ලොට් පෝලිෂ් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ වැඩ අරඹයි | දිනමිණ


 

ලොට් පෝලිෂ් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ වැඩ අරඹයි

ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් ඇරැඹූ ලොට් පෝලිෂ් ගුවන් සේවයේ ප්‍රථම සෘජු ගුවන් ගමන පසුගිය දා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟාවිය. වෝර්සෝ සිට ගමන් ඇරැඹූ ලොට් පෝලිෂ් ගුවන් සේවයේ පළමු ගුවන් යානයෙන් සම්භාවනීය අමුත්තන්, නිවාඩු සැලසුම් කරන්නන්, මාධ්‍යවේදීන් සහ පෝලන්ත වෙළෙඳ නියෝජිතයන් රැසක් ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය. ලොට් පෝලිෂ් ගුවන් සේවයේ දේශීය විකුණුම් නියෝජිතයා ලෙස හේලීස් ඒවියේෂන් සමාගම සහයෝගීත්වයෙන් කටයුතු කරන අතර, ගුවන් සේවය 2020 මාර්තු දක්වා සතියකට ගුවන් ගමන් වාර තුනක් සිදු කිරීමට නියමිතය. සංචාරක කාලසීමාවේ දී යුරෝපා සංචාරකයන්ට ශ්‍රී ලංකාව අංක එකේ ගමනාන්තය බවට පත් කිරීම මේ තුළින් සිදුවේ. මේ පිළිබඳ අදහස් දැක් වූ ලොට් පෝලිෂ් ගුවන් සේවයේ ප්‍රධාන වාණිජ නිලධාරී මයිකල් ෆිජොට් මහතා, ‘ලොට් පෝලිෂ් ගුවන් සේවයේ අප පුළුල් සංචාරක කර්මාන්තයක් සඳහා සෘජු ගුවන් ගමන් අරඹමින් අපගේ දේශීය හවුල්කරුවන් හා එක්වන්නට ලැබීම සතුටට කරුණක්. ආසියාවේ නැරැඹිය යුතුම ස්ථානයක් වන ශ්‍රී ලංකාව වෙත සතියකට සෘජු ගුවන් ගමන් වාර තුනක් අප සැලසුම් කර තිබෙන අතර, මෙය සංචාරකයන්ගේ පැමිණීම වැඩිවීමට හේතුවක් වනු ඇතැයි අප බලාපොරොත්තු වනවා. එමෙන්ම ශ්‍රී ලාංකිකයන්ට ද පෝලන්තයට හෝ වෙනත් ඕනෑම යුරෝපා රටකට මෙන්ම අප විසින් ගුවන් සේවා සපයනු ලබන අනෙකුත් ඕනෑම රටකට සුවපහසුවෙන් යෑමට අපගේ ගමනාන්ත රැසක් ඇති ලොට් පෝලිෂ් ගුවන් සේවය අවස්ථාව උදා කර තිබෙනවා.‘

ලොට් පෝලිෂ් තම ගුවන් සේවය සඳහා බෝයිං 787 ඩ්‍රීම් ලයිනර් වැනි පුළුල් බඳ සහිත ගුවන් යානා භාවිතයට ගනු ලබයි. සෑම ගුවන් මගියකුටම තමන්ගේ කැමැත්ත පරිදි තෝරා ගත හැකි පන්ති තුනකින් ගුවන් යානා සකසා තිබේ. ව්‍යාපාරික පන්තිය, දිග හැරිය හැකි ආසන සහිතව සකසා තිබෙන අතර, සුපිරි අවන්හලකින් සමන්විත වෙයි premium economy පන්තිය විශාල සුව පහසු ආසනවලින් සමන්විත වන අතර, පාද සහ කලවා සුවපහසුව තබා යා හැකි පරිදි ආසන සැලසුම් කර තිබේ. එමෙන්ම කොක්ටේල් මේසයකින් සහ හොඳම ආහාරපාන ලැයිස්තුවකින් ද මේ පන්තිය සමන්විත වෙයි. ලොට් ඉකොනොමි පන්තිය විනෝදාස්වාදය සඳහා වෙන් වූ රූපවාහිනි තිරයකින් සහ usb කෙවෙනියකින් සමන්විත වන අතර, ගමන පුරා නැවුම් විවිධ වූ ආහාර පාන රසවිඳීමේ අවස්ථාව මගීන්ට ලබා දෙයි. තම නවීනතම ගුවන් යානා භාවිත කරමින් 2018 වර්ෂයේ දී බිලියනයකට අධික මගීන් පිරිසකට තම ගුවන් සේවය සපයා ඇති අතර, 2019 වසර අවසන් වන විට බිලියන 10ක ඉලක්කයක් සපුරාලීමට ලොට් පෝලිෂ් බලාපොරොත්තු වෙයි.

දිල්රූ ජයසේකර 
ඡායාරූපය සුලෝචන ගමගේ 

නව අදහස දක්වන්න