මාලන්ගේ ශතකයෙන් එංගලන්තයට ජය | දිනමිණ


 

මාලන්ගේ ශතකයෙන් එංගලන්තයට ජය

විස්සයි20 තරග බිමේ සිය මංගල ශතකය රැස්කරමින් ඩේවඩ් මාලන් දියත් කළ විශිෂ්ට ඉනිම හේතුවෙන් නවසීලන්තය සමග ඊයේ නේපියර් හිදී පැවැති සිවුවැනි තරගයෙන් ලකුණු 76ක ජයක් හිමිකර ගැනීමට සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

මේ සමග තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-2ක් ලෙස සමකර ගැනීමට එංගලන්තයට හැකිවිය.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 241ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තට ඕවර 16.5කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 164ක් පමණි.

පන්දු 15කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 39ක් රැස්කළ නායක ටිම් සවුති නවසීලන්ත පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. කොලින් මුන්රෝ ලකුණු 30ක් සහ මාටින් ගප්ටිල් ලකුණු 27ක් ඉනිමට එක් කළද ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවුණි. පන්දු යැවීමේදී මැට් පාකින්සන් කඩුලු 4ක් බිඳ දැමීමට සමත් විය.

සිය 9 වැනි විස්සයි20 තරගයට ක්‍රීඩා කළ ඩේවිඩ් මාලන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත ඉනිමට නොදැවී ලකුණු 103ක් එක් කළේ තම මංගල විස්සයි20 ශතකය ලෙසිනි. ඒ සඳහා පන්දු 51කට මුහුණදුන් ඔහු හතරේ පහර 9ක් සහ හයේ පහර 6කින් ඉනිම වර්ණවත් කරගත්තේය. ඔහුට අනගි සහයක් ලබාදුන් නායක ඔයින් මෝගන් පන්දු 41කින් ලකුණු 91ක් රැස් කළේය. හතරේ සහ හයේ පහර 7 බැගින් ඔහුගේ ඉනිමට ඇතුළත් විය. දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට පන්දු 76කින් ගොඩනැගූ සබඳතාව ලකුණු 182කි. මෙය විස්සයි20 තරගයකදී එංගලන්තය වෙනුවෙන් ඕනෑම කඩුල්ලක් සඳහා වාර්තාවූ ඉහළම සබඳතාව ලෙසද වාර්තා පොතට එක්විය. දෙපිල අතර 5 වැනි සහ අවසන් විස්සයි20 තරගය හෙට (10) ඔක්ලන්ඩ්හිදී පැවැත්වේ.

එංගලන්තය - 241/3යි. (ඕවර 20) ඩේවිඩ් මාලන් නොදැවී 103, ඔයින් මෝගන් 91 (මිචෙල් සැන්ට්නර් 32/2)

නවසීලන්තය - 165යි. (ඕවර 16.5) ටිම් සවුති 39 (මැට් පාකින්සන් 47/4)

නව අදහස දක්වන්න