ශර්මාගේ පිතිහරඹය තරගාවලිය සම කරයි | දිනමිණ


 

ශර්මාගේ පිතිහරඹය තරගාවලිය සම කරයි

රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් ඉනිම හේතුවෙන් සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් විය.

මේ සමග තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1ක් ලෙස සමකර ගැනීමටද ඉන්දියාවට හැකිවිය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිල ලකුණු 153කට සීමාකළ ඉන්දියාව පන්දු 26ක් ඉතිරි කරගනිමින් ජය හිමිකර ගත්තේ කඩුලු 2ක් දැවී තිබියදීය.

ඉන්දීය පිලෙ වෙනුවෙන් වේගවත් පිතිහරඹයක් දියත් කළ නායක රෝහිත් ශර්මා හතරේ සහ හයේ පහර 6 බැගින් එල්ල කරමින් ලකුණු 85ක් රැස්කළේ පන්දු 43ක් පමණක් වැය කරමිනි. ඔහු පළමු කඩුල්ලට ශිකර් ධවාන් සමගින් එක්ව පන්දු 65කින් ලකුණු 118ක සබඳතාවක් ගොඩනැගුවේය.

ධවාන් ලකුණු 31කට දැවී ගිය අතර ශ්‍රෙයාස් අයියර් නොදැවී ලකුණු 24ක් ඉනිමට එක් කළේය.

ඉන්දීය පිලේ ඇරැයුමෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිල වෙනුවෙන් පන්දු 31කින් ලකුණු 36ක් රැස්කළ මොහොමඩ් නයීම් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. සෞම්‍ය සර්කාර් පන්දු 20කින් ලකුණු 30ක් සහ නායක මහමුදුල්ලා පන්දු 21කින් ලකුණු 30ක් රැස් කළහ.

දෙපිල අතර තෙවැනි සහ අවසන් විස්සයි20 තරගය හෙට (10) නාග්පූර්හිදී පැවැත්වේ.

බංග්ලාදේශය - 153/6යි. (ඕවර 20) මොහොමඩ් නයීම් 36 (යුස්වේන්ද්‍ර චාහල් 28/2)

ඉන්දියාව - 154/2යි. (ඕවර 15.4) රෝහිත් ශර්මා 85

නව අදහස දක්වන්න