විදෙස් සංචාරකයන්ට ගෙදර කාමරයක් | දිනමිණ


 

විදෙස් සංචාරකයන්ට ගෙදර කාමරයක්

සම්ප්‍රදායික, මධ්‍යම පාන්තික යුරෝපීය හා ආසියානු සංචාරකයන්ට අමතරව විවේකය සඳහා නිවාඩු ගතකිරීම වෙනුවට අනෙකුත් රටවල් ගවේෂණය සඳහා යොමුවී ඇති බොහොමයක් යුරෝපා තරුණ පිරිස් අඩු වියදමක් දරමින් වැඩි ප්‍රමාණයක් සංචාරයේ යෙදීමට කැමැත්තක් දක්වති. මොවුන් හඳුන්වනු ලබන්නේ ”බැක්පැකර්ස්” ලෙසිනි. අඩු වියදමෙන් රටපුරා සැරිසරන මේ පිරිස් බොහෝවිට පොදු ප්‍රවාහන සේවා භාවිත කරති. සුඛෝපභෝගී ආහාර පානවලට වඩා අපි එදිනෙදා ගන්නා ආහාර පාන අනුභව කරති. සමහර විට ඔවුන් තමන්ට අවශ්‍ය දෑ සුපර්මාර්කට් හෝ සාමාන්‍ය සිල්ලර කඩවලින්ද ලබාගනිති. කණ්ඩායම් වශයෙන් නවාතැන් ගනු ලබන හොස්ටල් හෝ නිවාස ආශ්‍රිතව අඩුවියදම් හෝම් ස්ටේ (Home Stay)වල නවාතැන් ගනිති. 

ආර්ථික උපක්‍රමයක් ලෙස සංචාරක ව්‍යාපාරය ලංකාව තුළ සාකච්ඡා වී තිබුණ ද එය එදිනෙදා ජනජීවිතය හා වඩාත් සමීප වන්නෙ වසර 2010න් පසුවය. 2009 වසරේ මැයි මාසය වනවිට රටේ පැවැති සිවිල් යුද්ධය නිමාවීම එහි තීරණාත්මක හේතු සාධකය විය. 1983 සිට 2009 වසර දක්වා වසරකට ලක්ෂ 4ත් 6ත් අතර විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් වාර්ෂිකව පැමිණි අතර 2010 සිට 2017 වන විට සංචාරක පැමිණීම ලක්ෂ 20ක් දක්වා වර්ධනය විය. එතෙක් රටේ ආර්ථිකයට සීමාසහිත දායකත්වයක් දැක්වූ සංචාරක කර්මාන්තය ඉන් පසුව රටේ ප්‍රමුඛතම කර්මාන්තයක් ලෙස පුළුල් වන්නට විය. ‘හෝම් ස්ටේ’ නමින් හඳුන්වන ගෘහ ආශ්‍රිත සංචාරක කර්මාන්තය බිහිවීමේ හා ප්‍රචලිතවීමේ පසුබිම මෙයයි. රුහුණු සංචාරක කාර්යාංශයේ සංචාරක සංවර්ධන හා ප්‍රවර්ධන නිලධාරී නිශාන්ත සමරනායක මහතා ඒ පිළිබඳ මෙසේ පවසයි.

