම අංශයකින්ම ආගමික මූලික අරමුණෙන් පන්සල බැහැරට ගිහින්.

දුමින්ද සම්පත්

********************

සමාජ ගෞරවය රැකගන්න ඕන

පේරාදෙණිය විශ්විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය නන්දන විජේසිංහ

ආගම කියන්නේ සමාජ ආයතනයක්. ඒ විතරක් නෙමෙයි පවුල, අධ්‍යාපනය, මාධ්‍ය, රාජ්‍යය ආදී විවිධ සමාජ ආයතන බොහෝමයක් ති‍යනවා.මෙම සමාජ ආයතන සමාජ පැවැත්මට අත්‍යවශ්‍යයි. මේ සෑම සමාජ ආයතනයකටම යම් යම් කාර්යයභාර්ය පැවරී තියනවා. උදාහරණයක් වශයෙන් , පවුල කියන සමාජ ආයතනයට ප්‍රජනනය, අධ්‍යාපනය, සමාජානුයෝජන, ආර්ථික කටයුතු,පැවරී තියනවා.සෑම සමාජ ආයතනයකටම පැවරී තිබෙන කාර්යයන් නිසි පරිදි සිදු නොවනවානම් සමස්ත සමාජය පවත්වාගෙන යන්න බැරි වෙනවා.

සමස්ත සමාජය විසිනුත් ඒ ඒ සමාජ ආයතනවලට යම් කාර්යයක් සිදු වෙනවා, ඒ වාගේ ම ඒ ඒ සමාජ ආයතනවලිනුත් සමස්ත සමාජයට යම් කාර්යයක් සිදු වෙනවා. ඒ නිසා සමස්ත සමාජයත්, සමාජ ආයතනත් අතර එකිනෙක රඳාපවතින සමීප සම්බන්ධතාවයක් තියනවා.

මෙන්න මේ තත්ත්වයේ මත තමයි අපිට ආගමික නායකයන් ජනාධිපතිවරණය පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීම පිළිබඳ කථා කරන්න වෙන්නේ. මෙය අපිට විවිධ ප්‍රවේශයන්වලින් දකින්න පුළුවන්.

එකක් තමයි ආගමික නායකයන් සමස්ත සමාජයෙන් වෙන් කරලා ගන්න අපහසුකම . අනෙක් එක තමයි ආගමික නායකයන් සමාජ සංස්ථා සමඟ බැඳී සිටින නිසා ආගමික නායකයන්ට දේශපාලනය පිළිබඳ, සාමජමය කරුණූ පිළිබඳ තම අදහස් ඉදිරිපත් කිරීමට අයිතියක් තිබීම. අනිවාර්යයෙන්ම ආගමික නායකයන්ට ඒ සඳහා අයිතියක් මෙන් ම වගකීමකුත් තියනවා.

ඒ වුණත් සෑම ආගමික නායකයකුම තමන්ගේ ආගම්වල ප්‍රධාන ඉගැන්වීම්වලින් බැහැර නොවී මුලික ඉගැන්වීම් මත සිටිමින් තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න ඕන. එහෙම කළහොත් ආගමික නායකයන් කිසිදු අවස්ථාවක අභියෝගයකට ලක් වෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හරි දේ හරි විදිහටත්, වැරදි දේ වැරදි විදිහටත් දැකීම සුදුසු වනවා කියලයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පදනම් වු ජීවිතයක් ගත කිරීමට උපදෙස් දීලා තියනවා . අනෙක් ආගමික නායකයනුත් තමන්ගේ ආගමික ඉගැන්වීම් උකහා ගෙන අදහස් ප්‍රකාශ කරනවානම් සුදුසු යි .

ආගමික නායකයින් කියලා කියන්නේ සාමාන්‍ය මිනිසුන්ට වඩා ගරුත්වයකින් යුක්ත සාමාන්‍ය මිනිසුන්ටත් උපදේශයක් ලබා දීමට සිටින කොට්ඨාසයක්. ඒ වාගේ ම ඔවුන් සාමජය මෙහෙයවන්න,පාලනය කරන්න, සුවිශේෂී දැක්මක් සහ පෞර්ෂයක් පවතින ප්‍රජාවක්. ඒ නිසා ඔවුන් සාමාන්‍ය ජනතාවගේ සිතුම් පැතුම් ආකල්ප ගුණාත්මකභාවයෙන් වෙනස් කරන්න උපරිමයෙන් උත්සාහ ගන්න ඕන.

