ජනපතිවරණයේ රැල්ල කාටද | දිනමිණ


 

ජනපතිවරණයේ රැල්ල කාටද

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට පැමිණීමත් සමඟ දකුණේ බොහෝ ප්‍රදේශවල සිංහල ජනතාවට තමන්ගේ හදවතට සමීපතමයෙක් මෙවර ලැබී ඇති බව සිතෙයි. ජාතික තලයෙන් දීර්ඝ කාලයකට පසු පැමිණි තමන් නියෝජනය කරන මෙම තරුණ නායකත්වය වැලඳගැනීමට මීට පෙර රාජපක්ෂවරුන්ට හිතවත්කමක් දැක්වු ජනතාව පෙළගැසෙමින් සිටින බව පෙනේ. ඒ බව සජිත් ප්‍රේමදාස මහතාගේ ජනරැලිවලට සහභාගීවන අතිවිශාල ජන සංඛ්‍යාවෙන් මෙන්ම ඔවුන්ගේ උද්යෝගයෙන්ද පැහැදිලිව දැකිය හැකිය.මෙවර ජනාධිපතිවරණයේ දී දකුණේ ඡන්ද පදනම තුළ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රබල ලෙස ඉස්මතු වන්නේ ඔහුගේ නව්‍යතාවත් ජන දුකට කන්දීමේ හැකියාවත් ජනහදට සමීපවීමේ ආකර්ශනයත් නිසාය. 

2019 ජනාධිපතිවරණයේ දී මෙරට ඡන්දදායක හැසිරීම් රටාව තුළ මින් පෙර දක්නට නොවු ආකාරයේ වෙනස්කම් සිදුවීමට අපේක්ෂිතය. ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන විපක්ෂ කඳවුරු දෙක නියෝජනය කරමින් වෙනස් දේශපාලන හා පරිපාලන අත්දැකීම් සහිත පාක්ෂිකයාට ආකර්ශනීය අපේක්ෂකයන් දෙදෙනෙක් ඉදිරිපත් වී සිටීම සහ මෙම ප්‍රධාන අපේක්ෂයන්ට විකල්ප වශයෙන් තවත් අපේක්ෂකයන් දෙදෙනකු ඉස්මතු වීම තුළ ඇති වී තිබෙන දේශපාලන ගතිකත්වය හා විවිධත්වය මෙරට ඉතිහාසයේ සුවිශේෂි ජනාධිපතිවරණයක් බවට 2019 ජනාධිපතිවරණය පත්කරමින් පවතී. වගකීම් විරහිත ඇතැම් දේශපාලකයන් තැපැල් ඡන්දය පැවැති මුල් දිනයේම රාජ්‍ය සේවකයන් විශාල වශයෙන් තමන්ගේ අපේක්ෂකයාට ඡන්දය භාවිත කළ බව ප්‍රචාරය කළද රහසිගත ඡන්දයක අවසාන ප්‍රතිඵලය දැනගත හැකි වන්නේ ඡන්ද පෙට්ටි විවෘත කිරීමෙන් පසුව බව මෙරට බුද්ධිමත් ජනතාව දනිති. ඡන්දදායකයන්ගේ හැසිරීම සැළකිල්ලට ගත් විට දේශපාලන පක්ෂවලට වෙන්වුණු ඡන්දදායක බහුතරයක් සිටින අතරම කුමන හෝ දේශපාලන පක්ෂයකට සෘජුව සම්බන්ධ නොවුණු නමුත් පවතින දේශපාලන තත්ත්වය පිළිබදව වීමසිලිමත්ව තමන්ගේ ඡන්දය භාවිත කරන සැළකිය යුතු පිරිසක්ද සිටිති. මෙම ලිපිය එක් එක් ප්‍රධාන පක්ෂ ඡන්දදායකයන් හා පාවෙන ඡන්දදායකයන් ඉදිරි මැතිවරණයේ දී තමත්ගේ ඡන්දය කෙසේ භාවිත කළ හැකිද යන්න පිළිබද කෙරෙන විග්‍රහයකි.