" ‘හෝම්ස්ටේ’ කියන සංකල්පය ආව 2009 න් පසුව රටට සංචාරකයින් ඒම වැඩිවුණා. ගිය අවුරුද්දෙ මිලියන 2.3 ක විතර වර්ධනයක් තියෙනවා. ඒ අනුව ඉල්ලුමට සරිලන නවාතැන් පහසුකම් ලබාදීමට රජයට නොහැකි වුණා. හෝටල් කාමර ඉඩ නැති වුණා. සූදානමක් නැති හදිසි වර්ධනය නිසා විකල්ප කාමර අවශ්‍ය වුණා. අනෙක් පැත්තෙන් මෙම ව්‍යාපෘතිය හරහා ග්‍රාමීය ආර්ථිකය නංවන්න තමාගේ නිවසේම සංචාරකයින් වෙනුවෙන් කාමරයක් වෙන් කර තැබීම වැදගත් වුණා. සෘජුව අතරමැදියන්ගෙන් තොරව සංචාරක කර්මාන්තයේ ප්‍රතිලාභ ගමට දිනාගත හැකිවුණා. සංචාරක ආකර්ෂණයත් එක්ක ගම ඉලක්ක කරගෙන කන්නෙලිය, මැදිරිපිටිය, විහාරහේන, රැකව ආදී ප්‍රදේශවල කෘෂි කාර්මික ජීවන රටාව, සම්ප්‍රදායික ජීවන වෘත්තීන්, අභිචාර විධි සමඟ මෙම තත්ත්වයට මුහුණදෙන්නට රුහුණු සංවර්ධන කාර්යාංශයට සිදුවුණා. හෝම්ස්ටේවල සමස්තය සංගණනය කෙරිලා නෑ. ප්‍රජා සංචාරක ගම්මාන විදිහට අම්බලන්ගොඩ, මාදාම්පාගම ගඟ ආශ්‍රිතව ගොඩහේන ආදී වශයෙන් ගම්මාන පහක් තියෙනවා. එක ගමක ප්‍රතිලාභීන් 20 ක් විතර ඉන්නවා. කාමරවලට අමතරව ආහාර පිසින, ආහාර විකුණන, ප්‍රවාහන පහසුකම් සපයන ආදී වශයෙන් ව්‍යාපාර අවස්ථා බිහි වී තිබෙනවා. ප්‍රජා සංචාරක සංවර්ධන පදනම සමිතිය හරහා තමා මේ ව්‍යාපාර කටයුතු ක්‍රියාත්මක වෙන්නෙ. ව්‍යවස්ථාවක් අනුව ඉදිරියේ දී සමාගමක් විදිහට මේ ව්‍යාපාරය සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා." 

‘හෝම් ස්ටේ’ නමින් සංකල්පයක් ප්‍රවර්ධනය වීමට පෙර ප‍වා, හික්කඩුව, මිරිස්ස, උණවටුන වැනි ප්‍රදේශවල මෙවැනි සංචාරක ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී තිබේ. සංචාරකයින්ගේ පැමිණීම වර්ධනය වෙද් දී, සංචාරක හෝටල්වලම සම්බන්ධීකරණයෙන් සංචාරකයින්ගේ කාමර අවශ්‍යතාව පමණක් සපුරාලීම මෙහි ප්‍රාථමික අවධිය විය. ඉක්බිතිව දේශීය වැසියන්ගේ පැරණි ගෙවල්, දේශීය ආහාර පාන මෙන්ම අභිචාර විධින්, සම්ප්‍රදායික සිරිත් විරිත් ආදිය අත්විඳීමේ අත්දැකීමද සහිතව තල තුනක පමණ මෙම ගෘහ ආශ්‍රිත සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වී තිබේ.

ලෝක බැංකුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඒකාබද්ධව ක්‍රියාවට නැංවෙන පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය හෝම්ස්ටේ සංකල්පයේ දී මූලිකත්වය ගෙන කටයුතු කරන අතර එමගින් ගෘහ ආශ්‍රිත සංචාරක කර්මාන්තය තුළින් ප්‍රදේශයේ ජනයාගේ ජීවනෝපාය ඉහළ නැංවීම සඳහා අත්වැල සැපයේ. මේ ගාල්ල දිසා වන නිලධාරී මොහාන් ද සිල්වාගේ හඬයි.

