සාග් බැඩ්මින්ටන් පිටියට ශ්‍රී ලංකාවෙන් 16ක් | දිනමිණ


 

සාග් බැඩ්මින්ටන් පිටියට ශ්‍රී ලංකාවෙන් 16ක්

නිරෝෂාන් ප්‍රියංකර

නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් ඉසව්ව සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනකු එක් කිරීමට ශ්‍රී ලංකා ජාතික බැඩ්මින්ටන් සංගමය කටයුතු යොදා තිබේ.

ක්‍රීඩකයන් 8 දෙනකුගෙන් සමන්විත පිරිමි සංචිතයේ නායකත්වයට වත්මන් ජාතික බැඩ්මින්ටන් ශූර දිනූක කරුණාරත්න නම්කර ඇති අතර වත්මන් ජාතික ශූරී තිළිණි හෙන්දහේවා ක්‍රීඩිකාවන් 8 දෙනකුගෙන් සමන්විත කාන්තා සංචිතයේ නායකත්වයට පත්කර ඇත.

අවසන් වරට පැවැති 12 වැනි සාග් ක්‍රීඩා උළෙලේදී කණ්ඩායම් ඉසව්වේ රිදී පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර එහි පිරිමි කණ්ඩායමට එක්වූ බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් මෙවරත් සංචිතයට එක්ව සිටිති. ඔවුන් දෙදෙනා පසුගිය වසරේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩල තරගාවලියේදී යුගල ඉසව්වෙන් පදක්කමක් දිනා ගැනීමටද සමත්වුහ.

2016 සාග් පදක්කම් දිනාගත් කාන්තා කණ්ඩායමට කවිඳි ඉෂාදිකා, තිළිණි ප්‍රමෝදිකා, උපුලි සමන්තිකා සහ අචිනි රත්නසිරි ඇතුළත් වූ අතර ඔවුන් මෙවරද තරගාවලියට එක්වෙති.

අත්දැකීම් බහුල ප්‍රවීණ බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්නට මෙවර තරගාවලියට එක්වීමේ අවස්ථාව අහිමිවී තිබේ. ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායම පිරිමි - දිනූක කරුණාරත්න (නායක), බුවනෙක ගුණතිලක, සචින් ඩයස්, රන්තුෂ්ක සසිඳු, ලෝචන ද සිල්වා, මධුක දුලංජන, ක්‍රිෂාන් ධනුෂ්ක, හසිත චානක, කාන්තා - තිළිණි හෙන්දහේවා, අචිනි රත්නසිරි, කවිඳි ඉෂාදිකා, දිල්මි ඩයස්, හසිනි අම්බලන්ගොඩ, හසාරා විජේරත්න, උපුලි සමන්තිලක, කාවින්දි බිනාරි

නව අදහස දක්වන්න