විදේශ දුම්වැටි ළග තබාගත් චීන කතකට 7,50.000ක දඩයක් | දිනමිණ


 

විදේශ දුම්වැටි ළග තබාගත් චීන කතකට 7,50.000ක දඩයක්

සුභාෂිණී සේනානායක

විදේශ දුම්වැටි 7600ක් අනවසරයෙන් තම සන්තකයේ තබාගත් චීන ජාතික කාන්තාවකට රුපියල් හත්ලක්ෂ පනස් දහසක දඩයක් ගෙවන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ 08 නියෝග කළේය.

මහේස්ත්‍රාත් වරයා මේ නියෝගය සිදු කළේ කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ චීන ජාතික නයිජිත් නැමැති විදේශ කාන්තාවකට වේ.

මෙම කාන්තාව අවස්ථා කිහිපයකදී විදේශ දුම්වැටි 6000ක් 3700ක් සන්තකයේ තබා ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව  වරදකරු බව පිළිගැනීමෙන් පසුව  රුපියල් 75000ක් සහ රුපියල් 35000ක් බැගින් දඩ මුදල් අයකර ගෙන ඇති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත් වරයා මෙවැනි වැරදි සිදු කිරීමට විදේශ ජාතික කාන්තාව පෙළඹීම සැලකිල්ලට ගෙන මෙම දඩ මුදල් නියම කරන බව දන්වා සිටියේය.

දඩ මුදල් නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිරදඩුවමක්ද මහේස්ත්‍රාත් වරයා නියෝග කළ අතර එම කාන්තාවට නිකුත් කර ඇති වරෙන්තුව ආපසු කදවන ලෙස නියෝග කළේය.

සැකකාර විදේශ කාන්තාව වෙනුවෙන් නිතිඥ සුදර්ශනී ගුණරත්න මහත්මිය පෙනී සිටි අතර මෙම කාන්තාව එම දුම්වැටි තම පවුලේ භාවිතය සදහා තබාගෙන ඇති බව අධිකරණයට දන්වා සිටියේය.

එම ඉල්ලීම මහේස්ත්‍රාත් වරයා ප්‍රතික්ෂේප කරමින් මෙවැනි ක්‍රියා සිදු වීම වළක්වා ගැනීම පිණිස ඉහළ දඩ මුදලක් නියම කරන බව දන්වා සිටියේය.

එමෙන්ම මෙම කාන්තාව එම දුම්වැටි බාවිතයට ගෙනා බව දැනුම් දුන් පසුව ඇය සතුව තිබු දුම්වැටි අත්අඩංගුවට නොගෙන සිටියේ නම් එම කාන්තාව එම දුම්වැටි පානය කිරිම තුළින් මේ වන විට මරණයට පවා පත්වන්නට ඉඩ තිබු බව මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.

එම කාන්තාවගේ ඇගි සළකුණු ලබා ගන්නා ලෙස පොලිසියට මහේස්ත්‍රාත්වරයා නිවෝග කළ අතර දඩ ගෙවීමෙන් අනතුරුව චීන ජාතික  කාන්තාව  අධිකරණයෙන් නික්ම ගියාය.

මෑත කාලයේ විදේශ දුම්වැටි සඳහා පැනවූ වැඩිම දඩ මුදල මෙම දඩ මුදල වේ.

නව අදහස දක්වන්න