පොහොට්ටුවට 43% ඉක්මවන්න බැහැ | දිනමිණ


 

පොහොට්ටුවට 43% ඉක්මවන්න බැහැ

නීතිඥ ශිරාල් ලක්තිලක

ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රතිඵල කෙසේ වනු ඇතිද යන වග, පසුගිය අවුරුදු පහ තුළ යහපාලන ආණ්ඩුව සිය ඉලක්ක කෙතෙක් දුරට සපුරා ගත්තේද යන්න ඇතුළු තවත් කාලීන දේශපාලන කරුණු පිළිබඳ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සමග කළ සංවාදය.

- ගොඨාභයගේ කැම්පේන් එක එක තැන හිර වෙලා 
- ශ්‍රිලනිප ඡන්ද 75% ක් හංසයාට 
- සජිත් සිංහල ඡන්ද ලොකු කුට්ටියක් දිනනවා 
- සජිත්ට ඡන්ද පදනමක් වෙනමම තියෙනවා         
- චන්ද්‍රිකා, වෙල්ගම පොහොට්ටුවට අභියෝගයක් 
- උතුරෙන් කොන්දේසි පැනෙව්වේ නැහැ

සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය නිශ්චිතයි කියලා ඔහු නියෝජනය කරන කඳවුර කියනවා. එහෙත් 2015 ජයග්‍රහණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිටි ජවිපෙ සහ වෘත්තීකයන් අද ජාතික ජනබලවේගය සහ මහේෂ් සේනානායක මහතාට සහාය ලබා දෙනවා මේ තත්ත්වය තුළ සජිත් ප්‍රේමදාස මහතාට මූලික ජන්ද පදනමේ ලක්ෂ පහක හෝ හයක අඩුවක් වෙනවා. මේ තත්ත්වය සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයට බාධාවක් නේද.?

මතුපිටින් බලා විචාරය කරන්නෙකුට එහෙම පේනවා. එහෙත් ඡන්ද හැසිරීම ගැන අවබෝධයක් තියෙන පුරෝකථන කළ හැකි කෙනකුට එය ඇත්තක් නොවන බවත් සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉවත්ව යන එම ඡන්ද ප්‍රමාණය ඉතාමත් පහසුවෙන් පූර්ණය වන ආකාරයක්ද දක්නට පුළුවන්.

සජිත් කියන්නෙ වෙනම ඡන්ද පදනමක් ඇති අපේක්ෂකයෙක්. ඒ නිසා 2015 ප්‍රතිඵල පමණක් ගෙන මෙවර ප්‍රතිඵලය සජිත්ට අවාසියි කියල කියන්න බැහැ.මේ වන විට ලැබී ඇති සමීක්ෂණ විමසුම්වලින් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් ඉන්න බව තහවුරු වෙලා තියෙන්නේ. ප්‍රතිවාදි අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතාගේ කැම්පේන් එක එක තැන සිරව ඇති බවක් පෙනෙනවා. 2018 පළාත් පාලන ප්‍රතිඵලය අනුව ගත්තත් ඔහුට 43% සීමාව ඉක්මවීම අපහසු බවක් පෙනෙනවා. ඔහුට වඩාත් වාසිදායක විදිහට ගණන් බැලුවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට 45% සීමාව ඉක්මවන්න බැරි බව ස්ථිරයි.ඔහුට ජයග්‍රණයකට යාමටනම් සිංහල ඡන්දවලින් 60% ඉක්මවන ප්‍රමාණයක් ලබා ගන්න ඕනැ. එහෙත් සජිත් ප්‍රේමදාස මහතා සිංහල ජනසමාජයේ ඉහළ කැමැත්තක් ඇති නායකයෙක් සමාජයේ පහළ ස්ථරවල ජනප්‍රියම අපේක්ෂකයාද වන ඔහුට සිංහල ඡන්දවලින් ලොකු කුට්ටියක් දිනා ගන්න පුළුවන්.උතුරේ, නැගෙනහිර සහ වතුකරයේදී සජිත් ට සියයට 75% ඉක්මවන තරමේ ප්‍රසාදයක් තියෙන බව රාජපක්ෂ කඳවුර පවා ගණන් බලනවා. මේ තත්ත්වය තුළ ජයග්‍රහණයට වැඩිම අවස්ථාව තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාටයි.

