පෙරනිමිති ! | දිනමිණ


 

පෙරනිමිති !

ජනාධිපතිවරණය ළං වෙත්ම ප්‍රචණ්ඩ ක්‍රියාවල යම් වර්ධනයක් දකින්නට ලැබේ. ඊට අදාළ ප්‍රධාන සිදුවීම් දෙකක් කෙරෙහි රටේ ම අවධානය යොමු වී ඇත. එස්. බී. දිසානායක මහතාගේ ආරක්ෂකයන් සාමාන්‍ය පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තැබීම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක රැස්වීමකට ගිය යක්කල - මුදුන්ගොඩ පුද්ගලයකු අබිරහස් ලෙස මිය යෑම එම සිද්ධි දෙක වෙයි. වෙඩි තැබීම, ඝාතනය කිරීම, මරණීය තර්ජන එල්ල කිරීම, විහිළුවට කරන දේවල් නො වේ. මේ සිදුවීම්වල යටි අර්ථය වන්නේ යළිත් භීෂණ යුගයක් උදාවීමේ පෙරනිමිති පහළ වී ඇතැ’යි යන්න ය. 2015න් පසු ස්ථාපනය වූ ප්‍රජාතන්ත්‍රවාදී යුගය එයින් අභියෝගයට ලක්වන බවක් පෙනෙන්නට තිබේ.

එස්. බී. දිසානායක මහතාට අදාළ සිද්ධිය දේශපාලන ගැටුමක් නොවන්නේ යැයි වාර්තා වී ඇත. එහෙත් මීට සම්බන්ධ සිදුවීම වාර්තා වන්නේ මන්ත්‍රීවරයා ගිනිගත්හේන ප්‍රචාරක රැලියකට සහභාගී වී ආපසු එමින් සිටින අවස්ථාවක ය. එනම්; දිසානායක මහතා දේශපාලන කාර්යයකට සහභාගී වී එම මානසිකත්වයෙන් ආපසු එනවිට ගැටුම ඇති වී තිබෙන බව ය. ඒ හැරත් එස්. බී. යනු දේශපාලන චරිතයකි. ඒ අනුව ඔහුට අදාළ සිදුවීම් දේශපාලනයෙන් බැහැර කිරීම අපහසු කාරණයකි. සාමාන්‍ය පුද්ගලයන්ගේ සාක්ෂිවලින් කියැවෙන්නේ එස්. බී. මහතාට අයත් වාහනයක් අනෙක් පිරිසගේ වාහනයේ ගැටීම නිසා දෙපිරිස අතර බහින්-බස්වීමක් සිදුවී ඇති බව ය. වෙඩි තැබීම සිදුවන්නේ ඊට පසුව ය. මෙය බලහත්කාරයක් නොවේ ද?

යක්කල - මුදුන්ගොඩ පුද්ගලයා මිය යන්නේ බස්-රථයක් තුළදී ය. මේ බස් රථය ගණේමුල්ල ප්‍රදේශයේ පැවැති පොහොට්ටු පක්ෂයේ රැස්වීමකට සෙනඟ ගෙනගිය වාහනයකි. එම පුද්ගලයාගේ ඥාතීන් පෙන්වාදෙන අන්දමට මත්පැන් හා කෑම ලබාදෙමින් දේශපාලන රැස්වීම්වලට සෙනඟ ගෙන යෑම සිදුවෙයි. එලෙස ගෙනයන පුද්ගලයන් ආපසු නිවෙස් කරා ආරක්ෂිතව ආපසු රැගෙන ඒමක් සිදුවන්නේ නැත. පොහොට්ටු පක්ෂයේ රැස්වීම්වලට සහභාගී වන පිරිස් අතර වරින්-වර ගැටුම් හා බහින්-බස්වීම් සිදුවන බව ද වාර්තා වෙයි. මේ ගැටුම් සිදුවන්නේ පරණ ශ්‍රී ලංකාකාරයන් හා පොහොට්ටුවේ සාමාජිකයන් අතරය. මියගිය පුද්ගලයාගේ පුත්‍රයා සැක කරන්නේ ඉහත සිද්ධිය ද එවැන්නක් හැටියට ය.

පොහොට්ටු පක්ෂයේ ප්‍රධාන සංවිධායකයා ලෙසින් සලකනු ලබන බැසිල් රාජපක්ෂ මහතා දැක් වූ අදහසක් පිළිබඳ දේශපාලන සංවාදයක් දැන් පවතී. බැසිල් මහතාගේ අදහසින් කියැවෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවේ එල්ලුණා මිස; පොහොට්ටුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොඑල්ලනු ලැබූ බව ය. මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කළ අවමානයක් ලෙස සමහරු සලකති. පරණ ශ්‍රී ලංකාකාරයන් මෙබඳු අපහාසාත්මක කතා ඉවසන්නේ නැත. මුදුන්ගොඩ පුද්ගලයාගේ මරණයට අදාළ සිද්ධිය මතවාද පිළිබඳ ගැටුමක ප්‍රතිඵලයක් යැයි සිතන්නට කරුණු තිබේ. දේශපාලකයන් සිය අදහස් ප්‍රකාශ කිරීමේදී බුද්ධිමත් විය යුතු ය. එහෙත් බලයෙන් හිස කොලොප්පම් කරගත් විට ඒවා අමතක වන්නට පුළුවන.