එක්සත් ජාතික පාක්ෂිකයා

මෙවර ජනාධිපතිවරණයේ දී වඩාත් දිරිමත්ව පෙරට එමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ය. 1994 වසරේ සිට වසර 25ක කාලයක් පුරාවට පක්ෂය මෙහෙය වූ නායකත්වය වෙනුවට සජිත් ප්‍රේමදාස මහතා තුළින් තරුණ සහ ජව සම්පන්න නායකත්වයක් ලැබීම නිසා එක්සත් ජාතික පාක්ෂිකයා අමන්දානන්දයට පත් ව ඇත. සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පාක්ෂිකයාට අලුත් බලාපොරොත්තුවකි. එය සමස්ත ශ්‍රී ලාංකික ජනතාවටම අලුත් බලාපොරොත්තුවක් බවට පත්කිරීමට එක්සත් ජාතික පාක්ෂිකයා පැහැදී සිටී.

නිදහස ලැබීමටත් පෙර සිටම ජාතික තලයේ දේශපාලනය තුළ නිවැරදි ආර්ථික, සමාජමය හා දේශපාලන දැක්මක් තිබුණු හා මෙරට ජනවාර්ගික, ආගමික කණ්ඩායම් සියල්ලටම එකවර සෙවණ දුන් පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. එවැනි ජාතික දැක්මක් සහිත සියලූම ජාතීන්, ආගමික කණ්ඩායම් එක්සේසත් කළ හැකි පක්ෂය වටා ජනතාව නැවත පෙළගස්වා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සමත් වී ඇත. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී හෝ අක්‍රීයව සිටි බිම්මටට්මේ බොහෝ ජනතාව නැවත දිනාගැනීම සඳහා තමන්ට සහජයෙන් උරුම වු දේශපාලන දැක්ම හා ක්‍රියාකාරිත්වය සජිත් ප්‍රේමදාස මහතාගේ ශක්තිය වී ඇත. තමන් අරගල කොට පැතු නායකත්වය ලැබී ඇති බැවින් පාක්ෂිකයාද සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියාකරමින් සිටිති.

සජිත් ප්‍රේමදාස මහතා වෙත එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම නිසා අප්‍රසාදයට පත් වු සුළු පිරිසක්ද පක්ෂය තුළ සිටිති. දූෂිත පුද්ගලයින් කිහිපදෙනෙකුගේ සහාය ලබන ඉහළ ධනේශ්වර කාණ්ඩයේ පිරිසක් සහ පසුගිය කාලය පුරාවට ආණ්ඩුවේ සිට රාජපක්ෂවරු ආරක්ෂා කළ පිරිසක් මේ සඳහා එක්ව ඇත. ඇතැම් විට මෙම කණ්ඩායමට අයත් පිරිස් ජනාධිපතිවරණ දිනයට පෙර ගෝඨාභය රාජපක්ෂට එළිපිට සහාය පළකිරීමට පවා ඉඩකඩ ඇත. නමුත් බහුතර එක්සත් ජාතික පාක්ෂිකයා හා අනෙකුත් සහායක පක්ෂවල කණ්ඩායම් බුරුතු පිටින් සජිත් ප්‍රේමදාස මහතා වටා ඒකරාශි වෙමින් සිටින බැවින් ඉහත කී කණ්ඩායම හුදෙකලා වී ඇති අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය නැවැත්වීම කෙරෙහි ඔවුන්ට කළ හැකි බලපෑම අල්පය.

පොදුජන එක්සත් පෙරමුණු පාක්ෂිකයා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අත්පත් කරගැනීමත් සමඟ දැනට වසර තුනකට පෙර පොදුජන එක්සත් පෙරමුණ එසේත් නොමැති නම් පොහොට්ටු පක්ෂය පිහිටුවුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ පිලට හිසට සෙවණක් හා හිතට නිවනක් ලබාගැනීමටය. එම වසර තුනක කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශාල දියාරුවකට ලක් කරමින් පොහොට්ටුව ඉදිරියට පැමිණි අතර 2017 පළාත් සභා මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගැනීමට එම පක්ෂය සමත් විය. මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපතිවරණයට තරගකිරීමට පවතින නීතිමය බාධක හමුවේ පොහොට්ටු පක්ෂය එහි ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කොට ඇත. රටෙහි පවතින දේශපාලන, සමාජ, ආර්ථික වතාවරණය තුළ පොහොට්ටු පක්ෂයට දකුණේ ඡන්ද පදනම තුළ ශක්තිමත් භාවයක් පෙන්නුම් කෙරේ. නමුත් කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඇතැම් පොහොට්ටු පාක්ෂිකයන් තම පක්ෂය කෙරෙහි කළකිරී ඇති බවක් ද හෙළි වී ඇත.