ජනතා විමුක්ති පෙරමුණ වෙනම තරග කිරීම නිසා අහිමිවන ඡන්ද ප්‍රමාණයට සමාන හෝ ඊට වැඩි ප්‍රමාණයක් සජිත් අපේක්ෂකයා වීම නිසා රාජපක්ෂ කඳවුර පැත්තෙන් ඇදී ඒමට ලොකු ඉඩක් තියෙනවා. කලක් එක්සත් ජාතික පක්ෂයට හිතවත්ව සිට මහින්ද රාජක්ෂ මහතා නිසා , යුද ජයග්‍රහණය නිසා එජාප නායකත්වය සමග ඇති ගැටුම් නිසා ඉවත්ව ගිය පිරිස් සජිත්ගේ ආගමනය නිසා නැවත එජාපය වෙත පැමිණෙමින් ඉන්නවා. ඒ නිසා ජවිපෙ න් 2015 මෛත්‍රීපාල සිරිසේන මහතා ට ලැබුණු ඡන්ද ප්‍රමාණය අහිමි වීම නිසා සජිත්ට පාඩුවක් වෙන්නේ නැහැ.

දෙමළ සන්ධානය සජිත්ට සහාය දීම කොන්දේසි මත වූවක් ලෙස රාජපක්ෂ කඳවුර චෝදනා කරනවා ඒ ගැන ඇත්ත නැත්ත කුමක්ද.?

යක්ෂයා දොරට ඇවිත් තට්ටු කරද්දි දෙමළ සන්ධානය කොන්දේසි දමමින් සිටින්නේ නැහැ. උතුරේ දේශපාලන නායකත්වය මේ තීන්දුව ගන්නට පෙරම දෙමළ ජනතාව මෙන්ම මුස්ලිම් ප්‍රජාවද යක්ෂයාගේ ආගමනය වළක්වන්න තීරණය අරගෙනයි තිබුණේ.ඒ ජනමතයට පිටුපාන්න දේශපාලන නායකත්වයට බැහැ.පටු අදහස්වලින් පිරුණු ජාතිවාදී වර්ගවාදී පිළිවෙත්වලට මධ්‍යස්ථ සිංහල ජනතාව වගේම දෙමළ මුස්ලිම් ජනතාවද කැමැති නැහැ. ඒ කැමැත්තට උතුරේ දෙමළ දේශපාලන නායකත්වයද ඉඩදුන්නා. අනෙක උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂවලින් කොන්දේසී පැනවීමක් වුණා කියන්නේ අසත්‍යක්. ජනපදනමක් නැති අන්තවාදී සුළුතරයක් එවැනි අදහසක් පළ කළාට සුමන්තිරන්ලා සම්බන්ධන්ලා වැනි මධ්‍යස්ථවාදී නායකයන් එවැනි පටු ස්ථාවරවල නැහැ.

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නිල සහාය ගෝඨභය රාජපක්ෂ මහතාට ලැබීම නිසා එම පක්ෂය 2018 පළාත් පාලන මැතිවරණයේදී ලබා ගත් ලක්ෂ දාහතරකට ආසන්න ඡන්ද ප්‍රමාණය ගෙඩිය පිටින්ම රාජපක්ෂ මහතාට ලැබෙන බවට අදහසක් තියෙනවා ඒ තර්කයේ බැලූ බැල්මට සාධාරණ බවක් තියෙනවා නේද.?

බැලු බැල්මට පෙනෙන දේවල් හැම වෙලාවෙම ඇත්ත වෙන්නෙ නැහැ. ශ්‍රීලංකා නිදහස් පක්ෂය ඒ මැතිවරණයේදී‍් ලක්ෂ දාහතරක ඡන්ද ප්‍රමාණයක් ලැබූ බව ඇත්ත ඒත් ඒ ලක්ෂ දාහතර හැසිරෙන්නේ විශම විදිහට. ලක්ෂ දාහතර ඇතුළත තොන්ඩමන් මහතාට අයිති ඡන්ද හිසුබුල්ලා මහතාට අයිති ඡන්ද අතාවුල්ලා මහතාට අයිති ඡන්ද ආසන්න වශයෙන් ලක්ෂ තුනක් වගේ තියෙනවා. දයාසිරි දුමින්ද වගේ අයට යම් ඡන්ද පදනමක් තියෙනවා ජනාධිපතිතුමාගේ පොළොන්නරු ඡන්ද පදනමත් එක්ක තවත් ලක්ෂ දෙකක් වෙන්කරන්න පුළුවන්. ඒ අතර ජනධිපතිතුමාගේ දූෂණ විරෝධි ප්‍රතිපත්ති මත් විරෝධි ප්‍රතිපත්ති නිසා තවත් ඡන්ද ප්‍රමාණයක් වැටෙන්න පුළුවන් ඒ අතර වැඩිම ඡන්ද ප්‍රමාණයක් ඒ අවස්ථාවේදී ශ්‍රිලනිපයට ආකර්ෂණය වුණේ එක්සත් ජාතික පක්ෂ කඳවුරෙන්. එයට හේතු වුණේ එජාප නායකත්වය ගැන ප්‍රශ්න ජනාධිපතිතුමා ආණ්ඩුවේ නායකයා වීම යන කරුණුයි. එහෙම නැතිව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කියල විශාල ඡන්ද ප්‍රමාණයක් ලක්ෂ දාහතර තුළ නැහැ. ඒ නිසා ශ්‍රීලනිපය රාජපක්ෂ මහතාට උදව් කිරීම නිසා රාජපක්ෂ මහතාට විශාල ඡන්ද ප්‍රමාණයක් ශ්‍රීලනිපයෙන් යන්නෙ නැහැ. ශ්‍රීලනිපය ලබා ගත් ඡන්ද ප්‍රමාණයෙන් 70% මෙවර ලැබෙන්නේ පොහොට්ටුවට නොවෙයි හංසයාටයි.

