දේශප්‍රේමීන්ගේ උම්බෑව...! | දිනමිණ


 

දේශප්‍රේමීන්ගේ උම්බෑව...!

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්. සී. සී. ආධාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක් රට තුළ පවතී. එය කෙතරම් ද යත්; ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් ඊට එරෙහි ව උපවාසයක් ද ආරම්භ කළහ. කරුණු දැක්වීමෙන් පසු උපවාසය නතර වී ඇතත්; උක්ත ආධාර ව්‍යාපෘතිය පිළිබඳ විශාල බියක් ජනතාව තුළ පවතී. එම බිය ඇතිකරන ලද්දක් බව ඉතා පැහැදිලි ය. අමෙරිකාව මේ ව්‍යාපෘතිය ඔස්සේ රටට බලපෑම් සිදුකරන බව ද, ශ්‍රී ලංකාවේ ඉඩම් කොල්ලකෑමට සැලැසුම් කරන බව ද ප්‍රචාරය වී ඇත. ආධාර ව්‍යාපෘතියේ ස්වාභාවය, එහි ප්‍රතිලාභ හා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන කිසිවක් ම නො දන්නා ජනතාව දේශපාලකයන්ගේ උපාය මාර්ගවලට මුළා වී ඇති බවක් පෙනෙන්නට තිබේ.

රටේ පවතින උණුසුම් තත්ත්වය සැලැකිල්ලට ගත්; ශ්‍රී ලංකාවේ අමෙරිකන් තානාපති කාර්යාලය උක්ත කරුණට අදාළ පැහැදිලි කිරීමක් සහිත ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව අමෙරිකාව ශ්‍රී ලංකාවට අයත් කිසිදු භූමියක් අත්පත් කරගැනීමට සැලැසුම් කර නැත. එම වැඩසටහන අමෙරිකන් ආධාර ව්‍යාපෘතියක් වන අතර එහි ක්‍රියාකාරීත්වය, පාලනය හා කළමනාකරණය ශ්‍රී ලංකා රජය සතු වෙයි. අමෙරිකාව සිදුකරන්නේ ආධාර මුදල ලබාදීම පමණි. ආසියාවේ රටවල් කිහිපයකට ම ඉහත ආධාර මුදල ලබා දී ඇත. ඉන්දුනීසියාව හා ආර්මේනියාව එලෙස අමෙරිකන් ආධාර ලබාගත් රටවල් දෙකකි. එම රටවල ඉඩම් හෝ වෙනත් දේවල් හෝ අමෙරිකාව ලබාගෙන නැත.

එම්. සී. සී. ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කරන හෙළිදරව්ව ඉතා වැදගත් ය. ඊට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ආණ්ඩු කාලය තුළ දී ඉහත ආධාර මුදල ලබාගැනීමට බලවත් උත්සාහයක් දරා ඇත. එවකට විදේශ අමාත්‍ය ධුරය දැරූ මංගල සමරවීර මහතා ආධාර මුදල ලබාගැනීම සඳහා මැදිහත් වූ රාජ්‍යතාන්ත්‍රිකයෙකි. එහෙත් එදා රටේ පැවැති දූෂණය - භීෂණය හා මානව හිමිකම් කඩකිරීම් නිසා ආධාර මුදල ලබාදීම නතර කර ඇත. දිගින් - දිගට ම සිදු වූ මිනිස් ඝාතන හා අතුරුදන් කිරීම් නිසා ජාත්‍යන්තර වශයෙන් චෝදනා රැසක් ශ්‍රී ලංකාවට එල්ල වී තිබිණි. මේ තත්ත්වය පිළිබඳ පුළුල් වැටහීමක් සාමාන්‍ය ජනතාවට නැත.

මානව හිමිකම් කඩ කරන හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා නො කරන රටවලට අමෙරිකන් ආධාර ලැබෙන්නේ නැත. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණක් නො ව; ආසියානු සංවර්ධන බැංකුව පවා ණය හා ආධාර ලබාදීමේ දී ඉහත කරුණු සැලැකිල්ලට ගනී. මහින්ද රාජපක්ෂ පාලන සමයේ අහිමි වූ ආධාර මුදල පිළිබඳ නැවත සලකා බැලීමක් සිදුවන්නේ රටේ මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වීමත් සමඟ ය. මේ සිදුවීම දෙස බලන විට කරුණු කිහිපයක් පැහැදිලි වෙයි. එක; කිසිදු පාලකයකු ඉහත ආධාර මුදල ප්‍රතික්ෂේප කරන්නේ නැති බව ය. දෙක; ඇතැම් නායකයන්ගේ රාජ්‍ය පාලනය ජාත්‍යන්තර වශයෙන් ප්‍රතික්ෂේප වන බව ය. තුන; මේ ව්‍යාපෘතිය ජනාධිපතිවරණය තුළ සිංහල ඡන්ද කොල්ලකෑමට යොදාගන්නා උපායමාර්ගයක් ලෙස පවතින බව ය.