2018 ඔක්තෝබර් මාසයේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ආකාරයෙන් පාලන බලය අල්ලාගැනීම සහ එම බලය තහවුරු කරගැනීම සඳහා දින 52 ක් පුරාවට දැරූ නොමනා සහ නීතිවිරෝධි උත්සාහය ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන පොහොට්ටු පක්ෂයේ පිරිස් පක්ෂය කෙරෙහි කළකිරිමට ලක් කළ ප්‍රබල හේතුවකි. මෙහිදි බලය ලබාගැනීමට මන්ත්‍රීවරුන්ව බිලිබා ගැනීම සඳහා දරන ලද සදාචාර විරෝධි උත්සාහයත් ඇතැම් මන්ත්‍රීවරුන්ට අල්ලස්, වරදාන හා වරප්‍රසාද දීමට උත්සාහ කිරීමත් එම උත්සාහයන් ප්‍රසිද්ධියට පත්වීමත් නිසා රාජපක්ෂවරුන්ට තිබුණු ගෞරවය පිරිහීමට පත්විය. එම ක්‍රියාදාමයත් සමඟ පොහොට්ටු පක්ෂයේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ස්වරූපය ඉස්මතු වීමත් එම කාලය තුළ රට දැඩි දේශපාලන, සමාජ හා ආර්ථික ව්‍යාකූලත්වයට ඇදදැමීමත් සමඟ පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්මවලට ගරුකරන පිරිස් පක්ෂ නායකත්වයෙහි බලයට ඇති කෑදරකම කෙරෙහි කනස්සල්ලට පත්වූහ. එමෙන්ම පක්ෂයෙහි පවත්නා ප්‍රජාතන්ත්‍රවාදි නොවන තීරණ ගැනීමේ පටිපාටිය සමඟ එකඟ නොවන පිරිස්ද පක්ෂය තුළ සිටිති.

ජාතික වශයෙන් ඇති වු ව්‍යසනකාරි තත්ත්වයන් තුළ මහජනතාව ආරක්ෂා කිරීම සඳහාත් මහජනතාව අපහසුතාවන්ගෙන් ගළවාගැනීම සඳහාත් පවතින රජයට සහාය නො දී, රජයේ ක්‍රියාමාර්ග කඩාකප්පල් කොට රට අවුලෙන් අවුලට පත්කිරීමට සහ ජාතික ව්‍යසනකාරි තත්ත්වයන් තුළ පොහොට්ටු පක්ෂ නායකයන් තම පටු දේශපාලන වාසි තකා කටයුතු කිරීම බොහෝ පක්ෂ සාමාජිකයන් අනුමත කරන්නේ නැත. විශේෂයෙන්ම පාස්කු දින ප්‍රහාරයට පසුව රට තුළ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය තුළ හා මෑත දී නිර්මාණය කරන ලද වැඩවර්ජන රැල්ල තුළ පොහොට්ටු පක්ෂය ක්‍රියාකරන ලද්දේ ජනතාව වඩාත් අපහසුතාවයට පත් කරන ආකාරයටය.