පිටස්තර පුද්ගලයන් බස් රථ මඟින් ප්‍රවාහනයකොට රැස්වීම් භූමිය සෙනඟින් පිරවීම පොහොට්ටු පක්ෂය දිගට ම කරගෙන යයි. ප්‍රධාන පක්ෂ දෙක ම සෙනඟ පෙන්වීමේ තරගයක නිරතව සිටී. පොහොට්ටු පක්ෂයෙන් සංවිධාන කළ රැලියක් අංගොඩදී පැවැත්වුණු අතර එහිදී පක්ෂ නායකයා “මොනව ද ඕනෑ?” යැයි සභාවෙන් විමසා ඇත. සභාවෙන් ලැබුණු පිළිතුර වී ඇත්තේ “අපට අලි වැටක් ඕනෑ!” යන්න ය. අං‍ගොඩට හෝ මුල්ලේරියාවට අලි වැටක් කුමට ද? සෙනඟ රැගෙන එන්නට ඇති ප්‍රදේශය පිළිබඳ අදහසක් ඉන් ලබාගත හැකි ය. ශ්‍රී ලංකාකාරයකුගේ මරණයට ද සම්බන්ධ ගණේමුල්ල නගරයේ පැවැති පොහොට්ටු රැස්වීමට වැඩිපුරම සහභාගී වී ඇත්තේ ප්‍රදේශවාසීන් නොව; පිටස්තරයන් බව සමහරු කියති. එලෙස පැමිණි පිටස්තරයන් නගරයේ වාහන හැසරවීමට පවා ඉදිරිපත් වී ඇති බව ද දැනගන්නට ලැබේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රැස්වීම්වලට ද එලෙස පිටස්තරයන් බස් මඟින් ප්‍රවාහනය කරන්නේදැ’යි නිරීක්ෂණය කළ’මුත් එවැන්නක් මෙතෙක් වාර්තා වී නැති බව ද මෙහි ලා සටහන් කළ යුතුය. ප්‍රධාන තරගය ඇත්තේ මේ දෙපාර්ශ්වය අතර නිසා දෙපැත්තේම වැරැදි සොයා බැලීම වඩාත් සාධාරණ ක්‍රමය වෙයි. රැස්වීම් සඳහා පිටස්තර ප්‍රදේශවලින් සෙනඟ ඇදීම බලපෑම්කාරී ක්‍රියාවලියකි. එහි බලපෑම පැති ගණනාවකට ව්‍යාප්ත වෙයි. මෙලෙස යන පුද්ගලයන් බීමත්ව සිටින නිසා ඕනෑ ම අවස්ථාවක ගැටුමක් ඇතිවිය හැකි ය. ප්‍රදේශවාසීන් හා පිටස්තරයන් අතර ද ගැටුම් ඇතිවිය හැකි ය. සෙනඟ ඇදීම සඳහා විශාල මුදලක් ද වැය කළ යුතුය. ව්‍යාපාරිකයන් හෝ දේශපාලකයන් හෝ මුදලක් යටකරන්නේ එවැනි හතර-පස් ගුණයක ඉපැයීමක් පිළිබඳ සැලැසුමක් ඇතිව ය. අවසන් ලෙස මේවායෙහි බර මහජනයා මත ම පැටවෙනු ඇත.

‍වමේ නායකයන් නිතර කියා සිටිනුයේ අධිකාරිවාදය, පවුල්වාදය, ඒකාධිපතිවාදය හා මිලිටරිවාදය පරාජය කළ යුතු බව ය. රටේ බොහෝ දෙනකුගේ අදහස ද එය ම විය හැකි ය. ඉහත සඳහන් සියලු වාද පැවැති යුගයක් තිබිණි. එම යුගයේ බිහිවුණු චණ්ඩියකු වූ ජුලම්පිටියේ අමරේට පසුගියදා මරණීය දණ්ඩනය හිමිවිය. ඔහු විසින් දේශපාලන ඝාතන දෙකක් සිදුකරන ලදැ’යි සනාථ වී තිබේ. ජුලම්පිටියේ අමරේට මරණීය දණ්ඩනය හිමිවූයේ නීතිය හරිහැටි ක්‍රියාත්මක වන බැවිනි. ජුලම්පිටි‍ය අමරෙලාට එදා පැවැති රජයේ නායකයන්ගේ ආශිර්වාදය ලැබිණි. එම නායකයන්ගේ ආණ්ඩුවක් පැවැතියේ නම්; ඉහත නඩුව වෙනත් ආකාරයකට නිමාවට පත්වන්නට ඉඩ තිබිණි. මේවා ජනතාවගේ අවධානයට යොමු විය යුතු කාරණා සේ සැලැකිය හැකි ය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙන අන්දමට සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්වීම සඳහා සියලු දෙනාගේම සහයෝගය අවශ්‍ය වෙයි. සියලු දෙනා යන්නෙන් අදහස් වන්නේ දේශපාලකයන්, ඔවුන්ගේ සහායකයන්, මහජනතාව හා ජනමාධ්‍ය යැයි විශ්වාස කරන්නට පුළුවන. මේ සෑම පාර්ශ්වයක් ම යුක්තිසහගත ලෙස ක්‍රියා කරන්නේ නම්; ගැටුම් නැති නිදහස් මැතිවරණයක් පැවැත්විය හැකි ය.

 

නව අදහස දක්වන්න