සියලු ජාතීන්ට සුරක‍්ෂිතව ජීවත් විය හැකි පරිසරය කඩිනමින් ගොඩනඟනවා | දිනමිණ

සියලු ජාතීන්ට සුරක‍්ෂිතව ජීවත් විය හැකි පරිසරය කඩිනමින් ගොඩනඟනවා

සිංහල, දමිළ හා මුස්ලිම් ජනතාවට නිදහසේ රැකියාවේ නිරතවීමට, ආගම් ඇදහීමට මෙන්ම එකි නෙකා අතර සහජීවනයෙන් කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය කඩිනමින් ගොඩනඟන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ අරමුණින් මතුගම, අගලවත්ත, බේරුවල සහ කලවාන ප්‍රදේශයන්හි පැවැති ජන රැලි අමතමින් රාජපක්ෂ මහතා එසේ ප්‍රකාශ කළේය.

එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

ඇතැම් පිරිස් ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ඉල්ලා සිටිනවා. රට නඟන සෞභාග්‍යයේ දැක්ම අපි ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය වසර ගණනාව තුළ රටේ විද්වතුන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් සකස් කළ වැඩසටහනක් ලෙස අපි ප්‍රතිපත්ති ප්‍රකාශය සැළසුම් කර තිබෙන්නේ. රටේ ස්වෛරීභාවය, ජනතාවගේ ආරක්ෂාව, තහවුරු කරන්න අප ප්‍රතිඥා දී තිබෙනවා. රටේ ආර්ථීකය ගොඩනඟන්න අපි පැහැදිලි වැඩසටහනක් ඉදිරිපත් කර තිබෙනවා. ජනතා කේන්ද්‍රීය වැඩසටහනක් යෝජනා කර තිබෙනවා. රටේ සෑම කෙනෙක්ගේම ජීවන තත්ත්වය නඟාසිටුවීමට අපි ආර්ථීක සැළැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. වසර තිහක යුද්ධයක් අපි කෙටි කාලයකින් අවසන් කළා. රටට සාමය උදා කළා. ඒ තුළින් විශාල සංවර්ධනයක් රටේ ඇති කරන්න හැකියාව ලැබුණා. දෙස් විදෙස් ආයෝජකයන් දිරි ගන්වන්නට කටයුතු කළා. අද කොළඹ නගරයේ දක්නට ලැබෙන සියලුම ව්‍යාපෘති ඇති කළේ මහින්ද රාජපක‍්ෂ ආණ්ඩුව. ආසියාවේ සීඝ්‍රයෙන්ම දියුණු වන නගරය කොළඹ බවට පත් කරන්නට හැකි වුණා. මේ දියුණුව නිසා ව්‍යවසාකයන්ට හොඳ අවස්ථාවක් ලැබුණා. රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය කළා. නමුත් එ්වා මේ වන විට නතර වෙලා. එදා බුද්ධි අංශය, පොලිසිය, ආරක‍්ෂක හමුදා ශක්තිමත් කළා. සම්බන්ධීකරණය කළා. විශේෂයෙන්ම බුද්ධි අංශවලට පුහුණුවක් දුන්නා. අපි ත්‍රස්තවාදය නැති කරන්න ආරක‍්ෂක අංශ යොදා ගත්තා.

එදා අලුත්ගම සිද්ධිය ක‍්ෂණිකව පාලනය කළා. විනාශ වූ දේපළ හැදුවා. අපි දෙමළ, මුස්ලිම් ජාතීන්ට විරුද්ධව කටයුතු කළේ නැහැ. එදා ගෙන ගිය බොරු ප්‍රචාර දැනුත් ගෙන යනවා. ආයෝජකයන්ට සංචාරකයන්ට අප රට කෙරෙහි අද විශ්වාසයක් නැහැ. අපි සංචාරක ව්‍යාපාරය ගොඩනඟන්න විශේෂ අවධානයක් යොමු කරනවා. රටේ යළිත් සියලු ජාතීන්ට සුරක‍්ෂිත ලෙස ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරනවා. යළිත් ත්‍රස්තවාදයකට, අන්තවාදයකට ඉඩක් නොතබන බවට පොරොන්දු වෙනවා. පන්සලට, කෝවිලට, පල්ලියට බියෙන් යන තත්ත්වය නැති කරනවා.