ඉදිරියේ පත්වන නව රජයක පාලනාධිකාරිය පිහිටුවීම සම්බන්ධව වෙනම සැලසුමක් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුට හිතවත් විශ්‍රාමලත් ආරක්ෂක නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් සතුව ඇති බවට පක්ෂයේ ඇතැම් දේශපාලන නායකයෝ හා මන්ත්‍රීවරු සැක පළකරති. විශේෂයෙන්ම ජනාධිපති ධූරයේ බලය ලබාගත් පසු පිහිටුවන නව ආණ්ඩුවක ප්‍රධාන තනතුරු සඳහා සම්මත දේශපාලනඥයින් නොවන අය පත්කරගැනීමේ වැඩි ඉඩකඩක් පැවතිය හැකිය. එවැනි තත්ත්වයක් තුළ පොහොට්ටු පක්ෂයේ දේශපාලනඥයින්ට අත්වන ඉරණම පිළිබද බොහෝ දෙනකු තුළ සැක පහළ වීම සාධාරණය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඇති කරගත් ගිවිසුම් ප්‍රකාරව මන්ත්‍රීධූර සහ ඇමැති තනතුරු බෙදාගැනීම සම්බන්ධවද පොහොට්ටුව තුළ නොසන්සුන්කාරී බවක් උද්ගතවී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැමිණෙන පිරිස් සඳහා ඉඩකඩ සැලසීම තුළ පක්ෂයේ බර අදින පිරිස් සඳහා පවතින අවස්ථා සීමා වීම නිසා ඇතැම් අය කළකිරීමට පත්ව සිටිති. තවද විවිධ පෞද්ගලික කරුණු මුල්කරගනිමින් පක්ෂ නායකයන් හා මන්ත්‍රීවරුන් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්ව හේතුවෙන් සමහර පක්ෂ ක්‍රියාකාරීන් හා නායකයින් පක්ෂය හැරයන මට්ටමකට පත්ව ඇති බව ඇතැමකුගේ අදහසයි.

මෙවැනි කරුණු මුල් කරගනිමින් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සිට බිම්මට්ටමමේ සාමාජිකයා දක්වා විශාල පිරිසක් පක්ෂයේ කටයුතු කෙරෙහි කළකිරී දැනට නිශ්ශබ්දව සිටීම හෝ පක්ෂයේ අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු නොකරන තත්ත්වයක් නිර්මාණය වී ඇත. එසේම පොහොට්ටු පක්ෂයේ නායකත්වයේ පවතින පවුල්වාදි ස්වරූපය හා තීරණ ගැනීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ස්වරූපය කෙරෙහි කළකිරී ඇති සාමාජිකයන් බොහෝ පිරිසක් ද අනෙකුත් ප්‍රධාන අපේක්ෂකයින් තුන්දෙනාගෙන් කෙනකු වෙත තම ඡන්දය භාවිත කිරීමේ ඉඩකඩක් පවතී. මෙවැනි අයගෙන් වැඩි දෙනා ප්‍රධාන විකල්ප අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතා දිනවීම සඳහා එළිපිටම හෝ වක්‍රාකාරව සහාය දෙන තත්ත්වයක් ඉදිරි දින කිහිපය තුළ ඇති විය හැකිය.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා

මෙම ජනාධිපතිවරණයේ දී පක්ෂ නායකත්වය විසින් වඩාත් අපහසුතාවයට හා අසරණභාවයට පත්කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාය. 2015 මහ මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල පිරිසක් කැඩී ගොස් පොහොට්ටු පක්ෂය පිහිටුවා ගත් පසු මහින්ද විරෝධීව සහ අවංකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇලූම් කළ අය පක්ෂය සමඟ සිට ගත්හ. මහින්ද රාජපක්ෂ මහතාගේ අදෘශ්‍යමාන නායකත්වය යටතේ පොහොට්ටු පක්ෂය පිහිටුවූයේම මවු මරා උපන් කුමරා ජන ව්‍යවහාරය අලුත් කරමිනි. පක්ෂයේ අසහාය නායකයන් පක්ෂය හැරදමා යන ගමන් තමන් සමඟ එක්වන ලෙස ආයාචනා කළද නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පක්ෂයට පණ දෙමින් පක්ෂය තුළම රැදුණි. ඇතැම් අය මෙසේ පොහොට්ටු පක්ෂයට නොගොස් රැඳුණේ ඔවුන්ට මහින්ද රාජපක්ෂ මහතා වහකදුරු වූ නිසාය. ඉතිරි වූ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ එම නොසැලෙන ධෛර්යය නැවතත් පිළිබිඹු වන්නේ පසුගිය මාසයේ පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදීය.