චන්ද්‍රිකා මැතිනිය සහ කුමාර වෙල්ගම මහතා ගේ දේශපාල ක්‍රියාකාරීත්වය ශ්‍රීලනිපයේ ඡන්ද ප්‍රමාණයට කුමන විදිහේ බලපෑමක්ද කරන්නේ.?

රාජපක්ෂ මහතා ගේ පිළ මතුපිටින් චන්ද්‍රිකා මැතිනියගේ ක්‍රියාමාර්ගය සුළුවෙන් සලකන බවක් පෙන්වුවද අභ්‍යන්තර සාකච්ඡාවලදී මේ ගැන වෙනම අවධානය යොමු කරනවා. දිවයින පුරාම පොහොට්ටුවට ලැබෙන ශ්‍රීලනිප ඡන්ද සැලකිය යුතු ප්‍රමණයක් වලක්වන්න චන්ද්‍රිකාගේ ක්‍රියාකාරිත්වය බලපානවා. කුමාර වෙල්ගම කියන්නෙත් කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද පදනමක් ඇති කෙනෙක් ඔහුටත් බලපෑමක් කරන්න පුළුවන්. සිදුවන මෙම බලපෑම් ගොඨාභය රාජපක්ෂ මහතාව තවදුරටත් අපහසුතාවතට සහ පස්සට තල්ලු කරන බලපෑමක් එල්ල කරන්න පුළුවන්.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන සටන් පාඨයක් බවට පත්ව තිබෙන්නේ ජාතික ආරක්ෂාව යන කාරණයයි. මෙතැනදී වර්තමාන ආණ්ඩුවේ යම් පසුබෑමක් තියෙනවා නේද.?

මෙය ඡන්ද ආකර්ෂණය කර ගැනීම සඳහා සටන් පාඨයක් පමණයි. අද ජාතික ආරක්ෂාව ගැන කතා කිරීම වැඩි වුණේ පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසයි.එහෙත් මේ ප්‍රහාරය ක්ෂණිකව අයි එස් අයි එස් ගිණුමට බැර කරන්න උත්සාහ කිරීමක් වුණත් මෙතැන සැකමුසු තැන් බොහොමයක් තියෙනවා. එදා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් මත් නාශක මෙහෙයුම් දැඩි කර තිබුණා. ඒ තත්ත්වය තුළ අන්තර් ජාතික සහ දේශීය මත්ද්‍රව්‍ය ජාලය තුළ විශාල කැළඹිල්ලක් ඇතිවෙලා තිබුණා. මේ හැම දෙයක් ගැනම විශ්ලේෂණය කරද්දි ලොකු සැකයක් ඇති වෙනවා මේ ප්‍රහාරවල අරමුණ දේශපාලනික එකක්ද කියලා. 

රට තුළ මෙවැනි අස්ථාවර තත්ත්වයක් ඇති කිරීම මගින් දේශපාලන වාසිය ලැබෙන්නේ කාටද එයින් ලැබෙන වාසිය කාටද කියල පොඩි ළමයකුට වුණත් තේරෙනවා.

සුහඳ ගම්ලත්, දිල්රුක්ෂී වික්‍රමසිංහ වැනි නිලධාරීන් පවා ආරක්ෂාව යන විෂයට සම්බන්ධ නොවුණත් දූෂණ විරෝධි සටන අඩපණ කිරීම පිටුපස සිටින්නේ කවුද යන්න පැහැදිලියි. ජාතික ආරක්ෂාව අඩපණ බවට මතයක් ගොඩනැගීම දුෂණ විරෝධී සටන අසාර්ථක බවට සමාජගත කිරීම ත් ගෝඨ­ාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක ව්‍යාපෘතිය තුළ තවත් අංගයක්.මෙවැනි දේ මගින් රටේ බහුතර ජනතාවක් රැවටීමට ලක්කිරීමට නොහැකි බව නොබෝ දිනකින් රටට පැහැදිලි වෙවි.

