ඉන්දික-චමරී සාග් බර උසුලන්න පෙරමුණ ගනිති | දිනමිණ


 

ඉන්දික-චමරී සාග් බර උසුලන්න පෙරමුණ ගනිති

නිරෝෂාන් ප්‍රියංකර

ලබන මස 1 වැනිදා නේපාලයේ කත්මන්ඩු සහ පොකාරා කේන්ද්‍ර කරගනිමින් ආරම්භවන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා එක්වන ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනකු ඇතුළත්ව සිටිති.

ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් 7ක් බැගින් ඇතුළත් මේ කණ්ඩායම්වල පිරිමි කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රිලෝග්‍රෑම් 73 බර පන්තියෙන් තරග වදින ඉන්දික දිසානායක නම්කර ඇති අතර කිලෝග්‍රෑම් 55 බර පන්තියෙන් තරග කරන චමරී වර්ණකුලසූරිය කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරයි.

ඉන්දියාවේ අවසන් වරට පැවැති 12 වැනි ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායම පදක්කම් 15ක් දිනා ගැනීමට සමත් විය. ඊට රන් පදක්කමක්, රිදී 9ක් සහ ලෝඩක පදක්කම් 5ක් ඇතුළත් විය. එහිදී පිරිමි කිලෝග්‍රෑම් 62ක ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් සුදේශ් පීරිස්ය. පිරිමි කාණ්ඩයෙන් රිදී පදක්කම් දිනාගත් ඉන්දික දිසානායක, චතුරංග ලක්මාල්, චින්තන විදානගේ සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ශානක පීටර්ස් මෙවරද සංචිතයට එක්ව සිටිති. ඉසුරු කුමාර, තිලංක විරාජ් පලගසිංහ සහ උෂාන් චාරුක සාග් තරගාවලියකට එක්වන්නේ පළමු වරටය. 

2016දී කාන්තා ඉසව්වන්ගෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දිනාදුන් චමරි වර්ණකුලසූරිය, හංසනී ගෝමස් සහ චතුරිකා ප්‍රියන්ති මෙවර සංචිතයටත් එක්ව ඇති අතර ශ්‍රීමාලි සමරකෝන්, නදීෂානි රාජපක්ෂ, වී.අර්ශිකා සහ තිමාලි හපුතැන්න පළමු වරට සාග් තරගාවලිය නියෝජනය කරයි.

මේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ආර්.බී.වික්‍රමසිංහ මහතා කටයුතු කරන අතර එස්.එම්.ආර්.ගුණතිලක සහ කේ.ජී.එන්.ඩයාන් මහත්වරු සහාය පුහුණුකරුවන් ලෙස කටයුතු කරති.

පිරිමි සංචිතය

ඉන්දික දිසානායක - නායක (73 බර පන්තිය), ඉසුරු කුමාර (55 බර පන්තිය), තිලංක විරාජ් පලගසිංහ (61 බර පන්තිය), චතුරංග ලක්මාල් (67 බර පන්තිය),

චින්තන ගීතාල් විදානගේ (81 බර පන්තිය), ශානක පීටර්ස් (102 බර පන්තිය), උෂාන් චාරුක (109 ට වැඩි බර පන්තිය)

කාන්තා සංචිතය

චමරි වර්ණකුලසූරිය - නායිකාව (55 බර පන්තිය), ශ‍්‍රීමාලී සමරකෝන් (45 බර පන්තිය), හංසනී ගෝමස් (49 බර පන්තිය), නදීෂානි රාජපක්ෂ (59 බර පන්තිය), වී. අර්ශිකා (63 බර පන්තිය), චතුරිකා ප‍්‍රියන්ති (76 බර පන්තිය )

බී. ජේ. තිමාලි හපුතැන්න (76 ට වැඩි බර පන්තිය)

නව අදහස දක්වන්න