‍මේ රටේ හැමදාම සිද්ධ වෙන්නේ එක් පක්ෂයක් තවත් පක්ෂයකට චෝදනා කිරීම. සෑම පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් එකිනෙකාට චෝදනා කිරීම නිරන්තරයෙන් දකින්න ලැබෙනවා. මෙවැනි අවස්ථාවල ආගමික නායකයන් දේශපාලඥයින්ගේ ඉත්තෙක් වන්නේ නැතුව, කනවැල අල්ලගෙන දුවන්නන් වාලේ දුවන්නේ නැතුව , වන්දිභට්ටයන් ලෙස ක්‍රියා කරන්නේ නැතුව හරි දේ හරි විදිහටත්, වැරදි දේ වැරදි විදිහට තේරුම් ගෙන පරමාදර්ශීව කටයුතු කරන්න ඕන.

පොඩි පිහියක් ළඟ තියාගෙන අවශ්‍ය වේලාවට පළතුරු කපන්න පුළුවන් වුණත් සමහර අය ඒ පිහියෙන් තවත් කෙනෙක් විනාශ කරනවානම් ඒක වැරදියි. ඒ වාගේ තමයි ආගමික නායකයනුත් තමන්‍ට ලැබිලා තියන සමාජ ගෞරවය අමතක කර ජාතිවාදී , අන්තවාදී අදහස් ප්‍රකාශ කිරීම නවත්වන්න ඕන. එසේ සිදු නොකළොත් සමාජය විනාශයට පත් වෙනවා.

බොහෝ අපේක්ෂකයින් අද ගැන විතරක් හිතලා සරල ප්‍රතිඥා දෙනවා. ආගමික නායකයන් එහෙම වෙන්නේ නැතුව දූරදර්ශීව හිතලා අදහස් ප්‍රකාශ කරන්න ඕන.ආසියාව 2050, 2100 වෙන කොට ලෝකයේ බලවත්ම කලාපය බවට පත් වෙනවා. 2100 වෙන කොට මුළු ලෝකයේම ජනගහනය බිලියන 11 ක් වෙනවා. මේ කාරණා පිළිබඳවත් සිතට‍ අරගෙන ඉදිරියේදී ලෝකයේ ඇති විය හැකි වෙනස්කම් තේරුම් ගෙන එම වෙනස්වීම් සමඟ ප්‍රතිපත්ති සම්පාදනය කරන්න ඕන කෙ‍සේ ද යන්න පිළිබඳව අවබෝධ කර ගෙන ක්‍රියා කරන්න අවශ්‍යයි .

ආසියාවට , නායකත්වය දෙන්න තරම් සම්පත් ශ්‍රී ලංකාවේ තියෙනවා. භික්ෂූන් වහන්සේලා ඇතුළු අනෙකුත් ආගමික නායකයන් ශ්‍රී ලංකාවේ පවතින ස්වභාවික සම්පත් ,ආයුර්වේදය, ස්වභාවික ලස්සන , භාවනාව, යෝග, යනාදී ක්ෂේත්‍රයන් ගැන ගුණාත්මකභාවයෙන් යුක්තව ලංකාවේ දියුණූවට ඒවා යොදා ගන්නා ආකාරය ගැන සිතා බලා කටයුතු කරන්න ඕන. 2050 වෙන කොට අප්‍රිකාව ලෝකයේ දුක්ඛිත කලාපය බවට පත් වෙනවා. ශ්‍රී ලංකාවේ ආගමික නායකයින් ඇතුළු දේශපාලනඥයින් නිසි ප්‍රතිපත්තිවලට අනුගත වෙන්නේ නැතුව ක්‍රියා කළොත් අපේ රටට වෙන්නෙත් අප්‍රිකාවට වෙන දේමයි.ඒ නිසා ආගමික නායකයන් දූරදර්ශීව , ගුණාත්මකභාවයෙන් යුතුව පොදු දැක්මක් උදෙසා සත්භාවයෙන් යුතුව කටයුතු කරන්න ඕන .