ජාතික ගැටලුව විසඳීම දශක තුනක සිට දේශපාලන මාතෘකාවක් වුවත් එයට අද වනතුරු නිසි විසඳුමක් ලැබී නැහැ මෙවර සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ජාතික ගැටලුව විසඳීමට මොන වගේ ඉඩක් ද ලබා දී තිබෙන්නේ.?

ජාතික ගැටලුව කියා කිව්වද උතුරේත් දකුණේත් දුප්පත්කම විරැකියාව සම අධ්‍යාපන පහසුකම් නොමැති වීම යන කාරණා සමාන ලෙස බලපානවා. ඒ නිසා මූලිකව උතුරු දකුණු වෙනසක් නැතිව මේ ප්‍රශ්න විසඳිය යුතුයි.

පළාත් සභා මගින් බලය විමධ්‍ය ගත කිරීමක් කර තියෙනවා දැන් කළ යුත්තේ අපේ ප්‍රතිපත්තිවල කියැවෙනවා ඒකී‍්ය රටක ‍ උපරිම බලය බෙදීමක් කළ යුතුයි කියලා. ඒ මගින් සැමට සාධාරණ විසඳුමක් ලැබෙනවා.

දෙමළ වීම නිසා දෙමළ ජනතාවට යම් කිසි අපහසුවක් බාධාවක් වෙනවා නම් එයට අවශ්‍ය විසඳුම් ලබා දීම දිය යුතුයි. එමගින් උතුර දකුණ අතර අනවබෝධයක් තියෙනවා නම් එයට විසඳුමක් ලැබේවි යැයි විශ්වසා කරනවා.

ඔබ කලක සිටම එක්සත් ජාතික පක්ෂයට හිතවත්ව කටයුතු කළ කෙනෙක් එහෙත් පසුගිය කාලයේදී ඔබ ජනාධිපතිතුමා සමග එක්ව කටයුතු කළේ. ඔබ මෙවැනි තීරණයක් ගත්තේ ඇයි.?

2015 දී ජනාධිපතිතුමාව බලයට ගෙන ඒමටත් මහින්ද රාජපක්ෂ මහතාගේ හිතුවක්කාරී පාලනය පරාජය කර යහපාලනය ප්‍රජාතනත්‍රවාදය දිනවීමටත් කටයුතු කළා. හැමදාම අප නියෝජනය කළේ ඒකාධිපතිත්වයට විරුද්ධ ප්‍රජාතන්ත්‍රවාදය දිනවිය යුතුයැයි කියන මතයේයි. ඒ නිසා අපේ මතයේ වෙනසක් වෙලා නැහැ.

අප දිනවූ මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අප කටයුතු කිරීම වරදක් නොවෙයි. පොදුවේ ගත්තාම ජනාධිපතිතුමා රාජපක්ෂ පන්නයේ කෙනෙක් නොවෙයි නම්‍යශීලි ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්.ඔහු ගේ කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ අත්පත් කර ගත්තා. මත් ද්‍රව්‍ය විරෝධි ප්‍රතිපත්තියක් සාර්ථකව ක්‍රියාත්මක කළා . මම කියන්නේ නැහැ ජනාධිපතිතුමා සියයට සියයක් නිවැරැදියි කියල. එහෙත් ඔහු රටට වැඩදායි වැඩ ගොඩක් කළා. නීතිය ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා. පසුගිය අවුරුදු පහේ තරම් උසාවිය ස්වාධීනව කටයුතු කළ කාලයක් තවත් නැහැ. මේ අවුරුදු පහේ මහමැතිවරණයක් පළාත්පාලන මැතිවරණයක් පැවැත් වූවා ජනාධිපතිවරණයද දැන් අවසන් අදියරේ තියෙන්නේ ඒත් එදා වගේ නීති කැඩීම් රාජ්‍ය සම්පත් අව භාවිතවීම් නැහැ. මේ හැම දෙයක්ම සිදුවුණේ මේ කාලසීමාවේදී . අප එදා අපේක්ෂා කළ දේ සම්පූර්ණව සිදු නොවුණත් සැලකිය යුතු පමණින් ඉටුවෙලා තියෙනවා.ඒ නිසා මම ජනාධිපතිතුමා සමග කටයුතු කිරීම ගැන සතුටුයි.මම ප්‍රතිපත්ති හෝ පක්ෂ මාරුකිරීමක් කර නැහැ. එදා සිටම ඉන්නෙ එකම ප්‍රතිපත්තියක.

උදිත ගුණවර්ධන 
ඡායාරූප රංජිත් අසංක

නව අදහස දක්වන්න