"2016 දි විතර මේ ගැන යෝජනා කළාට ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ 2018 දී. ගෘහ ආශ්‍රිත සංචාරක කර්මාන්තයට අදාළව අපට අයදුම්පත් තිහක්, හතළිහක් ප‍මණ ආවා. නිර්ණායක 34 ක් පදනම් කරගත්තු ක්‍රමවේදයක් තුළින් අපි සහය පළ කිරීමට එයින් තෝරාගත්තේ 10ක් විතරයි. සමහර අය අපි සහයදීමට පෙර සිට යම්තාක් මට්ටමින් මෙම කර්මාන්තය කරගෙන ආව අය. ඒත්, අපේ මැදිහත්වීමෙන් ඒ අයට හොඳ පුහුණුවක් ලැබුණා. ලක්ෂ 3ක පමණ ද්‍රව්‍යමය ආධාර දුන්නා. සම්බන්ධතා හදලා දුන්නා. ඒ අනුව ඒ අය වඩාත් සාධනීය ලෙස කර්මාන්තය දියුණු කරගත්තා. ඉදිරියේ දී ගාල්ල ප්‍රදේශයේ මහා පරිමාණ සංචාරක හෝටල්වල සහය අරගෙන සංචාරක මගපෙන්වන්නන් සහ ගෘහ ආශ්‍රිත සංචාරක කර්මාන්තය කරන්නන් අතර සම්බන්ධීකරණයක් ඇති කිරීමට අපි කටයුතු කරමින් ඉන්නවා."

දිසා වන නිලධාරිවරයාගේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ ඉදිරියේ දී ගෘහ ආශ්‍රිත සංචාරක කර්මාන්තයේ නියැළෙන්නන්ට වඩා හොඳ කළ දවසක් උදාවනු ඇති බවයි.

සම්ප්‍රදායික, මධ්‍යම පාන්තික යුරෝපීය හා ආසියානු සංචාරකයින්ට අමතරව විවේකය සඳහා නිවාඩු ගතකිරීම වෙනුවට අනෙකුත් රටවල් ගවේෂණය සඳහා යොමුවී ඇති බොහොමයක් යුරෝපා තරුණ පිරිස් අඩු වියදමක් දරමින් වැඩි ප්‍රමාණයක් සංචාරයේ යෙදීමට කැමැත්තක් දක්වති. මොවුන් හඳුන්වනු ලබන්නේ ”බැක්පැකර්ස්” ලෙසිනි. අඩු වියදමෙන් රටපුරා සැරිසරන මේ පිරිස් බොහෝවිට පොදු ප්‍රවාහන සේවා භාවිත කරති. සුඛෝපභෝගී ආහාර පානවලට වඩා අපි එදිනෙදා ගන්නා ආහාර පාන අනුභව කරති. සමහර විට ඔවුන් තමන්ට අවශ්‍ය දෑ සුපර්මාර්කට් හෝ සාමාන්‍ය සිල්ලර කඩවලින්ද ලබාගනිති. කණ්ඩායම් වශයෙන් නවාතැන් ගනු ලබන හොස්ටල් හෝ නිවාස ආශ්‍රිතව අඩුවියදම් හෝම් ස්ටේ (Home Stay)වල නවාතැන් ගනිති. ආසියාවේ සහ යුරෝපයේ රටවල් හැරුණුවිට ලෝකයේ අනෙක් දිසාවන්හි සංචාරක ආකර්ෂණය වෙනුවෙන් ශ්‍රී ලංකාව ප්‍රචලිත කිරීමට බැක්පැකර්ස්ලා, මහගු සේවයක් කරනු ලබයි. නවීන ලෝකය සමඟ ඉතා සමීපව කටයුතු කරන මොවුන්, ජාලයක් ලෙස කටයුතු කරන නිසා එක් පසෙකින් තවත් බොහෝ පිරිසකට බලපෑම් සිදුකරන අතරම අලුත් ආකර්ෂණීය ස්ථාන ගවේෂණය කිරීමේද නිරත වෙති. 