පක්ෂයේ නායක කාරකාදීන් හා කෘත්‍යාධිකාරි මණ්ඩලය කුමන තීරණයක් ගත්තද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා නැවතත් පක්ෂය සමඟ සිටින බව එම ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පැහැදිලි විය. එසේ පක්ෂය සමඟ සිටි නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා පක්ෂයේ නායකයන් විසින් අමාත්‍යධූර හා තනතුරු තණ්හාවෙන් පොහොට්ටුවට පක්ෂය පාවාදී ඇති බව අද බොහෝ දෙනා දරන මතයයි. ඔවුන් පොහොට්ටු අපේක්ෂකයාට සහාය දක්වන්නේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටු පක්ෂය සමඟ ගිවිසුමක් අත්සන් කරන තුරු බලා සිටීමට අවශ්‍ය නැත. අතීත අත්දැකීම් අනුව තේරුම් ගත යුත්තේ මෙම ජනාධිපතිවරණයෙන් අනතුරුව පොහොට්ටු පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාට කිසිදු ආකාරයේ සැළකිල්ලක් හා ගෞරවයක් නොදක්වන බවය. රාජපක්ෂවරුන්ට විරුද්ධ වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන් 2015 මහා මැතිවරණයේ දී පැරදවීමට කටයුතු කළ රංගනයේ දෙවන කොටස 2020 දී තිරගත වීමට නියමිතය. දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන්ට පොහොට්ටු වේදිකාවේ දී ලැබෙන "හූ" සංග්‍රහයෙන්ම ඒ බව පැහැදිලිය. එවැනි වාතාවරණයක ඔවුන් අද විකල්ප නායකත්වයක් යටතේ ප්‍රජාතන්ත්‍ර විරෝධි පවුල්වාදි රාජපක්ෂවරුන්ට විරුද්ධ සටනට සජිත් ප්‍රේමදාස සමඟ එක්වීමට අදිටන් කොට ඇත.

එමෙන්ම 1994 දී පක්ෂයට නව ජීවයක් ලබාදුන් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පක්ෂ සාමාජිකත්වය හා තනතුරු අහෝසි කිරීමට දතකන දයාසිරි ජයසේකර, වීරකුමාර දිසානායක වැනි වෙනත් පක්ෂවලින් පැමිණි අයට එවැන්නක් සම්බන්ධයෙන් කථා කිරීමටවත් සදාචාරාත්මක අයිතියක් නොමැති බව පක්ෂ සාමාජිකයන්ගේ මතයයි. ඔවුන් ප්‍රකාශ කරන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක, කුමාර වෙල්ගම වැනි නායකයින් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ආරක්ෂා කරගනිමින් මෙවර ජනාධිපතිවරණයේ දී නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණු අපේක්ෂක සජිත් ප්‍රේමදාස දිනවීමට කටයුතු කරන බවයි. මේ මඟින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය පොහොට්ටු පක්ෂය සමඟ කුමන ගිවිසුම් අත්සන් කළද සාමාන්‍ය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා මෙරට ප්‍රජාතන්ත්‍රවාදි අයිතීන් හා ජනතා නිදහස ශක්තිමත් කිරීමට අවශ්‍ය තීන්දුව ලබාදීමට සුදානම්ව සිටින බවයි.