රටක ආරක‍්ෂාව තහවුරු වන විට, නිවැරදි නායකයෙක් ඉන්න විට රට ස්ථාවර වෙනවා. ආයෝජකයන් එනවා. සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් මෙන්ම ආරක‍්ෂාව ද ලබාදිය යුතුයි. ආගමන විගමන ක්‍රමවේදය පහසු කළ යුතුයි. රජය මැදිහත් වී මේ කාර්යයන් කළ යුතුයි. මිලියන හතක සංචාරකයන් පිරිසක් මේ රටට ගෙන්වන්න අවශ්‍යයි. මැණික් කර්මාන්තයෙන් හොඳ රැකියා අවස්ථා බිහි කළ හැකියි. විදේශ විනිමයක් ගෙනෙන කේෂ්ත්‍රයක්. සංකීර්ණ බදු ක්‍රමය නිසා ව්‍යාපාර කඩා වැටිලා. බොහෝ අයට බදු ගෙවන්න හැකියාවක් නැහැ. අපේ ආණ්ඩුවක් යටතේ බදු ක්‍රමය සරල කරනවා. වැට් බද්ද සියයට 8 ක් දක්වා අඩු කරනවා. නිෂ්පාදකයන්, ව්‍යාපාරිකයන්, ආයෝජකයන් දිරිගන්වන්න කටයුතු කරමින් ආර්ථීකය නඟාසිටුවනවා. සරල බදු ක්‍රමයක් තිබෙන විට බදු ගෙවන්න පුළුවන්. දූෂණයක් නැහැ. ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් විශාල ආයෝජනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්දියාව, චීනය අද ඉහළට ගිහින් තිබෙන්නේ තාකේෂණය අතින් ඉහළ නිසයි. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යන්නේ සීමිත පිරිසක්. සමත්වන සියලු තරුණ තරුණියන්ව විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරනවා. මීට සමගාමීව තරුණ තරුණියන්ට පාඨමාලා හඳුන්වා දී, වෘත්තීය පුහුණුව මගින් වේතනයක් ලැඛෙන රැකියා අවස්ථා උදාකරනවා. පෞද්ගලික අංශයේ ද සහාය මේ සඳහා ලබා ගන්නවා. බොරු ප්‍රචාරවලට රැවටෙන්නේ නැතිව අපේ ජයග්‍රහණයේ කොටස්කරුවන් වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා-

වසර ගණනක් තිස්සේ පැවැත් වූ පිංකමත් මේ අය නතර කරන්න හදනවා. නීතියක් රටේ හදන්නේ කාගේ වාසියටද? දැන් මැතිවරණයක් ඇවිත් තිබෙනවා. ඔබේ ඡන්දය පොහොට්ටුවට ලබා දෙන්න.

පාස්කු ප්‍රහාරයෙන් පසුව කඩා වැටී තිබෙන සංචාරක ඇතුළු සෑම කෂේත්‍රයක්ම නඟාසිටුවන්න කටයුතු කරනවා. මුළු රටම විනාශ කරන, ජාතීන් අතර භේද ඇති කරන තත්ත්වය නැති කරන්න ගෝඨාභය රාජපක‍්ෂ මහතා ජනාධිපති කරවන්න. බේරුවල සිද්ධිය ගැන කතා කළාට ගිංතොට, අම්පාර, දිගන සිද්ධීන් ගැන කතා කරන්නේ නැහැ. එදා පාද යාත්‍රා යන විට බේරුවලින් තමයි අපිට ආහාර ලබා දුන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත ද සිල්වා මහතා-

එදා ජනාධිපතිවරණයේ දී අපට වැරදුනා. ජාතිවාදීන්ගේ කුමන්ත්‍රණයට හසුවුණා. ඒක නිසා අපට පරාජය වෙන්න සිදුවුණා. බේරුවල ආසනය දිනලා පෙන්වන්න කියා රාජිතට අභියෝග කරනවා. නැවත බේරුවල සිංහල මුස්ලිම් ජනතාව රාජිත වැනි කුමන්ත්‍රණකරුවන්ට හසුවන්නේ නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, බේරුවල හිටපු නගරාධිපති මිල්ෆර් කෆූර් මහත්වරු ද අදහස් දැක්වූහ.

ධනුෂ්ක ගොඩකුඹුර, නුවන් කොඩිකාර සහ බේරුවල විශේෂ කළුතර සිට 
ඡායාරූපය- විමල් කරුණාතිලක

නව අදහස දක්වන්න