මදාරා මුදලිගේ

********************

ආගමික නායකයන්ට දේශපාලනය එපා

මානව හිමිකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නන්දන මනතුංග පියතුමා

ආගමික නායකයින් දේශපාලනය කළ යුතු නැහැ.ඔවුන් කළ යුත්තේ දේශපාලනඥයින්ට මඟ පෙන්වීම පමණයි.එතනදී පක්ෂ පාට ගැන නොසලකා හරි දේ වෙනුවෙන් පෙනී සිටීම තමයි වැදගත්ම කාරණය.ආගම පදනම් කරගෙන ගොඩ නැගී තිබෙන සමාජ බලය තමන් කැමැති පක්ෂයක අපේක්ෂකයෙක් ජයග්‍රහණය කරවීම පිණිස යෙදවීමට කිසිදු ආගමික නායකයෙකුට සදාචාරාත්මක අයිතියක් නැහැ.ජනතාවගේ සිවිල් හා දේශපාලන අයිතීන් ආරක්ෂා කරන්නට මේ අපේක්ෂකයින් කොතෙක් දුරට කටයුතු කරන්නේද යන කාරනය ගැන අපි විමසිලිමත් විය යුතුයි.

ප්‍රජාතන්ත්‍රවාදී රටක් ගොඩනැගීම සඳහා නීතියේ ආධිපත්‍ය ආරක්ෂා වීම ඉතා වැදගත්.නීතිය ඉදිරියේ නිවැරදිකරුවන් බවට සනාථ නොවී තවමත් සැකකරුවන් ලෙස සිටින හෝ වැරදිකරුවන් බවට තීරණය කර දඬුවම් නියමව සිටින පුද්ගලයින්ට සමාව දී නිදහස් කරන බවට ජනපති වේදිකාවේ මතුවන කතා ඇත්තටම නීතියේ ආධිපත්‍යයට කරන තර්ජනයක්. සෑම පුරවැසියෙක්ම නීතියට ගරු කරන්න ඕන.සෑම පුරවැසියෙක්ම නීතිය ඉදිරියේ එක සමාන විය යුතුයි.

දහනව වන ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණය ස්වාධීනත්වය ඇති වුණා.ස්වාධින කොමිෂන් සභා මගින් රටට ප්‍රතිලාභ රැසක් ලැබුණා.අද මැතිවරණ කොමිෂන් සභාව මොන තරම් බලවත්ද කියන කාරණය අමුතුවෙන් පෙන්වා දීමට අවශ්‍ය නැහැ. තොරතුරු දැන ගැනීමේ පනත ජනතාව ලත් ජයග්‍රහණයක්.අපි ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ තව දුරටත් ඉදිරියට ගෙන යෑම තමයි අවශ්‍යතාව.මේවා ආපසු හරවන්න අවශ්‍යතාව තිබෙන්නේ බල ලෝභී දේශපාලනඥයින්ට විතරයි.