ජනතා විමුක්ති පෙරමුණු පාක්ෂිකයා

2015 ජනාධිපතිවරණයේ දී හංසයා ලකූණින් ඉදිරිපත් වුණු පොදු අපේක්ෂකයා දිනවීමට ජනතා විමුක්ති පෙරමුණ කැපවිය. නමුත් එසේ පත්කරගත් ජනාධිපතිවරයාට හා පත්වු ආණ්ඩුවට අපේක්ෂිත ඉලක්ක ජයගැනීමට නොහැකි වීම ජවිපෙ කළකිරීමට හේතු විය. මෙවර ජනාධිපතිවරණයට ජවිපෙ ප්‍රධානත්වයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කර ඇති නමුත් යථාර්ථය නම් ජවිපෙ ඉදිරිපත් කොට ඇති අපේක්ෂකයාට දිනිය නොහැකි බවය. ඔවුන්ගේ අරමුණ විය හැක්කේ ජනාධිපතිවරණයේ දී දමාගන්නා අඩිතාලම මත 2020 මහා මැතිවරණයේ දී සැළකිය යුතු පාර්ලිමේන්තු නියෝජනයක් ලබාගැනීමය. ජවිපෙ සාමාජිකයන් හා අනෙකුත් සංවිධානවල පිරිස් තම අපේක්ෂකයාට මැතිවරණයේ දී සහාය දෙනු ඇත. නමුත් රාජපක්ෂවරු නැවත බලයට පැමිණියහොත් ඇතිවිය හැකි තත්ත්වය පිළිබද අවබෝධයක් ඇති ඇතැම් ජවිපෙ බිම්මට්ටමේ සාමාජිකයන් හා එහි හිතවතුන් දක්වන අදහසක් වන්නේ මේ අවස්ථාවේ දී පොහොට්ටු අපේක්ෂකයා පරාජය කිරීම සඳහා ජවිපෙ සෘජුවම දායක විය යුතුව තිබුණු බවය. ජවිපෙට හිතවත් ඇතැම් පිරිස් දක්වන මෙවැනි අදහස් මඟින් පෙනී යන්නේ දැනට ජවිපෙ අපේක්ෂකයාට සහාය දෙන ඇතැම් පිරිස් අවසාන මොහොතේ ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරීමේ අරමුණින් සජිත් ප්‍රේමදාස වෙත නැඹුරුවීමේ වැඩි ඉඩකඩක් පවතින බවය.

සුළු ජන කණ්ඩායම්

2015 ජනාධිපතිවරණයට වඩා 2019 ජනාධිපතිවරණය මෙරට සුළු ජන කණ්ඩායම්වලට තීරණාත්මක ඡන්දයක් බව සැලකිය හැකිය. රාජපක්ෂවරු විපක්ෂයේ සිටි පසුගිය වසර කිහිපය තුළ ඔවුන් සුළු ජන කණ්ඩායම් කෙරෙහි දක්වන ලද නොරුස්සනසුලු ආකාල්පය හා ප්‍රජාතන්ත්‍ර විරෝධි දේශපාලන ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදය අගයන ශිෂ්ට සම්පන්න දේශපාලනයක නිරතවන කණ්ඩායම් කිසිසේත් අනුමත නොකරති. පෙහොට්ටු පක්ෂයේ නායකයන් හා ඒ වටා ගොනු වී සිටින සෑම ජන කණ්ඩායමකටම අයත් අන්තවාදී කණ්ඩායම් මෙරට ප්‍රධාන ධාරවේ සුළු ජාතික පක්ෂ දේශපාලනය ප්‍රතික්ෂේප කරති. උග්‍ර සිංහල ජාතිවාදි ආඥාදායක පාලන නැඹුරුවකට තල්ලූ වී ඇති තමන්ට ප්‍රතිපත්තිමය වශයෙන් දිනාගත නොහැකි සුළු ජන කණ්ඩායම් රටට වින කරන්නන් වශයෙන් ලේබල් ගසා හුදෙකලා කිරීමට පොහොට්ටු පක්ෂයේ නායකයෝ කටයුතු කරමින් සිටී.