අඩු වියදම් සහගත සංචාර නිසා මේ අය පරිභෝජනය කරනු ලබන්නේ ද අවම සම්පත් ප්‍රමාණයකි. මේ නිසා පොදුවේ සංචාරක ව්‍යාපාරයට ඇති විවේචන ද මේ කණ්ඩායමට අදාළ නැත. අදාළ රටේ ස්වදේශීය ජීවිත හා සමීපව සහ සංවේදීව කටයුතු කරන පිරිසක් වන නිසා ඔවුන්ගේ සංස්කෘතික බලපෑම්ද සාපේක්ෂව වැඩිය. සුඛෝපභෝගී සංචාරකයින් බොහෝවිට කටයුතු කරන්නේ ජාත්‍යන්තර සහ දේශීය මහාපරිමාණ සමාගම් සමඟ නිසා අඩු ආදායම්ලාභී දේශීය ජනපිරිස්වලට ඔවුන්ගෙන් මූල්‍යමය ගලායාමට ඇති අවස්ථා සාපේක්ෂව අඩුය. එහෙත් නිපදවන ආදායමේ ප්‍රතිශතයක් ලෙස "බැක්පැකර්ස් වරුන්ගෙන්" සාමාන්‍ය ජනයාට පවතින ආර්ථිකමය වාසි වැඩි ය. එසේ වුව ග්‍රාමීය ප්‍රදේශවල, සංචාරකයින්ට ආමන්ත්‍රණය කෙරෙන මෙම කර්මාන්තය ප්‍රචලිත කිරීමේ දී අභියෝග දනොපවතින්නේ නොවේ. එම්. උපුල් නාලක මහතාගේ අත්දැකීමයි.

"මුල දී නම් ගමෙන් එක එක ප්‍රශ්න ආවා. සුද්දො ගෙදර දාගෙන ගමට ලෙඩ බෝ කරයි කීවා. ඒ වගේම ඒ අය ඇවිත් සිංදුවක් කියලා, බාබකිව් එකක් දාගෙන විනෝද වෙද් දී සද්ද බද්ද වැඩියි කියලා ප්‍රශ්න ආවා. මේ විදිහට ගමෙන් පොඩි පොඩි කරදර ආවා. ඒත් දැන් හුරුයි."

"කොහොමද සංචාරකයින් සම්බන්ධීකරණය කර ගන්නේ?" අපි විමසුවෙමු.

"මං කන්නෙලිය කැලේ සංචාරක මගපෙන්වන්නෙක් නිසා මුලින් මුලින් සංචාරකයින් හඳුනාගත්තේ ඒ මාර්ගයෙන්මයි. ඒ සම්බන්ධතා හරහා තමා මගේ ව්‍යාපාරය පටන් ගත්තෙ. බාත් රූම් එක හදාගත්තෙ ව්‍යාපෘතියේ ආධාරවලින්. ඉස්සරනම් මාසෙකට කණ්ඩායම් 3ක් 4ක් එනවා. බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ එන්නෙ 1යි 2යි. ඒත් දැන් දැන් ආයෙම ඒ තත්ත්වය සාමාන්‍යකරණය වෙමින් යනවා. දැන් සම්බන්ධීකරණයක් හදාගන්නේ ෆේස්බුක් එකෙන්." 

සමාජ මාධ්‍ය භාවිතයේ අගතීන් ගැන කතා බහ කරන බොහෝ දෙනා ඒ ඇසුරින් තමාගේ ජීවනෝපායන් ඉහළ නංවා ගැනීමේ මෙවන් නිදසුන් පිළිබඳ කතා නොකරන තරම්ය.

සංචාරක මගපෙන්වීම් සිදුකරන පුද්ගලයෝ රටට නිල නොවන තානාපති සේවයක් සිදුකරමින් ඉතා දුෂ්කර තත්ත්වයක් යටතේ කටයුතු කරති. ඔවුන්ට අතදීම රජයක වගකීමක් ලෙස නොසැලකිය හැක්කේ කාටද? තවත් හෝම්ස්ටේ තරුණයකු වන රත්නසිරි ප්‍රියන්ත තම අත්දැකීම් මුසු කළේ මේ අයුරිනි.