ජාති,ආගම් නියෝජනය වන සේ පක්ෂ පිහිටුවා ගැනීමත් වැරදියි. මේවා සම්පූර්ණයෙන්ම පෞද්ගලික න්‍යාය පත්‍ර මත ක්‍රියාත්මක වෙන ඒවා. මේ අය කොයි මොහොතක හෝ ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ එකතු වෙනවා. මේ ජාතිය හා ආගම පදනම් කරගත් පක්ෂ බිහිවෙලා තිබෙන්නේ ඒ පක්ෂවලට බලපෑම් කරමින් යම් යම් ඉල්ලීම් දිනා ගැනීමටයි. කුමන පක්ෂයකට කුමන ආගමකට අයත් වුවත් ආගමික නායකයන්ගේ මූලික කාර්ය භාරය සියලු ජනතාව වෙනුවෙන් පෙනී සිටීමයි.බෞද්ධ භික්ෂූන් වහන්සේලා බෞද්ධ ජනතාව වෙනුවෙනුත් කතෝලික පූජක තුමන්ලා කිතුණු බැතිමතුන් වෙනුනෙන් පෙනී සිටීමත් මවුලවීවරු මුස්ලිම් ජාතිකයින් වෙනුවෙන් පෙනී සිටීමත් මා අනුමත කරන්නේ නැහැ.ඒ ඒ ආගම්වල වතාවත් සිදු කිරීමේදී ආගම් වශයෙන් වෙන්ව කටයුතු කළත් පූජක පක්ෂයට රටේ ජනතාව ජාති හා ආගම් වශයෙන් බෙදා සලකන්න පුළුවන් කමක් නැහැ.අද එවැනි තත්ත්වයක් රටේ තිබෙන බව කනගාටුවෙන් වුවත් කිව යුතුයි.

රටේ ආරක්ෂාව තහවුරු කළ යුත්තේ එක ජාතියකට හෝ ආගමකට සරිලන ලෙස නොවෙයි.විශේෂයෙන් ආගමික නායකයින් ජනතාව දෙස බැලිය යුත්තේ ඔවුන් සැවොම මනුෂ්‍යයින්ය යන හැඟීමෙන්. අද විවිධ ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳව රටේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.මේවා අද ඊයේ ඇති කරගත් ගිවිසුම් නොවෙයි.පසුගිය ආණ්ඩු කාලයේ ඇති කරගත් ගිවිසුම් සම්බන්ධයෙන් ඒවාට මුල පිරූ උදවියම අද විවේචන ඉදිරිපත් කරනවා. මේ දේ කරන්නේ මැතිවරණයේදී වාසියක් ගන්න. ආගමික නායකයනුත් මේ උගුලේ අහුවෙනවා.එහෙම නැත්නම් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුකූලව වැඩ කරනවා.අපිට ජත්‍යන්තරයෙන් වෙන්වෙලා ජීවත් වෙන්න බැහැ.ලෝකය අද එකම මිනිස් පවුලක් බවට පත්වෙලා ඉවරයි. ඒ මිනිස් පවුල් තුළ හැමෝටම නිදහසේ මානව හිමිකම් ආරක්ෂා කර ගනිමින් ජීවත් වීමේ අයිතිය තිබෙනවා. ලංකාවේ විතරක් නොවෙයි ලෝකයේ සෑම රටකම ජනතාවට මේ අයිතිය තිබෙනවා. ජනතාව පත්කළ පාලකයින් බලයට පැමිණි පසු මානව හිමිකම් උල්ලංඝනය කරමින් මිනිස්සු ඝාතනය කරනවා නම් ජාත්‍යන්තරය ඊට මැදිහත් වෙනවා. මිනිස් පවුල තුළ සිදුවන අකටයුත්තක් ලෙස තමයි ඒ අය ඒක දකින්නේ.අපි හරි දේ කරනවා නම් ජාත්‍යන්තරය රටේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්නේ නැහැ. මේවා අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන.

මිනිස්සු අතුරුදන් වුණාම ඒ අයට මොකද වුණේ කියලා හොයන්න ඕන. ඒක සිද්ධ වෙන්නේ නැත්නම් ජාත්‍යන්තරය මැදිහත් වෙනවා. මැතිවරණ කාලයට මේ මාතෘකා අපිට අමුත්තක් නොවෙයි. අතුරුදන් වූවන් පිළිබඳ සොයන්න ජාත්‍යන්තරය උදව් කරන්න ආවම ඒවා කුමන්ත්‍රණ ලෙස අර්ථකතනය කරමින් ජනතාව නොමඟ යවන්න හදනවා.