ඇතැම් සුළු ජන පක්ෂ නායකයන් අන්තවාදීන් හෝ බෙදුම්වාදීන් ලෙස හඳුන්වා දෙමින් මෙරට ජාතීන් සමඟි කිරීමට නොහැකි අයුරින් භේදබින්න කරමින් ජාතිවාදය අවුස්සමින් තම සිංහල ඡන්ද පදනම පුළුල් කරගැනීමට දරන උත්සාහය හේතුවෙන් සුළු ජන කණ්ඩායම් පොහොට්ටුවෙන් වඩ වඩාත් දුරස්ථ වෙමින් සිටිති. නමුත් ප්‍රායෝගික ක්‍රියාකාරී තලයේ දී වඩාත් අන්තවාදී මත නියෝජනය කරන සුළු ජන කණ්ඩායම් එක රාශී වී ඇත්තේ පොහොට්ටුව වටාය. හිස්බුල්ලා සහ තවුහිඞ් ජමාත් කණ්ඩායම් ප්‍රමුඛ ඇතැම් පිරිස් අන්තවාදයට සෘජුවම සහාය දැක්වු බවට පසුගිය කාලයේ දී චෝදනා එල්ල විය. අද එම පිරිස් මුස්ලිම් ජනතාවට තම ඡන්දය හෝ දෙවන මනාපය ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදෙන ලෙස කරන ඉල්ලීමෙන්ම මෙම අශුද්ධ සංධානයේ සුලමුල හෙළි වේ. මෙම තත්ත්වය තුළ බහුතර දෙමළ හා මුස්ලිම් ඡන්දදායකයන් ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමට හැකියාවක් හා කැමැත්තක් ප්‍රකාශ කරන සහ එසේ කළ හැකියැයි ඔවුන් විශ්වාස කරන පුද්ගලයාද වන සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට පෙළ ගැසෙනු ඇති බව විශ්වාස කළ හැකිය.

පාවෙන ඡන්ද

දැනට ලියාපදිංචි වී ඇති ඡන්ද ප්‍රමාණයෙන් සැළකිය යුතු කොටසක් ඉහත කිසිදු පක්ෂයකට නැඹුරුතාවක් නැති තම ඡන්දය භාවිත කරන්නේ කාටදැයි අවස්ථාව අනුව තීරණය කරන පාවෙන ඡන්දායක කාණ්ඩයට අයත් වේ. පාවෙන ඡන්ද කාණ්ඩයට අයත්වන පිරිසෙන් අතිබහුතරයක් නියෝජනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සැමට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ සාධාරණ හා නිදහස් වටපිටාවක් වෙනුවෙන් පෙනී සිටින පිරිසකි. මෙම කණ්ඩායම නොබෙදුණු ඒකීය රටක් තුළ සෑම ආගමික හා ජනවර්ග කණ්ඩායමකම අයිතිවාසිකම් තහවුරු කෙරෙන ගෞරවනීය සමාජයක් හා රටක් බිහිකිරීමට තමන් තුළ ඇති කැපවීම ප්‍රදර්ශනය කරති. විශේෂයෙන්ම බහුතර හා සුළුතර ජනවර්ගයන්හි ජාතිවාදය බැහැර කොට ආගම්වාදය බැහැර කොට බහුවාර්ගික, බහුආගමික, බහුසංස්කෘතික රටක ජනතාව තුළ නිර්මාණය කරන සහජීවනය තුළින් පමණක් සෑම ජාතියකම ආගමකම චිරස්ථිතිය තහවුරු කළ හැකි බව ඔවුහු විශ්වාස කරති. ජනතාව ජාති ආගම් භේද සහ ප්‍රදේශ අනුව බෙදා වෙන්කළ ආඥාදායක පාලනයකට යටත් වී ජීවත් වීමට මෙම පිරිස සූදානම් නැත. එවැනි අගය විනිශ්චයක් හා වටිනාකම් ඇති පුද්ගලයන්ට ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට ක්‍රියාකළ නොහැකි වනු ඇත්තේ ගෝඨාභය මහතා නියෝජනය කරන පාර්ශ්වය ජාතික සමගිය හා සංහිඳියාව විශ්වාස නොකරන, ප්‍රජාතන්ත්‍ර පාලනය හා අනෙකුත් මතවාද ඉවසිය නොහැකි, ජනතාව තලාපෙළා පීඩාකොට ආඥාදායක විධානයෙන් පමණක් මෙරට ගොඩනැගිය හැකි බව විශ්වාස කරන පිරිසක් වන බව සුළු ජනතාවගේ මතය වන නිසාත් ගෝඨාභය මහතා ආඥාදායක පාලනයක් මෙරට ස්ථාපිත කරගැනීමට කැසකවන පිරිසකගේ ඉත්තෙකු වී ඇති නිසාත්ය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමය තහවුරු කොට ජාතීන් හා ආගම් අතර සාමය හා සංහිදියාව තහවුරු කොට රටෙහි ආරක්ෂාව සුරක්ෂිත කොට ඉහළ ආර්ථික ප්‍රගමනයක් කරා මෙරට ගෙනයාමට හැකි සෘජු හා නොසැලෙන නායකත්වයක් සපයන සජිත් ප්‍රේමදාස සහ ඔහු වටා ඇති ජාතික ජන බලවේගය වෙත එක්කාසු වීම එම ඡන්දදායකයාට ඉතාමත් පහසු කටයුත්තකි.