"සංචාරක කණ්ඩායම් දෙක තුනක් එකට ආවොත් අමාරුයි. ඇත්තම කියනවානම් ඉල්ලූමට සැපයුම දෙන්න අමාරුයි. දේශීය අයට කාමරයක් දෙන්නේ රු.2500 කට. විදේශික නම් 5000යි. සංචාරක ඒජන්සීස් විස්සක් එක්ක විතර වැඩකරනවා. ඉස්සර කරදර කරපු ගමේ අය 10 දෙනෙක් විතර දැන් ඒ සංචාරකයින්ටම මොන මොනව හරි විකුණාගෙන අමතර ආදායමක් ලබනවා. ඒ අයටත් ප්‍රතිලාභ ලැබෙන නිසා දැන් අවුලක් නෑ."

"විදෙස් සංචාරකයින් වැඩිපුර කැමති මොන වගේ ආහාර පාන වලටද?" අපි විමසා සිටියෙමු. 

"කිතුල් රා එක්ක වතුර මැද කන්න බොන්න තමා කැමති" ඔහු කෙටියෙන්ම කියා සිටියේය.

ශ්‍රී ලංකාව යනු අඩු ආදායම්ලාභී සංචාරකයින් පමණක් යන එන තැනක් ලෙස ඇතැමුන් අර්ථ දැක්වුවද, සත්‍යය එසේ නොවේ. 2009 ට පෙර කාලය තුළ මෙය අර්ධ සත්‍යයක් ලෙස සැලකිය හැකි වුවත් සංඛ්‍යා ලේඛන දෙස බැලීමෙන් එය එසේ නොවන බව පැහැදිලි වේ. රටට පැමිණෙන එක් සංචාරකයකු විසින් දිනකට රට තුළ ඇමරිකානු ඩොලර්වලින් වියදම් කරන සාමාන්‍ය මුදල අනුව ඒ බව තහවුරු වේ. එක් පසෙකින් රටට පැමිණෙන විදේශිකයින් ප්‍රමාණය ක්‍රමිකව ඉහළ යනවා මෙන්ම දිනකට එක් පුද්ගලයෙක් විදයම් කරන මුදලද ක්‍රමිකව වැඩි වී ඇත.

මේ අයුරින් සංචාරකයින්ගේ ආදායම් වියදම් රටට එකතුවන අතර ඒවා රටේ සාමාන්‍ය ජනයාගේ ජීවනෝපාය ඉහළ නැංවීමට දායක වන්නේ නම් සංවර්ධනයේ සැබෑ ප්‍රතිලාභ පුරවැසියන්ට ලැබෙනු ඇත. කලක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ එස්. එච්. චිත්‍රසේකර මහතා, අද ගෘහ ආශ්‍රිත සංචාරක කර්මාන්තයේ නියැළෙන්නෙකි. මේ ඔහුගේ අදහස ය.

"කන්නෙලිය රක්ෂිතයක් විදිහට නම් කරලා වැඩ පටන් ගත්ත දවසේ ඉඳලම මං එතැන හිටියා. මං වැඩ කළේ වන සංරක්ෂණ එකේ. අවුරුදු 33ක සේවා කාලයෙන් පස්සෙ විශ්‍රාම ගිහින් මේ වැඩේට අත තිබ්බා. මං ගහ කොළ, සතා සිව්පාවා ගැන හොඳට දන්නවා. වැඩියෙන්ම ඉගෙන ගත්තෙ පළපුරුද්දෙන්ම තමා."ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ මිනිසුන්ගේ සිහින සැබෑවීම යනු සැබෑ සංවර්ධනයේ පැතිකඩක්ම ය.


ප්‍රියාන් ආර් විජේබණ්ඩාර

නව අදහස දක්වන්න