අසේල කුරුළුවංශ

********************

ආගමික මැදිහත්වීමක් ඕනෑ

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක

දේශපාලනය හා ආගම අතර සම්බන්ධයක් නොතිබිය යුතුයි යනුවෙන් මතයක් සමාජයේ තිබෙනවා. නමුත් එය වැරදියි. ලෝක ඉතිහාසයේ දේශපාලන සහ ආගම එකිනෙකට බැඳී තිබූ බවට ඕනෑ තරම් උදාහරණ තිබෙනවා. මධ්‍යතන යුගයේ යුද්ධ හැඳින්වුණේ කුරුස යුද්ධ ලෙසින්. එයින් කියැවුණේ යුද්ධය වැනි කාරණාවකදීවත් ආගම වෙන්කොට තබන්නට නොහැකි වූ බවයි. ඩයනා කුමරිය සහ චාල්ස් කුමරු අතර විවාහය සම්බන්ධ කතාබහ කරන්නට මැදිහත් වුණේ ලන්ඩනයේ බිෂොප්වරයා. ඒ වගේම ඇමරිකාවේ ජනාධිපති වන්නට නම් කතෝලිකයකු විය යුතුයි.

ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි අගමැති වීම සඳහා ඔහු හින්දු ආගමිකයකු වීම බලපෑ බව සත්ගුරු නමැති යෝගාචාර්යවරයා කරුණු දක්වමින් සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආගමික ස්ථාන සමාජ ශෝධනය සඳහා පමණක් උරදෙන ආයතන නොවෙයි. පන්සල්, පල්ලි ආදී සියලු ආගමික ස්ථාන විවිධ සමාජ ක්‍රියාකාරකම්වල නියැලෙනවා. එසේම ඍජු හෝ වක්‍ර වශයෙන් ඔවුන් අදහස් දක්වනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාවක් වන්නේ කලක් යටත්ව සිට නිදහස ලැබූ රටවල්වල ජාතික ව්‍යාපාර ආරම්භ වන්නේ පීඩාව හේතුවෙන් අකර්මණ්‍ය වූ පැරණි ආගම් නැවත පුනර්ජීවනය කිරීමේ ස්වරූපයෙන්. ලංකාවේ යටත් විජිත යුගය තුළ දේශීය ආගම්වලට වැසියන් අපේක්ෂා කළ ස්ථානය නොලැබීම හේතුවෙන් ලංකාව කෙරෙහි ද ඉහත කාරණාව පොදු මුහුණුවරක් ගන්නවා. ඇතැමුන් මෙය නොවිය යුතු දෙයක් ලෙස දුටුවත් රටේ පවතින දේශපාලනික සංස්කෘතික ස්වභාවය අනුව එය වළක්වන්නට හැකියාවක් නැහැ. මේ සෑම කරුණකින් ම ගම්‍ය වන්නේ දේශපාලන සහ ආගම එකිනෙකට බැඳුණු සංසිද්ධීන් දෙකක් බවයි.

වර්තමාන ශ්‍රී ලාංකේය දේශපාලනය කෙරෙහි ආගමික බලපෑම ඉතාම තදින් ක්‍රියාත්මක වන බවක් පෙනෙනවා. ආගමික වශයෙන් නොගත්තත් භික්ෂූන් වහන්සේලා, පූජකතුමන්ලා ආදී ඕනෑම පුද්ගලයෙක් මෙරට පුරවැසියන් සහ ඡන්දදායකයන්. පුරවැසියාගේ කාර්යය ඉටු කිරීමට ඔවුන්ට අයිතියක් තිබෙනවා. ඔවුන් දේශපාලන ක්‍රියාවලියට මැදිහත් වන තරමට රටේ දේශපාලනික සංවර්ධනයක් සිදු වනවා. එය යහපත් ප්‍රවණතාවයක්. දේශපාලනික කටයුතු හා සම්බන්ධ වන්නට ඔවුන්ට කිසිදු තහනමක් නැහැ. ආගමික පූජක පක්ෂය සමාජය සමඟ කටයුතු කරන ආකාරය අනුව ඔවුන්ගේ හඬට හිමිවන වටිනාකම ඉහළ පහළ යන නමුත් ඔවුන්ගේ යම් යම් ප්‍රකාශනවලට සහ මැදිහත්වීමවලට සමාජ විපර්යාස සිදු කරන්නට තරම් බලයක් තිබෙනවා.