සමීපතාව හා නව්‍යතාව

මෙවර ජනාධිපතිවරණයේ දී දකුණේ සිංහල ඡන්දදායකයාගේ හැසිරීම මින් පෙර පැවැති ඡන්දවලට වඩා වෙනස්වනු ඇත. විශේෂයෙන්ම 1994න් පසු දකුණේ සිංහල ඡන්ද එක්සත් ජාතික පක්ෂයෙන් දුරස්ථ වු අතර පක්ෂ නායකත්වය ආකර්ශනීය නොවීම ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. සාමාන්‍ය ග්‍රාමීය ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගැනීමට පක්ෂ නායකත්වයට නොහැකි වීම හා ඔවුන්ගේ හදවතට කථා කිරීමට නොහැකි වීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ දකුණේ සිංහල ජන පදනම සේදීයාමකට ලක්විය. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට පැමිණීමත් සමඟ දකුණේ බොහෝ ප්‍රදේශවල සිංහල ජනතාවට තමන්ගේ හදවතට සමීපතමයෙක් මෙවර ලැබී ඇති බව සිතෙයි. ජාතික තලයෙන් දීර්ඝ කාලයකට පසු පැමිණි තමන් නියෝජනය කරමින් මෙම තරුණ නායකත්වය වැලඳගැනීමට මීට පෙර රාජපක්ෂවරුන්ට හිතවත්කමක් දැක්වු ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල, කළුතර, කොළඹ, ගම්පහ හා කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවල ජනතාව පෙළගැසෙමින් සිටින බව පෙනේ. ඒ බව එම ප්‍රදේශවල සජිත් ප්‍රේමදාස මහතාගේ ජනරැලිවලට සහභාගීවන අතිවිශාල ජන සංඛ්‍යාවෙන් මෙන්ම ඔවුන්ගේ උද්යෝගයෙන්ද පැහැදිලිව දැකිය හැකිය. එමෙන්ම සිංහල බහුතරයක් සිටින දිවයිනේ අනෙකුත් පළාත්වලද සජිත් ප්‍රේමදාස මහතාගේ ජනප්‍රියතාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මෙවර ජනාධිපතිවරණයේ දී දකුණේ ඡන්ද පදනම තුළ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රබල ලෙස ඉස්මතු වන්නේ ඔහුගේ නව්‍යතාවත් ජන දුකට කන්දීමේ හැකියාවත් ජනහදට සමීපවීමේ ආකර්ශනයත් නිසාය. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඔහුට හිමිවන පිළිගැනීමත් දකුණේ ඡන්ද පදනම පුළුල් වීමත් නිසැක කොට දක්වන්නේ 2019 ජනාධිපතිවරණයේ රැල්ල සජිත් ප්‍රේමදාස මහතා වෙත හැරෙමින් පවතින බවත් එම ජන රැල්ල නොවැම්බර් 16 වන දින ඔහු මෙරට ජනාධිපතිධූරය කරා රැගෙන යාම කිසිවෙකුට වැළැක්විය නොහැකි බවත්ය.එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජාතීන් අතර සාමය සංහිදියාව අගයන සුරක්ෂිත ගෞරවනීය සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම අපේක්ෂා කරන සියලු ජනතාවගේ රැල්ල වනු ඇත.

නව අදහස දක්වන්න