කාන්තා රග්බි ශක්තිමක් කිරීමට මලල ක්‍රීඩිකාවෝ එක්වෙති | දිනමිණ


 

කාන්තා රග්බි ශක්තිමක් කිරීමට මලල ක්‍රීඩිකාවෝ එක්වෙති

ෆවුස් මොහොමඩ්

මෙරට කාන්තා රග්බි ක්ෂේත්‍රයේ උද්ගත වී ඇති දරුණු පසුබෑමට විසඳුමක් ලෙස මලල ක්‍රීඩිකාවන් රග්බි ක්‍රීඩාවට එක් කර ගැනීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය ගත් තීරණයට අනුව මේ වනවිට ජාතික තලයේ හිටපු ප්‍රබල මලල ක්‍රීඩිකාවන් විසිදෙනකුට අධික පිරිසකගෙන් ඉල්ලුම් පත් ලැබී ඇතැයි රග්බි ආයතනයේ උපසභාපති නසීම් මොහොමඩ් මහතා ප්‍රකාශ කළේය.

ඉදිරියේදි එම මලල ක්‍රීඩිකාවන් කාන්තා රග්බි සංවර්ධන සංචිතයට ඇතුළත් කර කාන්තා රග්බි පුහුණුකරු සාලිය කුමාර මහතා යටතේ පුහුණුව ලබාදෙන බව ‘දිනමිණ’ කළ විමසුමකදී නසීම් මොහොමඩ් මහතා කියා සිටියේය.

‘දැනට ත්‍රිවිධ හමුදාව සහ සී.ආර්. ක්‍රීඩා සමාජය පමණක් කාන්තා රග්බි ක්ෂේත්‍රයට එක්වී සිටියත් ඉදිරියේදි පොලිස් සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජත් කාන්තා රග්බි ආරම්භ කිරීමට නියමිතයි. පළාත් මට්ටමින් නම් කාන්තා රග්බි සෑහෙන දුරට ප්‍රචලිතව තිබෙනවා. අපේ අරමුණ අපි තෝරාගන්නා මළල ක්‍රීඩිකාවන්ට සංවර්ධන සංචිතයේ පුහුණුව ලබාදී ක්‍රීඩා සමාජවලට යොමු කිරීමයි.’ රග්බි උපසභාපතිවරයා කීවේය.

‘එම ක්‍රීඩිකාවන් ලබන වසරේ ආසියානු සත් සාමාජික රග්බි තරග බිමට යොමු කරන්නයි අපේ බලාපොරොත්තුව. මේ වසරේදි අපි ආසියානු රග්බි තරග බිමේ ලැබූ පසුබෑම නිසා ලබන වසරේ තරගාවලියෙන් ඉවතට විසිවීමේ අවදානමෙන් මිදුණේ අන්තිම මොහොතේදියි. ඒ නිසා ලබන වසරේ තරගාවලියේදි අපි මීට වඩා හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කළ යුතුයි.’ ඔහු පැවැසීය.

මීට අමතරව ආසියානු රග්බි ක්ෂේත්‍රයට මෑතකදී එක්වූ 15 සාමාජික කාන්තා රග්බි ක්‍රීඩාවත් ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධනය කිරීමට මේ වනවිට සැලසුම් කරමින් සිටින බව රග්බි උපසභාපතිවරයා කීවේය.

‘15 සාමාජික කාන්තා රග්බි ක්‍රීඩාව අපේ රටේ ප්‍රචලිත කිරීමෙන් අපිට මේ ක්‍රීඩාව රට තුළ සාර්ථකව ප්‍රවර්ධනය කළ හැකියි. එමගින් සත් සාමාජික රග්බි ක්‍රීඩාවට වැඩි ක්‍රීඩිකාවන් පිරිසක් යොමු වේවි කියා මම බලාපොරොත්තු වෙනවා.’ ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

නව අදහස දක්වන්න