දේශපාලන සමාජ විද්‍යාවේ මැතිවරණයක් හැඳින්වෙන්නේ සැණකෙළියක් නොවේ නම් තොවිලයක් ලෙසයි. එහි තොවිලයක් යන්නෙහි අදහස වන්නේ මෙය අපට ඇති ඉච්ඡාභංගත්වය, කළකිරීම ආදී හැඟීම් නිදහසේ බැහැර කර දැමිය හැකි සමයක් බවයි. එසේම මෙහි සැණකෙළි ස්වරූපය ලෙස පෙන්වන්නේ රටේ නායකයන් අනුගාමිකයන් ආදී සියලු පිරිස් රටෙහි දියුණුව සහ පැවැත්ම පිළිබඳව තම තමන්ගේ මතවාදය ඉදිරිපත් කිරීමයි. මෙහිදී ආගමික නායකයින්ගේ මැදිහත්වීම ඉතාම වැදගත් සාධකයක්.

සියලු ආගමික නායකයන්ට ආගමික වශයෙන් පමණක් නොව දේශපාලනික සහ සාමාජීය වශයෙන් තම ආගම අදහන පිරිස් පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අයිතියක් තිබෙනවා. නමුත් එයම පිළිගත යුතුයි යනුවෙන් අදහස් කරන්නට කිසිවකුට බැහැ. එය සමාජ සංවර්ධනයේ එක් අවස්ථාවක් පමණයි. එකම ආගමක නායකයෝ සෑම දෙනාටම එක හා සමාන මතවාද නැහැ. ඇතැම් ප්‍රකාශ පිළිබඳව කනගාටු විය යුතු අවස්ථා ද නැතුවා නොවෙයි. කිසිවකුට යම් අදහසකට එකඟ වීමට හෝ විරුද්ධ වීමට බලපෑම් කරමින් අදහස් දක්වන්නට හැකියාවක් නැහැ. එම අදහස් විවෘතව විනිශ්චය කර බලා තීරණ ගැනීම ජනතාව සතු කාර්යභාරයක්. සමස්තයක් වශයෙන් දේශපාලනය කෙරෙහි ආගමික මැදිහත්වීමක් තිබිය යුතුයි. එය දේශපාලනය සමබර කරන සාධකයක්.

දිල්රූ ජයසේකර

********************

ආචාරධාර්මිකත්වයට මුල්තැන දෙන්න ඕන

කැලණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තක රණසිංහ

ආගම සහ දේශපාලනය අතර සම්බන්ධය ඈත අතීතයේ සිට දැකිය හැකියි. එය ලෝකයේ වගේම ලංකාවේත් විවිධාකාරයෙන් ක්‍රියාත්මක වී තිබෙනවා. තමාට අනුග්‍රහය දැක්වූ ආගමික පූජකයන්ට හා භික්ෂූන්ට විශේෂ අනුග්‍රහ දැක්වීමට රජවරු පෙළඹුණු බව මහාවංශයේ දැක්වෙන කුපික්කල තිස්ස හිමියන්ට විශේෂ අනුග්‍රහයක් දැක්වීම වැනි කාරණාවලින් පැහැදිලි වෙනවා. පසුව මහසෙන් රජු ථෙරවාදයට එරෙහිව වෙනත් භික්ෂුන්ට වරප්‍රසාද ලබා දෙමින් අනුග්‍රහ දැක්වූයේත් ආගමික හිතවත්කම් මුල් කර ගෙන.

ගෝලීය වශයෙන් අවධානය යොමු කළත් බොහෝ දේශපාලන පෙරළි සිදු වී ඇත්තේ ආගම හා සම්බන්ධවයි. මේ නිසා දේශපාලනය හා ආගම කිසිවිටෙක වෙන් කොට කතා කිරීම ප්‍රායෝගික නැහැ.