දේශප්‍රේමීන්ගේ දේශපාලන වේදිකා තුළ අලෙවි වන ප්‍රධාන දේවල් කිහිපයක් තිබේ. ජාතික ආරක්ෂාව, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව හා රටේ ඉඩම් විකිණීම ඒ අතර ප්‍රධාන වෙයි. මේවා බේරා ගැනීම සඳහා ඇති අවසන් අවස්ථාව දැන් උදා වී ඇති බව ද කියති. කොළඹ වටිනා ඉඩම් බලහත්කාරයෙන් ලබාගෙන චීනයට හා ඉන්දියාවට අලෙවි කළෝ කවුරුදැ’යි; ජනතාව ප්‍රශ්න කරන්නේ නැත. ජනතාවට ඒ ගැන හරි වැටහීමක් නැති බව ද පෙනී යයි. Òඑට්කාÓ ගිවිසුම, ÒසෝෆාÓ ගිවිසුම ගැන කිසිවෙක් නො විමසති. රාජ්‍යයන් අතර සිදුවන ආර්ථික ගිවිසුම් ගැන ජනතාවට හරි වැටහීමක් නැත. එහි ප්‍රයෝජනය දේ‍ශප්‍රේමීන් ලබාගන්නේ ඉතා නිර්ලජ්ජිත ලෙස ය. ජනතාවගේ අනවබෝධය ව්‍යාජ දේශප්‍රේමීන්ගේ වාසියට හේතුවක් වී ඇත.

එම්. සී. සී. ගිවිසුම ඔස්සේ රටට ලැබෙන්නට යන්නේ අමෙරිකන් ඩොලර් මිලියන හාරසිය අසූවක මුදලකි. එය ශ්‍රී ලංකා මුදලින් ගතහොත්; රුපියල් දසලක්ෂ අසූඅටදාහකට වැඩි ය. මේ පරිත්‍යාගය ලැබෙන්නේ බස්නාහිර පළාතේ මාර්ග වැඩිදියුණු කිරීම, පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීම, කොළඹට සම්බන්ධ කළ හැකි තවත් ප්‍රධාන නගර හතක් සංවර්ධනය කිරීම හා ශ්‍රී ලංකාවේ ඉඩම් අයිතිය පිළිබඳ නිරවුල්භාවයක් ඇතිකිරීම යන වැඩසටහන් සඳහා ය. ඒ මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම ව්‍යාපෘතියේ මූලික අරමුණ ලෙස පවතී. ශ්‍රී ලංකාව වැනි දුප්පත් රටක් මෙබඳු ආධාර මුදලක් ‍අහිමි කරගන්නේ නම්; එය බරපතළ මෝඩකමකි.

ඉහත ව්‍යාපෘති ක්‍රියාත්මක වුවහොත්; කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වාහන තදබදයට ස්ථාවර විසැඳුමක් ලැබෙනු ඇත. ඒ මඟින් වායු දූෂණය අවම වනු ඇත. ශ්‍රම හමුදාවේ වැඩ කරන කාලය දීර්ඝ වනු ඇත. පොදු ප්‍රවාහනය දියුණුවීම නිසා රටේ නිෂ්පාදන සාඵල්‍යතාව ඉහළ යනු ඇත. ඉඩම් ගැටලු ශ්‍රී ලංකාවේ සංවර්ධන වේගය අඩාල කරන ප්‍රධාන හේතුවකි. ඊට විසැඳුමක් ‍ලබාදීමෙන් සාමාන්‍ය ජනතාවගේ කාර්ය - සාධනය ඉහළ යනු ඇත. බස්නාහිර පළාත විධිමත් ආර්ථික කලාපයක් බවට පරිවර්තනය වීම නිසා ආයෝජකයන්ගේ ආකර්ෂණය ශ්‍රී ලංකාව දෙසට යොමු වනු ඇත. අමෙරිකාව පෙන්වා දෙන අන්දමට ව්‍යාපෘතිය නිසා ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් දසලක්ෂ එකොළහකට මේ මඟින් සෘජු ප්‍රතිලාභ ලැබීමට නියමිත ය.

සුව සැරිය උදෙසා ඉන්දියාව ලබා දුන් ගිලන් රථ සේවය නිසා රටට රැකියා අහිමිවන බව ද, මෙරට වෛද්‍යවරුන්ට පවා එය ගැටලුවක් වන බව ද, ‍ඉන්දියාවේ ඉලක්කය ශ්‍රී ලංකාව සූරාකෑම බව ද ව්‍යාජ දේශප්‍රේමීහු කියා සිටියෝ ය. රජය විරෝධතා ගැන නොසළකා වැඩසටහන ක්‍රියාත්මක කළේ ය. ඉහත කී කිසි දෙයක් සිදු වී නැත. අද වන විට එම ගිලන් රථ සේවය ජනතාවගේ ආදරයට ලක් වී ඇත. දේශප්‍රේමීන් ද එහි සේවා ලබාගන්නා බව වාර්තා වී ඇත. මිලේනියම් චැලේන්ජ් සහයෝගීතා ව්‍යාපෘතිය ද ‍එලෙස ජනතාවට සහන සලසන වැඩසටහනකි. ව්‍යාජ දේශප්‍රේමීන්ගේ උම්බෑවට බියෙන් එය අහිමි කරගත යුතු නැත.

නව අදහස දක්වන්න