එහෙත් ආගම සහ ආගමික පූජකයන්, භික්ෂූන් ආදීන්ගේ මූලික වගකීම හා යුතුකම වන්නේ ආගමික ප්‍රතිපත්ති සහ එම ප්‍රතිපත්ති මත පදනම් වූ භාවිතය ඔස්සේ ජනතාව සමග කටයුතු කිරීම. එය දේශපාලනඥයාගේ භූමිකාවට වඩා වෙනස් භූමිකාවක්. මැතිවරණ සමයේ මෙම තත්ත්වය බරපතළ ලෙස ගැනීමට මේ දෙපිරිසටම සිදු වෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය හා විවෘතභාවය ගරු කරන පාලකයා කළ යුත්තේ ආගමික පාර්ශ්වයන් තම මැතිවරණ ව්‍යාපාර සඳහා භාවිත නොකිරීමයි. ආගමික පූජකයා හෝ භික්ෂුව කළ යුත්තේ ද තම අදහස් හා ආගම දියුණු මාදිලියකින් යුක්තව ජනතාවට කියනු මිස ආගමික පූජකභාවය හෝ භික්ෂුත්වය භාවිත කරමින් දේශපාලනය නොකිරීමයි. ආගමික පාර්ශ්වයට ජනතාවගේ ප්‍රශ්න, පාලකයන් පිළිබඳ විවේචන, පාලනය විය යුතු ආකාරය ගැන කතා කිරීමේ පූර්ණ නිදහස තිබෙනවා.

එය නැතැයි කිව නොහැකි ඔවුන්ද ජීවත් වන්නේ මේ සමාජයේ නිසයි. එහෙත් එය ප්‍රකාශ කිරීමේ දී දේශපාලනඥයන් හෝ වෙනත් පුරවැසියන් මෙන් ආගමික ආචාරධර්මයන් ගෙන් සහ විදග්ධභාවයෙන් තොරව කිසියම් පක්ෂයකට හෝ කණ්ඩායමකට ළැදිකම ඇති වන ආකාරයට එය ප්‍රකාශ කිරීම සහමුලින්ම වැරදියි. ඒ නිසා ඔවුන් එය භාවිත කළ යුත්තේ වඩාත් මානූෂීය,විදග්ධ හා ආචාරධාර්මික ප්‍රවේශයකින් යුක්තවයි. මනුෂ්‍යත්වය, ප්‍රජාතන්ත්‍රවාදය සහ අවිහිංසාව මුල් කොට ගත් දේශපාලනයක් වෙනුවෙන් කටයුතු කිරීම සෑම ආගමකම මූලධර්ම සමග එකඟයි. ප්‍රචණ්ඩත්වය, හොර මැරකම වර්ධනය කරන බලහත්කාරයට ළැදි වන කිසියම් දේශපාලනයක් ෙවනුෙවන්ම කිසිම ආගමික කණ්ඩායමකට හෝ නියෝජනයකට පෙනී සිටිය නොහැකියි. එසේ පෙනී සිටිනවා නම් එය ආගමික ආචාරධර්ම හා එම ආගමෙහි මූලධර්ම මුළුමණින්ම උල්ලංඝණය කරන්නා වූ තත්ත්වයක්.

ලංකාවේ තිබෙන භයානකම තත්ත්වය ආචාරධාර්මිකභාවයෙන් විනිර්මුක්ත ආගමික පිරිස් යම් බලතල ධන ධාන්‍ය තනතුරු උදෙසා නිර්ලජ්ජිතව පෙනී සිටීමයි. එය දේශපාලනයේ නිරත වන සියලු පුරවැසියන් හා නායකයන් විසින් බැරෑරුම් ලෙස හෙළා දැකිය යුතුයි. ඒ වගේම කිසියම් ආකාරයක දේශපාලන නායකයකු එවැනි අල්ලස් දීම සඳහා තමා බලයට පත් කරන්නට ආගමික පාර්ශ්වය මෙහෙය වන්නේ නම් එයද පොදු ජනතාවගේ පිළිකුලට ලක් විය යුතුයි.

ඒ නිසා මේ දෙපාර්ශ්වයම තමා ගේ සීමා තුළ සිට දේශපාලනික මැදිහත්වීම් කරන්නේ නම් වඩාත් ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩ නැගෙන බව විශ්වාසයි.

ක්‍රිසන්ති විතාරණ

 

නව අදහස දක්වන්න